ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි
- 1945 දී බස්කින් රොබින්ස් හෙවත් (BR) නමින් හැඳින්වෙන අයිස්ක්‍රීම් සමාගම පටන් ගත්තේ බර්ට් බස්කින් සහ ඉර්ව් රොබින්ස් මස්සිනාලා දෙදෙනා විසිනි
- 'BR' පටන් ගැනීමට පෙර දෙදෙනාටම වෙන වෙනම අයිස්ක්‍රීම් අලෙවි ස්ථාන තිබුණා
- ලෝකයේ රටවල් 53 ක ව්‍යාප්තව ඇති 'BR' අලෙවි ස්ථාන 8000 ක්
- රස 31 කින් යුතු අයිස්ක්‍රීම් අලෙවි කිරීම ඇරඹියේ බස්කින් සහ රොබින්ස්ගේ එකතුවෙනි
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශීතකළ ආහාර අනුභවය එතරම් හොඳ දෙයක් නම් නෙවෙයි. ඒත් අද අප විස්තර කරන්නට සූදානම් වන්නේ ශීතකළ ආහාර වර්ගයක් පිළිබඳව සහ ඒවා නිෂ්පාදනය කරන සමාගමක් ගැනයි. අයිස්ක්‍රීම් කිව්වාම ඉතින් ඒ ගැන ආයේ කාටවත් අමුතුවෙන් කිවයුතු නැහැ. ලොකු-පොඩි-බාල-මහළු කොයි කාගේත් රසවත් තේරීමක් ලෙස අයිස්ක්‍රීම් හඳුන්වන්න පුළුවනි. අයිස්ක්‍රීම් සිංහලෙන් හැඳින්වෙන්නේ ‘හිම කිරම’ ලෙසයි.
මේ රසවත් ආහාරය හෙවත් ‘අයිස්ක්‍රීම්’ වර්ග නම් බොහෝමයි. ඒ අතරින් ලෝකයේ ප්‍රමුඛ පෙළේ හෙවත් විශාලතම ආයතනයක් ලෙස බස්කින් රොබින්ස් (Baskin Robbins) ආයතනය නම් කරන්න පුළුවනි. රස රැසක් රැගත් අයිස්ක්‍රීම් වර්ග ගණනාවක් නිෂ්පාදනය කරන මෙම සමාගමේ හැඩ බලන්න අපට ඇමරිකාවට යා යුතු වෙනවා. එහෙම නම් ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් එහි විස්තර දැනගන්න මොහොතකට අපි ඇමෙරිකාව බලා යමු.
‘බස්කින් රොබින්ස්’ කෙටියෙන් හැඳින්වෙන්නේ 'BR' යන නාමයෙනි. ලෝකයේ වඩාත් ජනප්‍රිය සහ මුල්පෙලේ අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන ආයතන අතර ප්‍රමුඛව වැජඹෙන්නේ අයිස්ක්‍රීම් සඳහා පමණක් බස්කින් රොබින්ස්ලා කටයුතු කරන නිසාවෙනි. එසේ නොවන්නට මහා පරිමාණ යුනිලීවර් වැනි බහුජාතික සමාගමක කොටසක් ලෙස පවතින ඇමෙරිකාවේ ‘බෙන් ඇන්ඩ් ජෙරී’ අයිස්ක්‍රීම් පෙරමුණේ සිටියද බස්කින් රොබින්ස් අයිස්ක්‍රීම් අවන්හල් ජාලයක් ලෙස ලොව විකාශය වී ඇති ප්‍රමුඛ සමාගම වන්නේය. ඊට අමතරව නෙස්ලේ සමාගම ද, හාගන්ඩාස්, වොල්ස්, ඩේයිරික්වීන්, බ්ලූ බෙල් ක්‍රීමරීස්, බ්‍රේයර්ස් නාමයන් ලොව වඩා ප්‍රචලිතය. ඒ අතරින් අද අප කතා කරන ‘බස්කින් රොබින්ස්’ (BR) ගැන විස්තර කිරීමට පෙර ‘අයිස්ක්‍රීම්’ බිහිවූ ඉතිහාසය ගැන විස්තර ටිකක් දැන ගනිමු.
අයිස්ක්‍රීම් ඉතිහාසයෙන්
‘අයිස්ක්‍රීම්’ බිහිවීම ගැන විවිධ අදහස් ප්‍රකාශ වී ඇත. විවිධ වාර්තා පළවී ඇත. ‘අයිස්ක්‍රීම්’ ලෙස නම් වූ මේ ආහාරය ශීතකළ අතුරුපස අහරක් ලෙස මූලාරම්භයේදී ආහාරයට ගෙන තිබේ. මෙහි ආරම්භය ක්‍රි.පූ. 550 දක්වා ඉතිහාසයකට දිවයයි. පර්සියාවෙන් විකාශය වූ බව තැනෙක සඳහන් වන අතර තවත් තැනෙක සඳහන් වන්නේ රෝම අධිරාජයා වූ ‘නීරෝ’ මී පැණි සහ වයින් සමග මිශ්‍ර අතුරුපසකට ආසා කළ බවය. තවත් තැන්වල සඳහන් වන්නේ මොංගෝලියානු අධිරාජ්‍යය හරහා චීනය ඔස්සේ විකාශය වූ බවය. යුරෝපයට එය හඳුන්වා දී ඇත්තේ අරාබි වෙළෙඳුන්ගේ සංක්‍රමණයෙන් යැයි සඳහන් වුවද, සැබෑ ලෙසම යුරෝපයට අයිස්ක්‍රීම් හඳුන්වා දුන්නේ ‘මාර්කෝ පොලෝ’ විසින් චීනයට ගොස් ආ ගමනෙන් පසුව ඉතාලියට මේ සුමිහිරි අතුරුපස හඳුන්වා දුන් බවය. 1533 දී පමණ ඉතාලියේ විසූ කැත්රීන් ඩී මේඩිස් ආදිපාදවරිය ප්‍රංශයේ දෙවැනි හෙන්රි රජු සමග විවාහ වූ අතර එම උත්සවයේදී අයිස්ක්‍රීම් අතුරුපසට යොදාගත් බව සඳහන් වේ. එකළ සැබැවින්ම ‘අයිස්ක්‍රීම්’ ලෙස පැවැතියේ පලතුරු යුෂ ශීතකළ පසු එනම් අයිස්වතුර (Sorbet) ලෙස භාවිතා වීමකි. 1625 එංගලන්තයේ විසූ චාල්ස් රජු ශීතකළ අයිස්ක්‍රීම් වලට දැඩිසේ ලොල් කළ අයෙක් වූ අතර ඔහු වෙනුවෙන් අයිස්ක්‍රීම් සාදා දුන් කෝකියා හට ජීවිත කාලය පුරාම විශ්‍රාම වැටුපක් පවා ලබා දීමට මෙන්ම වට්ටෝරුව පිටතට නොයා රහසිගතව තබා ගැනීමට ද කටයුතු කළ බැව් සඳහන් වේ. ඔහු සළකා ඇත්තේ අයිස්ක්‍රීම් යනු රාජභෝජනයක් පමණකැයි කියාය.
ක්‍රි.පූ. 500 දී ග්‍රීසියේදී හිම ශීත වතුර පානය සඳහා භාවිතා කිරීම ගැන, දාර්ශණිකයකු වූ හිපොක්‍රටීස් විවේචනය කර ඇත. පහළ කඳු බෑවුම්වල තිබූ හිම අපිරිසිදු යැයි ද, ඒවා එලෙසින් භාවිතා කිරීම ගැන තව තවත් විවේචනයට ලක්වූ බව සඳහන් වේ. එසේ වුව ද, අයිස්ක්‍රීම් යනු රෝමානු, චීන, ජපන්, ග්‍රීක ආහාර පාන රටාවේ පෞරාණික වටිනාකමක් රැගත්, ආහාර අමුද්‍රව්‍ය ලෙස වටිනාකමක් තිබූ බව සඳහන් වේ. ඉපැරණි ඊජිප්තු ඉගැන්වීම්වලදී අයිස්ක්‍රීම් ගැන සඳහන් වූ බව වාර්තාවල දැක්වේ. චීනයේ ටැං අධිරාජ්‍ය සමයේදී පිටි සමග අයිස් මිශ්‍ර රසවත් පානයක් භාවිතා කළ බැව් සඳහන් වේ. 16 වැනි සියවසේදී මෝගල් අධිරාජ්‍යයාගේ සමයේදී ඔහු වෙනුවෙන් හින්දු කුෂ් වෙත ගොස් දිල්ලිය කරා අයිස් ගෙන ඒමට වෙනම අශ්වාරෝහකයකු යොදාගත් බැව් සඳහන් වේ. එලෙසින් නොයෙකුත් කතා අතරේ ‘අයිස්ක්‍රීම්’ වලට රසවත් අරුතක් ලැබුණේ 1674 දී පමණ ප්‍රංශයේ සිට යැයි කිව හැකිය. රසායනවේදියකු වූ නිකොලස් ලීමර් විසින් රසමිශ්‍ර රැගත් අයිස්ක්‍රීම් රෙසිපි එකක් (වට්ටෝරුවක්) හඳුන්වා දුන් බව සඳහන් වේ. නමුත් නිල වශයෙන් පිළිගත් වට්ටෝරුවක් ලෙස මෙය විකාශය වීමට පටන් ගත්තේ 18 වැනි ශත වර්ෂයේ සිට යැයි සඳහන් වේ. 1718 දී මේරි ඊල්ස් රෙසිපි (වට්ටෝරුව) නමින් අයිස්ක්‍රීම් වට්ටෝරුවක් ප්‍රකාශයට පත්කර තිබිණි.
මේ විදියට අයිස්ක්‍රීම් විකාශය වීම ගැන තව තවත් කතා බොහෝමය. ඒ කතා එසේ පැත්තක තබා අපි නැවතත් ‘බස්කින් රොබින්ස්’ ගැන කතා කරමු.
බස්කින් රොබින්ස්
බස්කින් රොබින්ස් යනු ලෝකයේ රටවල් 50 ක පමණ ව්‍යාප්ත වූ වෙළඳ ජාලයක් හිමි විශාලතම අයිස්ක්‍රීම් සමාගම ලෙස හැඳින්විය හැකිය. ඇමෙරිකාවේ පමණක් අලෙවි ස්ථාන 2500 ක් පමණ සහ ඇමෙරිකාවෙන් පිට අනෙකුත් රටවලදී බස්කින් රොබින්ස් අයිස්ක්‍රීම් අලෙවි ස්ථාන 5000 ක් පමණ වෙතැයි සඳහන් වේ. සමස්තයක් ලෙස ලොව පුරා ස්ථාන 8000 ක පමණ බස්කින් රොබින්ස් ව්‍යාප්ත වී ඇති බව සඳහන්ය. ගෝලීය සමාගමක් ලෙස පසු කලෙක ව්‍යාප්ත වූ මෙම සමාගම ආරම්භ වූයේ 1946 දී කැලිෆෝර්නියාවේ ග්ලේන්ඩේල් හිදී අයිස්ක්‍රීම් සාප්පු දෙකක් ඒකාබද්ධ වීමෙනි. බර්ට් බස්කින් (Burt Baskin) ඔහුගේ මස්සිනා වන ඉර්ව් රොබින්ස් සමග එක්ව මෙම සමාගම ආරම්භ කර තිබේ. ඒ අනුව මෙය නම් වූයේ ‘බස්කින් රොබින්ස්’ යනුවෙනි. මේ මස්සිනාලා දෙදෙනා විසින් ආරම්භ කරන ලද බස්කින් රොබින්ස් බිහිකිරීමට පෙර එක් අයෙකුගේ අයිස්ක්‍රීම් අලෙවි ස්ථානයේ රස 21 කින් යුතු අයිස්ක්‍රීම් අලෙවි වූ අතර අනෙක් කෙනාගේ අයිස්ක්‍ර්‍රීම් සාප්පුවෙ රස 10 කින් යුතු ඒවා අලෙවි වී තිබේ. පසුව දෙදෙනාගේම වට්ටෝරු ‘බස්කින් රොබින්ස්’ ලෙස එක්වූ පසු රස 31 කින් යුතු අයිස්ක්‍රීම් විකිණීමට පියවර ගෙන තිබේ. ඔවුනගේ වෙළඳනාම ලාංඡනයෙන් එම රස 31 නියෝජනය වන බව කිව හැකිය. වර්තමානය වන විට එම ප්‍රධාන රස 31 ට අනුව විවිධ රසයන් දහසකින් පමණ යුතු අයිස්ක්‍රීම් බස්කින් රොබින්ස්ලා අලෙවි කරන බව සඳහන් වේ. 2018 දී සමාගම ඇමරිකා එක්සත් ජනපදයේදී පමණක් ඩොලර් මිලියන 47.42 ක විශාල ආදායමක් ලබා ගත් බව සඳහන් වන අතර ජාත්‍යන්තරව ඔවුන් එම වසරේදී ලද ආදායම ඩොලර් මිලියන 115.37 ක සුවිශාල මුදලකි.
බර්ට් බස්කින් හට අයිස්ක්‍රීම් නිෂ්පාදනය කිරීමේ අදහස ඇතිවූයේ දෙවැනි ලෝක යුද සමයේදී ඔහු යුදහමුදා සේවයේ යෙදී සිටියදීය. ඒ අනුව අයිස්ක්‍රීම් සෑදීම ගැන ඔහු ඉගෙන ගන්නට විය. අයිස්ක්‍රීම් සෑදීමේ උපකරණ කීපයක් කෙසේ හෝ සොයාගෙන පළතුරු රසැති අයිස්ක්‍රීම් නිෂ්පදනය කොට අනෙක් සොල්දාදුවන් හට ඒවායෙහි රස බැලීමට ලබා දීම ඔහු පළමුව සිදුකළේය. යුද්ධයෙන් පසු අයිස්ක්‍රීම් ව්‍යාපාරය කරගෙන යාමට බස්කින් හට අවැසි විය. ඒ අදහස මල්ඵල ගන්වා ගනිමින් ඔහු තමාගේම කාමරයක සිට අයිස්ක්‍රීම් අලෙවි කිරීමේ කටයුත්ත ඇරඹියේය. නමුත් ඉර්ව් රොබින්ස් යනු තම ජීවිත කාලය පුරාම අයිස්ක්‍රීම් ව්‍යාපාරයේ යෙදී සිටි අයෙක් විය. 1930 දී ඔහු මුලින්ම කළේ තම පියා සතු වූ අයිස්ක්‍රීම් ගබඩාවේ අලෙවි ස්ථානය කළමනාකරණය කිරීමය. රොබින්ස් ද දෙවැනි ලෝක යුද සමයේදී හමුදා සේවයේ නිරත වූවකු විය. පසුව ඩොලර් 6000 ක් යොදා ඔහුගේම අයිස්ක්‍රීම් වෙළඳ ස්ථානයක් විවෘත කිරීමට පියවර ගත්තේය. බර්ට් බස්කින් විවාහ වූයේ ඉර්ව් රොබින්ස්ගේ සහෝදරිය වූ ෂර්ලි රොබින්ස් සමගය. ‘බස්කින් සහ රොබින්ස්’ මස්සිනාලා වූයේ ඉනික්බිතිවය. මේ මස්සිනාලා දෙන්නාගේ අතීත විස්තර මොන වගේද කියා අපි විපරම් කර බලමු.
බර්ට් බස්කින්
බර්ට් හෙවත් බට්ච් බස්කින් උපත ලැබුවේ 1913 දෙසැම්බර් 17 වැනිදා ස්ට්‍රේටර් ඉලිනොයිස් හිදීය. ඔහුගේ පියා වූ හැරල්ඩ් බස්කින් රුසියානු සම්භවයක් ඇති යුදෙව් ජාතිකයකු විය. පසුව ඇමෙරිකාවට සංක්‍රමණය වී සිටි බස්කින් පවුල ව්‍යාපාරික කටයුතුවල නිරත වූ බව සඳහන් වේ. බර්ට් බස්කින්ගේ පියා රෙදි සාප්පුවක් පවත්වාගෙන ගියේය.
බර්ට් උපාධිධරයකු වූ අතර උපාධිය ලබා ගත්තේ ඉලිනොයිස් සරසවියෙනි. පියාගේ ව්‍යාපාරික ආභාෂය ලද බර්ට් බස්කින්, හිල්ටන් හෝටලය සතු පාමර් හවුස් ස්ථානයේ සිට, පිරිමි රෙදිපිළි ආයතනයක් මුලින්ම පවත්වාගෙන ගියේය. පෙර සඳහන් කළ පරිදි ඉර්ච් රොබින්ස්ගේ සහෝදරිය වූ ‘ෂර්ලි’ සමග විවාහ වූයේ 1942 දීය. දෙවැනි ලෝක යුද සමයේදී ඔහු කටයුතු කළේ ඇමරිකානු නාවික හමුදාවේ වූ අතර ෂර්ලි සමග විවාහ වන අවස්ථාවේ නාවික ලුතනන්වරයකු ලෙස කටයුතු කර තිබේ.
බර්ට් - ෂර්ලි යුවළට දරුවන් දෙදෙනෙකි. බර්ට් බස්කින් 1967 දී ස්වකීය 54 වැනි උපන් දිනයට සූදානම් වෙමින් සිටියේය. ඒත් හරියටම නත්තලට පෙරදා සාමදානයේ සැතපීමට ඔහුට සිදුවූයේ හෘදයාබාධයක් ඇතිවීම නිසාය.
ඉර්ව් රොබින්ස්
අර්වින් හෙවත් ‘ඉර්ව්’ රොබින්ස් උපන්නේ 1917 දෙසැම්බර් 6 වැනිදා කැනඩාවේ මිනිපෙග් මැනිටෝබාහිදීය. ඔහුද යුදෙව් ජාතික පවුලකට අයත් තැනැත්තෙකු විය. ඔහුගේ පියා වූ ඒරොන් රොබින්ස් කිරි ආහාර සහිත ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. ඉර්ව් රොබින්ස් හැදී වැඩුණේ තාත්තා සතු වූ අයිස්ක්‍රීම් අලෙවි සැලේ සිටය. ‘අයිස්ක්‍රීම් කෝන්’ අතරේ ප්‍රීතිමත් ළමාවියක හැඩ බැලීමට ඔහුට හැකිවිණි. 1942 දී රොබින්ස් විවාහ වූයේ ඉර්මා හිවර්ට්ස් සමඟය. මේ යුවළට දරුවන් තිදෙනෙකු විය. බස්කින් මස්සිනා අඩු වයසින් මිය ගිය ද ඉර්ව් රොබින්ස් ස්වකීය ජීවිත ගමනින් සමුගත්තේ පරම ආයුෂ ඉක්මවා ගොස් වයස අවුරුදු 90 දීය.
ලොව පුරා බස්කින් රොබින්ස් රිද්මය
රටවල් 53 ක පමණ ස්ථාන 8000 ක ව්‍යාප්ත වී ඇති බස්කින් රොබින්ස් අයිස්ක්‍රීම් රස ඒ රටින් රටට ආවේනිකව වෙනස්වීම අපූරු දෙයකි. රෙඩ්බීන්, ලයිචි ගෝල්ඩ්, බ්ලැක් කරන්ට්, කැන්ටලුප් රස රැගත් අයිස්ක්‍රීම් එලෙසින් රටින් රටට අනුව වෙනස් වේ. ජපානයේදී බස්කින් රොබින්ස් හැඳින්වෙන්නේ තර්ටිවන් (31) අයිස්ක්‍රීම් යනුවෙනි. ඕස්ට්‍රේලියාව යනු බස්කින් රොබින්ස් රසවතුන් වැඩි පිරිසක් සිටින රටකි. ඕස්ට්‍රේලියාවේ ස්ථාන අසූවක පමණ ‘බස්කින් රොබින්ස්’ අලෙවි ස්ථාන ඇතැයි සඳහන් වේ. 1945 දී ඇරඹි ‘බස්කින් - රොබින්ස්’ලා මේ දක්වා විවිධ රස 1300 ක් පමණ නිපදවා ඇතැයි සඳහන් වේ. ජපානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව යන රටවලදී මෙන්ම ලොව අනෙකුත් රටවලදී අයිස්ක්‍රීම් කේක් ප්‍රථමයෙන් හඳුන්වා දුන් ප්‍රමුඛයා වන්නේ මෙම බස්කින් රොබින්ස්ලාය.
2019 දී දකුණු කොරියාවේදී අලුත් රසයක් රැගත් අයිස්ක්‍රීම් නිෂ්පාදනයක් ගැන ප්‍රචාරය කිරීම සඳහා දැන්වීමක් බස්කින් රොබින්ස් වෙනුවෙන් නිර්මාණය විණි. ඒ වෙනුවෙන් යොදාගෙන තිබුණේ ලාබාල වියේ පසු වූ නිරූපිකාවකි.
පින්ක්ස්ටාර් නම් වූ ඇය එලා ග්‍රොස්ය. එම දැන්වීම මතභේදයට තුඩුදුන්නේ ඕනෑවට වඩා ලිංගිකකරණයට ලක්වූවක් ලෙසය. මෙම විවේචන හමුවේ බස්කින් රොබින්ස්ලා එම දැන්වීම වහාම ඉවත් කිරීමට කටයුතු කළ අතර ජනතාවගෙන් සමාව ද ඉල්ලා සිටියේය.
පරිවර්තන සටහන :
සඳුන් ගමගේ