ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි
- නිකී - බ්රීට වඩා විනාඩි 16කින් වැඩිමහල්
- ලෝකයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වූයේ කාන්තා මල්ලවපොර ශූරියන් වූ නිසයි
- නිරූපනය, රංගනය, ටෙලිවිෂන් රියැලටි ෂෝ, වයින් ව්‍යාපාරය විලාසිතා ව්‍යාපාරය ආදි අංශ මගින් මිලියන ගණන් උපයනවා
සය නිවුන් දරු උපතක් පසුගියදා අප රටේදී සිදුවිය. ඒ ගැන රටේ බොහෝ දෙනා කතා බහ වෙන මොහොතක. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අප විස්තර කිරීමට සූදානම් වන්නේ. ලෝකයේ පොහොසත්ම නිවුන් සහෝදරියන් දෙදෙනා සහ ඔවුන්ගේ ව්‍යාපාර සහ වත්කම් ගැනයි. "නිවුන්නු - හපන්නු" යැයි බොහෝ දෙනා කියති. එලෙසින් නිවුන්නු හපන්නු වේ නම්?
මේ නිවුන් සහෝදරියන් දෙදෙනා එකිනෙකාට සැබෑ හපන්නු වේ. මේ දෙදෙනා ඉතාම සූරූපී තරුණියන් දෙදෙනෙකි. ඉතාම සුරූපී තරුණියන් වුවද ඒ සූරූපීකම නිසා ලෝකයේ බොහෝ දෙනාගේ ආකර්ශණයට නතුව සිටින බව කිව හැකිය. ඔක්කෝමටත් වඩා මේ දෙදෙනා හපනියන් වී සිටියේ මල්ලවපොර පිටියේදී පෙන්වූ හපන්කම් නිසාය.
මල්ලවපොර ශූරියන් වූ මේ නිවුන් සහෝදරියන් ලෝකයේ ධනවත්ම නිවුන් සහෝදරියන් වූයේ කෙසේද? මොනවද එයාලගෙ ව්‍යාපාර? ඒ ගැන අපි සෙවුම් - බැලුම් කර බලමු.
නිකී බෙල්ලා - බ්‍රී බෙල්ලා
ලෝක කාන්තා වෘත්තිය මල්ලවපොර පිටියේ 2019 දක්වා දස්කම් පෑ ශූරියන් දෙදෙනා වන්නේ බ්‍රී බෙල්ලා යන මේ සූරූපී අක්කා - නගෝ දෙදෙනාය.
ලෝක කාන්තා මල්ලපොර පිටියේදී දැක්වූ අසහාය දස්කම් නිසාම ජීවිත කාලය පුරාවට පිදෙන ගෞරවනීය සම්මානයෙන් පිඳුම් ලබා සිටින මෙම සහෝදරියන් දෙදෙනාගේ සැබෑ නාමයන් වන්නේ නිකොල් සහ බ්රිආනාය.
නිකොල් නිකී යනුවෙනුත්, බ්‍රියානා, බ්‍රී යනුවෙනුත් භාවිතා කළේ ලෝක කාන්තා මල්ලවපොර පිටියේදී එය වඩා ආකර්ශණීය යැයි සිතූ නිසාවෙනි.
එලෙසින් නිකි සහ බ්‍රී වූ පසු මේ දෙදෙනා හට ඒ නාමයන් කදිමට පෑහිණි.
නිකී හෙවත් නිකොල් මේ දෙදෙනාගෙන් වැඩිමල් තැනැත්තිය වන්නීය. ඇය උපන්නේ නැගණිය හෙවත් බ්රියානාට වඩා විනාඩි 16කට කළින්ය. WWE නොහොත් කාන්තා මල්ලවපොර ලෝක ශූරතා Divas Championship තරගාවලියේදී නිකී දෙවතාවකදී සහ බ්‍රී එක් වතාවකදී ශූරතා දිනා ගෙන තිබේ.
ඊට අමතරව විවිධ ශූරතා නාම යටතේ මේ දෙදෙනා දිනා ඇති ශූරතා ගණන බොහෝය. මෙලෙසින් මල්ලපොර පිටියේදී අද තරඟවලින් ඔවුන් ඈත් වී සිටියද වෙනත් ප්‍රවර්ධන සහ වාණිජමය කටයුතු වෙනුවෙන් දායකත්වය ලබා දෙන බව සඳහන් කළ හැකිය. නිකී සහ බ්‍රී මහා ධනස්කන්දයක් ඉපැයුවේ කාන්තා මල්ලවපොර පිටියේ ශූරියන් ලෙස කටයුතු කළ නිසාම නොවේ. ඊට වඩා මේ දෙදෙනා මුදල් උපයා ගන්නේ වෙළඳ ප්‍රවර්ධන කටයුතු, චිත්‍රපට රංගනය, රූපවාහිනී රංගනය, මියුසික් වීඩියෝ, යු - ටියුබ් ෂෝ, මෙන්ම වෙළඳ දැන්වීම් ආදි බොහෝ දේට පෙනී සිටීම නිසාය. ඊට අමතරව ඔවුනගේ ව්‍යාපාර නිසා තවත් විශාල මුදලක් උපයා ගැනීමට හැකිවී තිබේ.
නිකී ගේ සම්පූර්ණ නාමය වන්නේ ස්ටෙෆනි නිකොල් ගාර්ෂියා කොලස්ය. 1983 නොවැම්බර් 21 වැනිදා ඇය උපත ලැබුවේ කැලිෆෝර්නියාවේ සැන්දියාගෝ හීදීය. ජෝන් ගැර්ෂියා ඇයගේ පියාය. මවගේ නාමය වන්නේ කැතී කොලස්ය. මේ නිකී සහ බ්‍රී නිවුන් සහෝදරියන් දෙදෙනා හට කුඩා කාලය ගත කිරීමට සිදුවූයේ ඇරිසෝනාවට නුදුරු ගම්බද පළාතක ගොවිපළ භූමියක සිටය. නිකීගේ මෙන්ම නැගණිය බ්රීගේ ළමා කාලය ප්‍රීතිමත් ගත කළේ නැතැයි නිකී සඳහන් කර තිබේ. ඊට හේතුව වූයේ ඔවුනගේ තාත්තා එකල දැඩි ලෙස මත්ද්‍රව්‍ය නිසා පීඩාවට පත්ව සිටීමය. වයස අවුරුදු 15 දැරියකව සිටියදී ඇය උසස් පාසලේ සිසුවකු අතින් ලිංගික අතවරයට පත්විණැයි සඳහන් වේ.
‘‘මම හිතුවේ එයා මගේ හොඳ මිතුරෙක් කියලා. ඒත් ජීවිතේ පළවැනි වතාවට එයා මාව දූෂණය කළා. වයස 16දි මත්ද්‍රව්‍යයට තදින් ඇබ්බැහිව සිටි වැඩිහිටි මිනිසකු අතින් යළිත් මා දූෂණයට ලක්වුණා. මම මටම දොස් කියා ගත්තා. මම ඒක රහසක් විදියට තියා ගන්නත් උත්සාහ කළා.
නිකී එලෙසින් තවත් බොහෝ දේ ප්‍රකාශ කළේ රූපවාහිනි වැඩ සටහනකදීය.
බ්‍රියානා මොනික් ඩැනියල්සන් යනු ඇයගේ සම්පූර්ණ නාමයයි. නමුත් අක්කා නිකී මෙන් ලෝක මල්ලවපොර වළල්ලේදි ඇය යොදා ගත්තේ බ්‍රී යන කෙටි නාමයයි.
පාපන්දු ක්‍රීඩාවට දක්ෂ අක්කා - නගෝ
පාසල් සමයේදී ඉගෙනීම් වලට අමතරව මේ දෙදෙනා පාපන්දු ක්‍රීඩාවට තදින්ම ඇලුම් කළ වග සඳහන්ය. ප්‍රාථමික අවදියේ සිට පාපන්දු ක්‍රීඩා සමාජයකට බැඳී ඔවුහු ක්‍රීඩා කළහ. උපාධි ලබා ගත්තේ දෙදෙනාම චැපරල් උසස් පාසලෙනි. එකල කොයි කා අතරත් මේ සුන්දර යුවතියන් දෙදෙනා පාපන්දු තරුලෙස ජනප්‍රියව සිටි බව කිව හැකිය. දෙදෙනා යා යුතු මග කුමක්ද නිශ්චිත සොයා ගෙන නොසිටියද ඔවුන් නැවත ලොස් ඇන්ජලීස් නගරයට පැමිණියේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඒජන්තයකුගේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාව ඇතිවය. එතෙක් ඔවුනට කැලිෆෝර්නියාවේ මොන්ඩ්රියන් හෝටලයේ වේටර්වරියන් ලෙස සේවය කිරීමට සිදුවිණි. ඉන්පසුව දෙදෙනාම රංගනය, නිරූපනය සහ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් පෙනී සිටිමින් මුදලක් උපයා ගැනීමට සමත් වුණි. බ්‍රී ගියේ අක්කා ගිය පාරේමය. දෙදෙනා එක්ව ප්‍රථම වරට ටී.වී ෂෝ එකකට පෙනී සිටියේ ෆොක්ස් රියැලටි නාලිකාවේ මිටිම් ෆොක්ස් වැඩ සටහන සමගය. ඉන්පසුව 2006 දි නිවුන්නු අතර වූ තරගයකට සහභාගි වීම නිසා ඔවුන්ට ලැබුණේ ලොකු ජනප්‍රියත්වයකි. වෘත්තිය වශයෙන් මල්ලවපොර තරඟ සඳහා ඉදිරිපත් වීමට පටන් ගත්තේ ඉනික්බිතිවය. මේ සියල්ල ඔවුන් කළේ ඉගෙනීමකින් හැදෑරීමකින් තොරව නොවේ. එසේ නොමැතිව ක්ෂේත්රයේ රැඳී සිටීමටද නොහැකිය. තනි තනි වශයෙන් මල්ලවපොර වළල්ලට ආ දෙදෙනා යුගලයක් ලෙස ක්‍රීඩා කරන තරඟ සඳහා ඉදිරිපත් වූයේ 2008 සිට බෙල්ලා නිවුන්නු නමිනි. ඉන්පසුව මල්ලවපොර භූමියේ බැබලෙන තාරකා බවට පත්වූ නිකී සහ බ්‍රී ඊට එහා ගොස් රියැලටි ෂෝ චිත්‍රපට රඟපෑම් ටෙලි නාට්‍යවල රඟපෑම් සහ මියුසික් වීඩියෝ ඇතුළු බොහෝ අංශවලට දායක වී මිලියනපති තරු චරිත බවට පත්වූහ. මෙලෙසින් මිලියන තරු බවට පත්වීමෙන් පසුව විවිධ ටෙලිවිෂන වැඩ සටහන් සඳහා මේ දෙදෙනා හට ලැබුණේ පෙරටත් වඩා වූ ඉල්ලුමකි. එවැනි අවස්ථාවක බ්‍රී ඔවුන්ගේ මේ ගමනට ඉවහල් වූ කාරණා කීපයක් ගැන කෙටියෙන් පවසා තිබුණේ මෙලෙසිනි.
“අපි දෙන්නගේ ළමා කාලය ගතකළේ එදා අපි ජීවත් වූ ඇරිසෝනාවේ ස්කොට්ස්ඩේල්වල. අපි හැදී වැඩුණේ ගොවිපළක වූ භූමියක නිසා. අපට කාලය ගත කිරීමට සිදුවූයේ, අශ්වයින්, එළදෙනුන් සහ කුකුළන් සමගයි. උදේ පාන්දර අපට අවදිවීමට සිදුවුණේ පාසල් යෑමට පෙර සතුන්ට කෑම දීම සිදුකළ යුතුව තිබූ නිසයි. ඒ නිසා අපි දෙන්නා වඩාත් ක්‍රියාශීලි තත්ත්වයට පත්වුණා. පාසල් ගිහින් ආ විගස අපි කළේ පාපන්දු පිටියට යෑමයි.
ටෙලිවිෂනය නරඹද්දී අපේ අම්මා නිතරම අපි ගැන විමසිලිමත් වුණේ අපි මොනවද නරඹන්න කියලයි. ඒ වගේම අපි දෙන්නම එකම විදියට අඳින්න - පළඳින්න ඕනෑය කියලා නීති පනවලා තිබුණේ නැහැ. අපි තුනේ පංතියේ සිටියදී අම්මා අපි දෙන්නව එකම පංතියකට යොමු කළේ නැහැ. පංති දෙකකට දැම්මේ විවිධ යාළුවන් මුණ ගස්සවන්න. අත්දැකීම් වෙන් වෙන් වශයෙන් ලබාදීමේ අපේක්ෂාවෙන්. එ්ක හරි හොඳ දෙයක්. අදටත් අපි දෙන්නට එදා පංතියේ සිටි හොඳම යාළුවෝ ඉන්නවා. එදා නිකී තවත් පාසලකට ගොස් පාපන්දු ක්‍රීඩා කළත් මගේ පාපන්දු ගමන නතර වුණේ පාදයේ ආබාධයක් ඇති වූ නිසයි.
නිකී සහ බ්‍රී නිවුන්නු නිසා වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම ඉතා අපහසුය. නිවුන්නුන්ගේ ස්වභාවය එයයි.
බ්‍රී ගෙ පපු පෙදෙසේ උපන් ලප දෙකක් තිබේ. එහෙත් නිකීට එය පිහිටා නැත. ඒ වගේම මුහුණු දිහා හරියට විපරම් කර බැලුවොත් එය තරමක් වෙනස් යැයි ද බ්‍රී සඳහන් කරන්නීය.
‘‘අපි දෙන්නට දෙන්නා විහිළු කර ගන්නේ මට තියෙන්නේ බනානා (කෙසෙල් ගෙඩි) මූණක්, ඔයාට තියෙන්නේ ඇපල් මූණක් කියලයි.
එසේ පවසන බ්‍රී විවාහ වී සිටින්නේ ඇමරිකාවේ තවත් මල්ලවපොර ශූරයක වන බ්‍රයන් ඩැනියෙල්සන් සමඟය. ඔහු ප්රකටව සිටින්නේ ඩැනියෙල් බ්‍රයන් නමිනි. සේ යුවළට දියණියක සහ පුතකු සිටී. බ්‍රී හට දෙවැනි පුතු ලැබෙන විට අක්කා නිකීද දරුවකු බිහිකළ බවත් දෙදෙනාම ගැබ් ගත්තේ එකම මාසයකදී බවත් පවසා සිටියාය.
නිකී වයස 20දි පමණ විවාහ වූයේ පාසලේදී සිටි ප්‍රේමවන්තයා සමගය. එය තෙවසරකින් නිමාවට පත්විණි. ඉන්පසුව නිකී ගැන මල්ලවපොර ලෝකයේ කතාබහක් ඇතිවූයේ ලෝක මල්ලවපොර ශූර ජෝන් සීනා සමඟ 2012 සබඳතාවයක් ඇති කර ගැනීමත් සමඟය. 2017 දි දෙදෙනා විවාහ ගිවිස ගත්හ. 2018 විවාහයට දින නියම කරෙගන සිටියද එය එතැනින්ම අහවර විණි. ඉන්පසුව නිකී ඩාන්සින් විත් ද ස්ටාර්ස් වැඩ සටහන් මාලාව සමඟ නර්තනයට ඇය සමඟ එක්වූ රුසියානු ජාතික නර්තනශිල්පී ආතම් චිග්වන්ත්සෙව් සමඟ ආදරයක් පටන් ගත්තාය. පසුගිය වසරේදී දෙදෙනා විවාහ ගිවිස ගත් අතර නිකීගේ නිවුන් සොයුරිය වන බ්‍රී දෙවැනි දරුවා ගැබ් ගත් දිනම ඇයද ගැබ්ගත් කතාව සනාථ කළාය. නිවුන් අක්කා - නගාලාගේ තවත් විශේෂිත වූ මොහොතක් ලෙස ඒ අවස්ථාව සඳහන් කළ හැකිය.
බෙලා හෙවත් බෙල්ලා නිවුන් තාරකාවන්ගේ ව්‍යාපාර
නිකී සහ බ්‍රී නිවුන් සහෝදරියන් දෙදෙනා - සතුව වයින් නිෂ්පාදන ව්‍යාපාරයක් තිබේ. එය නම් කර ඇත්තේ බෙල් රඩීව් (Bella Radici) යනුවෙනි. ඊට බර්ඩ් බී නමින් විලාසිතා ආයතනයක්ද මේ දෙදෙනා සතුය.
Birdebee නිර්මාණය කරද්දි අපි බාධක ගැන හිතුවෙ නැහැ. මොකද බාධක වලට මුහුණ දීම හෝ බාධක වලට මුහුණ දීම හෝ බාධක ජය ගැනීම අපට අමුතු දෙයක් නොවන නිසා, සියලු දෙනාගේ රුචියට ගැලපෙන විලාසිතා සන්නාමයක් අපි හඳුන්වා දී තිබෙනවා. ඔබ නිකී කෙනෙක් හෝ බ්‍රී කෙනෙක් හෝ ඒ අතර වූ කෙනෙක් විය හැකියි. ඒ සියලු දෙනාට මෙන්ම විශේෂයෙන්ම කාන්තාවන්ට අපේ විලාසිතා සතුටක් ගෙන දේවි. අපේ විලාසිතා සුඛෝපභෝගි තමයි, ඒත් දරාගත හැකි මිලකට ඒවා මිලදී ගත හැකියි.
තම විලාසිතා ආයතනය ගැන නිවුන් සොයුරින් පවසන්නේ එලෙසිනි. ක්‍රියාශීලි සහ ක්‍රීඩාශීලි අවස්ථා සඳහා වූ නිර්මාණ පෙළක් බර්ඩීබි වෙතින් හඳුන්වා දී ඇත.
නිවුන්නු ලෙස ඉපදී මේ අක්කා - නගාලා දෙදෙනා තම හැකියාවෙන් සහ දක්ෂතාවයෙන් උපරිම ඵල නෙලා ගෙන ඇති වග කිව හැකිය. නිවුන් චරිතයකට එහා ගිය අරුතක් මේ දෙදෙනා තම ජීවිත වලට ලබාදී තිබේ. සිනමා රංගනයද, රූපවාහිනි රංගනය මෙන්ම රියැලටි ෂෝ, නිරූපනය, යු ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය සහ තවත් ප්‍රවර්ධන කටයුතු මෙන්ම ඉහත කී ව්‍යාපාර සියල්ල වෙතින් නිකී - සහ බ්‍රී ධනස්කන්ධයක් උපයන්නේ නිවුන් බව සලකුණක් කරගෙනය. නිවුන්නු වීම එකඅතකට හරි හොඳ දෙයක් නේද? කවුරු නැතත් මැරෙනකල්ම දෙන්නට දෙන්නා බැඳී සිටීම සහ එක්ව කටයුතු කිරීම ඊට හේතුවය. නිවුන්නු ලෙස නිකී සහ බ්‍රී ලෝකයේ ජයගත් චරිත වේ. ඔවුනට අමරතව නිවුන් චරිත ලෙස ලොව වඩා ප්‍රකට වූ චරිත කීපයක් ගැන සඳහන් කරමින් අප මෙම සටහන නිම කරමු.
නිකී බෙල්ලා - බ්‍රී බෙල්ලා කුඩා අවදියේ
ලෝකයේ වඩාත් ජනප්‍රිය නිවුන් සහෝදරියන් වන්නේ ඇමරිකාවේ හිටපු ජනපති ජෝර්ජ්.ඩබ්.බුෂ්ගේ දියණියන් වන Jenna (ජෙනා) බුෂ් හේගර් සහ (Barbara) බාබරා පියර්ස් බුෂ්ය. ඔවුනගේ සීයා වන්නේ ජෝර්ජ් ඩබ්.බුෂ්ගේ පියා වන ඇමරිකානු හිටපු ජනපති ජෝජ් එච්.ඩබ්.බුෂ්ය.
නිවුන් සොයුරියන් අතරින් වඩාත් සාර්ථක වූ දෙදෙනා ලෙස වාර්තාවල සඳහන් වන්නේ මේරි කේට් සහ ඈෂ්ලි ඔල්සන් නිවුන් සොයුරියන්ය.
මේ දෙදෙනා ජනප්‍රිය වූයේ රංගන ශිල්පිනියන් ලෙසත්, මෝස්තර විලාසිතා නිර්මාණ ශිල්පිණියන් ලෙසත් කටයුතු කරන නිසාය. හිටපු ජනපති බුෂ්ගේ දියණියන් දෙදෙනා ජනප්‍රිය වූයේ ග්රන්ථ රචනයෙන් සහ ටෙලිවිෂනයේ වැඩ සටහන් ඉදිරිපත් කිරීම යන අංශ වලිනි.
Tamera සහ Tia නිවුන් සහෝදරියන් ද ප්රකටව ඇත්තේ හොලිවුඩයේ චිත්‍රපට රංගන ශිල්පිනියන් වන නිසාය.
පරිවර්තන සටහන :
සඳුන් ගමගේ
[email protected]