ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම වසර ගණනාවක් ලෝඩ්ස් පිටියේ රැකගෙන සිටි අභිමානය පසුගිය සතියේ දී ඔවුන් අතින් ගිලිහුණි. ඒ එංගලන්තය සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී බරපතළ පරාජයක් ලැබීම නිසාය. මැන්චෙස්ටර්හිදී එංගලන්තයට එරෙහිව ඉතාම හොඳ තරගයක් ලබාදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, ලෝඩ්ස් තරගය පරාජයට පත්වෙන්නේ පළමු ඉණිමේ දීමය. කාසියේ වාසිය දිනා පන්දු ඕවර 58 ක් තුළ ලකුණු 216 කට එංගලන්ත කඩුළු 6 ක් දවාගත් ශ්‍රී ලංකාව, එයින් පසුව කඩුළු 4 ක් දවා ගැනීමට ලකුණු 211 ක් වැය කළහ. ජෝ රූට් සහ ගස් ඇට්කින්සන්ට නොතිබූ සම්බන්ධතාවක් ගොඩනැගීමට ඉඩදීමත් එයින් පසුව ඇට්කින්සන්ට ශතකයක් ලැබීමට අවස්ථාව දීමත් ශ්‍රී ලංකාව පරාජය ලියාගත් අවස්ථාව විය. එතැනින් ද නොනැවතී පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ දී ඉතාම පහසුවෙන් කඩුළු ලබා දෙමින් පළමු ඉණිමේ ලකුණු 200 කට වැඩි ප්‍රමාණයකින් පසු පසින් සිටින තැනට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු සලසා ගත්තේය. එවැනි තත්වයකින් පසුව නැවත හැරෙන්නට බැරිය. අනෙක් අතින් පළමු ඉණිමේ දී පැතුම් නිස්සංක, චන්දිමාල් සහ දෙවැනි ඉණිමේ දී ධනංජය ද සිල්වා දැවී ගිය ආකාර ඉතාම අවාසනාවන්ත තත්වයන්ය. පැතුම් හොඳම රිද්මයක සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මේ නිසා ඔබ මේ සටහන කියවන මොහොතේ පැවැත්වෙන තරගයේ දී ඔහුගෙන් යමක් බලාපොරොත්තු විය හැකි යැයි අපි විශ්වාස කරමු.
පළමු ටෙස්ට් තරගයේ දී ලැබූ සාර්ථකත්වය හරහා ශ්‍රී ලංකාව යම් ආකාරයකින් අවධානය අඩු කරගත්තාදැයි සැකයක් නැත්තේ නොවේ. කෙසේ වුවද, දැන් 2-0 කින් පසුපසට වී හමාරය. ඔබ මේ සටහන කියවන විට තෙවැනි ටෙස්ට් තරගය ඕවල් පිටියේ දී ආරම්භ වී හරමාය. මේ තරගය ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් පෙනෙන තරගයක් බව අප පසුගිය සතියේ දී කියූවෙමු. එයට එක් හේතුවක් වූයේ, මැන්චෙස්ටර් පිටියේ දී ශ්‍රී ලංකාව දැක් වූ දක්ෂතාවයි. එහෙත් ලෝඩ්ස් පරාජයෙන් පසුව ශ්‍රී ලංකාව යළිත් ඇරඹූ තැනටම තල්ලු විය. මෙය සිදු නොවිය යුතු තත්වයකි.
කෙසේ වුවද, ඕවල් පිටියේ දී යමක් කිරීමට ශ්‍රී ලංකාව තමන්ගේ උපරිම උත්සාහය ගත යුතු වෙයි. එසේ කියන්නේ, මෙය කාලයකින් ශ්‍රී ලංකාවට ලැබෙන හොඳම අවස්ථාවක් නිසාය. මේ අවස්ථාව මගහැර ගතහොත් යළිත් එංගලන්තයේ දී ටෙස්ට් ජයග්‍රහණයක් ලැබීම ගැන සිතන්නට හෝ වෙන්නේ නැති බව අපේ හැඟීමයි. කෙසේ වුවද, සැප්තැම්බරයේ ඕවල් පිටියේ ඇති දඟ කැවීම පසෙකලා එංගලන්තය වේග පන්දු යවන්නන්ට උචිත පිටියක් සකසා තිබේ. එපමණකින් ද නොනැවතී, ශ්‍රී ලංකාව අසරණවෙන ආකාරයේ උසක් ඇති, එනම් අඩි 6 යි අඟල් 7 ක් උසැති වමතින් පන්දු යවන ජොෂ් හල් කණ්ඩායමට ගෙනැවිත් තිබේ. මංගල ටෙස්ට් තරගයට මුහුණ දෙන ඕනෑම ක්‍රීඩකයෙකු ඉහළට ඔසවා තැබීමේ ‘වගකීම’ අතීතයේ දී සිට භාර ගන්නා ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදීත් තමන්ගේ වගකීම ඒ ආකාරයෙන්ම ඉටු කළහොත් දින 4 ක් තුළ තවත් ටෙස්ට් තරගයක් අවසන් වෙනු ඇතැයි ලියා තැබිය යුතුය.
මේ ටෙස්ට් තරගය දිමුත් කරුණාරත්නගේ අත්දැකීම් සහ දක්ෂතාව උපරිමයෙන්ම උරගා බැලෙන තරගයයි. ලෝඩ්ස් තරගයේ දෙවැනි ඉණිමේ දී යම් රිද්මයකට පැමිණි කරුණාරත්නගෙන් මේ තරගයේ දී අවම ලකුණු 80 ක ඉණිමක් අවශ්‍ය කර තිබේ. එසේම ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ද එවැනිම දායකත්වයක් අවශ්‍යය. එසේ නොවෙන්නට, මේ තරගය ද අප පරාජය දෙසට ඇඳගෙන යනු ඇත. අනෙක් අතින් ප්‍රභාත් ජයසූරියට සහායක් අවශ්‍යය. අපේ යෝජනාව නම්, දෙපැත්තෙන් දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු පන්දු යැවීම අතිශය වැදගත් බවයි.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම එසේ වෙද්දී මේ දිනවල දකුණු අප්‍රිකාවේ සංචාරය කරන ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්හ. මෙය ශ්‍රී ලංකාව පැත්තෙන් ඉතාම හොඳ තත්වයකි. නවනිඳු ප්‍රනාන්දු පිතිකරුවෙකු ලෙස සිය ස්ථාවරය ගොඩනගා ගත් අතර චමිඳු වික්‍රමසිංහ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස තමන්ගේ පැමිණීම තවදුරටත් මේ තරගාවලියේ දී තහවුරු කර ගත්තේය. මේ තරගාවලිය ඉතාම හොඳ අනාගත ආයෝජනයකි. මේ තරගාවලියේ දී වනුජ සහන් තරග දෙකක දී සාර්ථක ලෙස පන්දු යැවූ අතර තරුණ ක්‍රීඩකයෙකු ලෙස තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිමයෙන් ප්‍රයෝජන ගැනීමට වනුජ සමත් විය. කෙසේ වුවද, මෙවර පළමු පෙළ එක්දින තරගාවලියේ හොඳම ක්‍රීඩකයා වූ ‘‘ඒස් කැපිටල්’’ කණ්ඩායමේ නායක තනුක දාබරේට මේ සංචාරයේ දී ද ඉඩක් ලැබී තිබුණේ නැත. ශ්‍රී ලංකාවේ සිදුවෙන විශාලම වැරැද්දක් වෙන්නේ මෙයයි. යම් තරගාවලියක හොඳින්ම ක්‍රීඩා කරන ක්‍රීඩකයාට හොඳ අත්දැකීමක් ලබා ගැනීමට හැකි අවස්ථා ලබා නොදීමයි. කළ යුත්තේ මෙවැනි ක්‍රීඩකයෙකු කෙළින්ම ජාතික කණ්ඩායමට ගෙන ඒම නොවේ. ඔහු රිද්මයේ සිටින විට තරගකාරී පළමු පෙළ ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමයි. එළැඹෙන ඉරිදා දිනයේ දී මේ සංචාරයේ පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරග දෙකෙන් පළමු වැන්න ආරම්භවෙන අතර එක්දින තරගාවලියේ දී අසාර්ථක වූ නායක පසිඳු සූරිය බණ්ඩාරගෙන් සැලකිය යුතු ඉණිමක් මේ තරග දෙකේ දී බලාපොරොත්තු විය හැකිය. එයට හේතුව, ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන පිතිකරුවෙකු ලෙස පසිඳු බොහෝ දෙනා හඳුනාගෙන තිබීමයි.
ශ්‍රී ලංකාවේ තත්වය මෙසේ වෙද්දී, පාකිස්ථානයට එරෙහිව බංග්ලාදේශය ඓතිහාසික ටෙස්ට් ජයක් ලැබුවේය. ඒ පාකිස්ථානයේ රාවල්පින්ඩි හි පැවැත් වූ ටෙස්ට් තරග දෙකම ජය ගනිමිනි. මෙය බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේ සුවිශේෂම ජයග්‍රහණය ලෙස සනිටුහන් වෙනු ඇත. එසේම තමන්ගේ රටින් පිටත දී ජයග්‍රහණ ලැබීමට බංග්ලාදේශයට නොහැකි යැයි මෙතෙක් තිබූ මතය බිඳ දැමීමක් ලෙස ද මෙය දැක්විය හැකිය. මේ හරහා ලෝක ටෙස්ට් ශූරතාවයේ දී සිව්වැනි ස්ථානය දක්වා පැමිණීමට බංග්ලාදේශය සමත් විය. මෙය සුළුවෙන් සිතිය යුතු තත්වයක් නොවේ. සෑම කණ්ඩායමක්ම ආගන්තුක තත්ව යටතේ ක්‍රීඩා කිරීමට හුරුවෙමින් සිටිති. මෙවර එංගලන්ත සංචාරයේ දී ආගන්තුක වුවද අපට බොහෝ සමීප තත්ත්වයක් තිබියදීත් අපි අසාර්ථක වූයෙමු. මේ සතියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එයින් මිදෙනු ඇති දැයි අපි බලා සිටිමු.
- කාංචන දසනායක