විදු ඇසින් දකින පිරමීඩවල ඇති වාස්තු විද්‍යාත්මක ශක්තිය


 

 

අප නිවසක් සාදනවිට වාස්තු විද්‍යාත්මකව දෝෂ ඇත්දැයි විමසා ඒවා මඟහැර සාදන බව අපේ පිළිගැනීමයි. අප නිවස බඩු භාණ්ඩ පවා ඒ ඒ තැන්වල තබා තිබෙන්නේ එක්තරා පිළිවෙළකට බව අප දන්නා කරුණකි. 


ඒවා අවුල්ව තැන් තැන්වල අපිළිවෙළට තබා තැබුවහොත් අපට මානසිකව අසහනයක් ඇතිවේ. මෙසේ වෙන්නේ ඇයි? ශක්ති කිරණ ගමන් කිරීම අක්‍රමවත් වෙන විට අපේ මනසට එය බලපායි. ඒ අනුව අසහනය ඇතිවේ. හැම දෙයක්ම පිළිවෙළකට තැබීමේදී සිදුවෙන්නේ යහපත් ආකාරයෙන් ශක්ති කිරණ ගමන් කිරීමට සැලැස්වීමයි.
 


යම් යම් දේවල හැඩ අපට බලපාන අන්දම ගැන ග්‍රන්ථයක් ලියූ ප්‍රංශ ඉංජිනේරු මූරෙන්, ගෝලාකාර, අර්ධ ගෝලාකාර, හතරැස්, කෝණාකාර ආදී සෑම ස්වරූපයක්ම විශ්වයේ ඈත එපිට සිට එන කිරණ තරංගයන්ට මෙන්ම අප වටා ඇති ශක්තීන්ටද ප්‍රතික්‍රියා දක්වන බව පවසයි. 


(Psychic Discoveries Behind the Iron Curtain – Sheila Ostrander and Lynn Schroeder, Bantem Books U.S.A. 1971) 


අප අවට ඇති වාතයේ ධන හා ඍණ අයන ඉන්ෆා රෙඩ් කිරණ, ඇල්ට්‍රා වයලට් කිරණ, ශබ්ද කිරණ, ආලෝක කිරණ, චිත්ත ශක්ති කිරණ හා ඈත අභ්‍යවකාශයෙන් එන කොස්මික් කිරණ ආදී මෙකී නොකී කිරණ තරංග සාගරයක් තුළ අප මෙන්ම අපගේ නිවාස ආදී හැම දෙයක්ම ගිලී පවතී. මේ කිරණ ජ්‍යාමිතික හැඩ සහිත කාමර ආදියෙන් යුත් අප නිවස් ආදිය හරහා යනවිට හෝ ඒ තුළ ස්පන්ධනය වෙන විට අපට නොයෙක් බලපෑම් ඇති කරයි. 


අප ජීවත්වෙන ගොඩනැගිලි ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් නිවාස පමණක් නොව කාර්යාල ගොඩනැගිලි රෝහල් ආදී කිසිවක් සඳහා උස, දිග, පළල එක සමාන කාමර නුසුදුසු බවත් ඒවා තුළ අපට අහිතකර ශක්තීන් ක්‍රියාත්මක වෙන බවත් මිනිස්ටර් ෆූලර් නම් සුප්‍රසිද්ධ විද්‍යාඥයා කියයි. (ඉහත සඳහන් පොත) 


ජර්මන් විද්‍යාඥයන්ට අනුව සමහර නිවාස තුළ ඇති ස්වභාවික කිරණ තරංගයන්ට අනුව කම්පනය වෙන විට අපට හෝ සතුන්ට එය හිතකර නොවිය හැකිය. ඔවුන් ඒවා ක්‍රැන්කන් හවුසර් (Kranaken Hauser) ලෙස නම් කරති. (The Cycles of Heaven - Guylyon Plavfair and Scott Hill-Pan Books - London 1979) 


කැනඩාවේ සස්කච්වාන් ජනපදයේ මානසික රෝහලක පිළිවෙළකට නොවූද උස, පළල හා දිග අසමාන වූද කාමර පේළිවල සිටි රෝගීහූ සෙසු සමාන කාමරවල සිටි රෝගීන්ට වඩා ඉක්මනින් සුවපත් වූහ. (Super Nature - Lyall Watson-Coronat Books - London 1974) 


වරක් චෙකෝස්ලෝවැකියානු සමාගම් තමාගේ බීර නිෂ්පාදන රවුම් බැරල්වල සිට කෝණාකර බැරල්වලට මාරු කළේය. එකම නිෂ්පාදන ක්‍රියාවලියකින් නිපදවූ බීර වුවත් කෝණාකාර බැරල්වලදී ගුණවත් බවෙන් අඩුවක් සිදුවෙන බව දක්නට ලැබුණි. (Super Nature - Lyall Watson Coronat Books, London 1974) 
වසර හාරදහසකටත් වඩා පැරැණි මිසරයේ කයිරෝ නගරයේ බටහිරට සැතැපුම් දහයක පමණ දුරින් පිහිටි වියේප්ස් ගේ මහා පිරමීඩය තුළ යම්කිසි ශක්ති විශේෂයක් ක්‍රියාත්මක වෙන බව මුලින්ම තේරුම් ගත්තේ මොන්ෂයර් බෝවිස් නම් ප්‍රංශ විද්වතකු විසිනි. පිරමීඩය තුළ අතරමං වී මිය ගොස් සිටි මීයන් පූසන් ආදී සතුන්ගේ මළ සිරුරු කිසිම කුණුවීමක් නැතිව දක්නට ලැබුණු බව ඔහුට දක්නට ලැබුණේය. පිරමීඩය තුළ වාතයේ තෙතමනය තිබුණේය. එබැවින් මළසිරුරු කුණු නොවීමට හේතුව සොයා තව දුරටත් පර්යේෂණයේ යෙදුණේය. එම මහා පිරමීඩයක් දිග පළල ආදී මිනුම්වල අනුපාතයට කුඩා කර අඩි 3ක පමණ පළලක කුඩා පිරමීඩ සාදා ඒවා තුළ සතුන්ගේ මළ සිරුරු තබා පරීක්ෂණ කිරීමේදී ඒවා තුළද එම සිරුරු කුණු නොවී පවතින බව දක්නට ලැබුණි. ඉක්මනින් විජලනය ඇති කර එම සිරුරු කුණුවීම වළක්වන ශක්ති විශේෂයක් පිරමීඩය තුළ ක්‍රියාත්මක වෙන බව බෝවිස් පෙන්වා දුන්නේය. (The Secret Power of Pyramids - Bill Schut and Ed, Petit-Coronat Books, London 1976) 


බෝවිස්ගේ පර්​ෙ‌ය්ෂණ වාර්තා කියවූ චෙකොස්ලෝවැකියානු ප්‍රධාන පෙළේ ඉංජිනේරුවකු වූ ක්‍රැරල් ඩ්‍රැවල්ද බෝවිස්ගේ අත්දැකීම් සත්‍ය බව පෙන්වා දුන්නේය. අාධ්‍යාත්මික බලයෙන් ලෙඩ සුව කළ හැකි බව බෙල්ජියන් රජයේ පරමානු කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය ජැක්වෝඩ් එරේරා පෙන්වා දී ඇත. මැක්ගිල් සරසවියේ ආචාර්ය බර්නාඩ් ග්‍රෑඩ් ද මෙ ශක්තීන් පිළිබඳ බොහෝ පර්​ෙ‌ය්ෂණ සිදුකර ඇත. (Some Biological Effects of the Laying on of Hands, “A Review of Experiments with animals and plants”, Journal of the American Society for Psychical Research Vol 59-2) (1965-Berned Grrad) පිරමීඩයේ මස් නරක් නොවෙන්නට ඉඩ දෙන ශක්ති විශේෂ හා අපගේ අතින් පිටවෙන ලෙඩ සුව කරන ශක්ති විශේෂයෙන්ද මස් නරක් වීම වළක්වාලන හෙයින් මේ ශක්තීන්හි සමානකමක් තිබෙන්නට ඉඩ ඇත. පිරමීඩය තුළද ලෙඩ සුව වීමට ආධාර වෙන ප්‍රබල ශක්තියක් පවතින බව පිරමීඩ් පර්​ෙ‌ය්ෂකයෝ වාර්තා කරති. 


පිරමීඩයක ක්‍රියාකාරී ශක්තිය අවබෝධ කරගැනීමේදී නිවසේදී කළ හැකි පහසුම පරීක්ෂණයක් එළකිරි ආධාරයෙන් කළ හැකි වේ. පිරමීඩය තුළ නියමිත ස්ථානයක තබන ලද කිරි බඳුනක කිරි දින කීපයකින් මිදී යයි. මුහුන් දමා මිදෙන කිරිවලට වඩා පිරිසිදු ගතියක් හා රසයේ වෙනසක්ද පිරමීඩය තුළ මිදුන කිරිවල පවතී. පිරමීඩ් පර්​ෙ‌ය්ෂකයන්ට අනුව පහත දැක්වෙන ප්‍රතිඵල පිරමීඩ් ශක්තිය තුළින් ඇතිවේ. 


කිරි මිදීම, බ්ලේඩ් තල මුවහත් වීම, දුර්වර්ණ වී ඇති ස්වර්ණාභරණ හා කාසි පැහැපත් වීම, වතුර පිරිසිදු වීම හා වතුරේ ලෙඩ සුවකළ හැකි බලයක් ඇතිවීම, මස්, බිත්තර ආදිය නරක් නොවීම, මල් වියළී ගියත් පාට හා පෙනුම එසේම පැවැතීම, තුවාල, සීරීම්, පිලිස්සීම් ආදිය ඉක්මනින් සුව වීම, කොන්දේ අමාරු, දත් කැක්කුම් ආදියෙහි වේදනා දුරුවීම, පැළෑටි වර්ධනයට මහෝපකාරී වීම, කෝපි, වයින්, පලතුරු බීම ආදියේ විශේෂ රසවත් බවක් ඇතිවීම ආදී තවත් බොහෝ දෑ පිරමීඩය තුළ ක්‍රියාත්මක ශක්තිය නිසා සිදුවෙන අතර ඒවා අපට නිවසේ සිට අත්හදා බැලිය හැකිවේ. (The Secret Power of Pyramids - Bill Schul and Ed Petit - Coronet Books, London 1976) 


පහත දැක්වෙන අන්දමට පිරමීඩයක් සාදාගත හැකි අතර එම මිනුම් සියල්ල මිසරයේ පිහිටි මහා පිරමීඩයේ මිනුම්වලට සමානුපාතික වේ. මෙම පිරමීඩය ත්‍රිකෝණාකාර පැති හතරකින් යුක්ත වේ. එනම් සමාන ත්‍රිකෝණ හතරක් එකට යා කළ විට පිරමීඩය සම්පූර්ණ වේ. පිරමීඩයේ උස ලෙස ගණන් ගැනෙන්නේ ත්‍රිකෝණ හතරම යා කළ පසු සෑදෙන එම පිරමීඩයේ මුදුනේ සිට බිමට කෙළින්ම ඇති උසය. එනම් ලම්බක උසය. පළමුව ත්‍රිකෝණ හතර සකස් කරගන්න. 


ආරම්භක පර්​ෙ‌ය්ෂණය සඳහා සෙන්ටිමීටර් 30ක් උස පිරමීඩයක් සාදා ගනිමු. ත්‍රිකෝණයේ දිග පාදය බිමට සිටින පාදයයි. එය දිග සෙ.මී. 47.12 දිග වේ. ඉතිරි පාද දෙකේ දිග එක සමාන වේ. එම පාදයක දිග සෙ.මී. 44.83 බැගින් විය යුතුය. මේ මිනුම්වලට ත්‍රිකෝණ 4ම පිළියෙල කරගන්න. ඊළඟට කඩදාසි තීරු හෝ ටේප් පටි ආදියකින් සෙ.මී. 44.83 වූ දුර එකිනෙකට ළංකර අලවන්න. දාරයේ දෙපැත්තටම පටි ඇලවීමෙන් ශක්තිමත් වේ. ත්‍රිකෝණ 4ම මෙසේ එකිනෙකට ඇලවීමෙන් පිරමීඩය සම්පූර්ණ වේ. 


පිරමීඩය තබන අයුරු : දකුණ, බටහිර, උතුර, නැගෙනහිර, බටහිර සෙ.මී. 10 උස ගඩොල් කැටය, නැගෙනහිර, උතුර 


පින්තූරයේ පෙනෙන අන්දමට පිරමීඩයේ බිම කොටුව/ලකුණු කර හරි මැදින් සෙ.මී. 10 උස ගඩොල් කැටයක් හෝ එවැනි යමක් තබා එය මත කිරි භාජන, බ්ලේඩ් තල ආදිය තැබිය හැකිය. (පළමුව සඳහන් කර ඇති Psychic Disureries Behind the Iron Curtain - Bantam Books - London පොත ඇසුරෙනි.)


මෙම පිරමීඩයේ එක් පැත්තක් නැගෙනහිරට තබන විට අනිත් දිසා නිතැතින්ම ඉතිරි දිසාවලට හැරේ. පිරමීඩය තුළ තබන සෑම දෙයක්ම පිරමීඩයේ හරි මැද ලම්බක උසින් තුනෙන් එකක උසකින් බව තේරුම් ගත යුතුය. ඒ නිසා සෙ.මී. 10 උස ගඩොලක් හෝ ලී කුට්ටියක් හරි මැද තබන්න. පරීක්ෂණයට භාජනය කරන සෑම දෙයක්ම මේ උසින් තැබිය යුතුය. පහසුම ක්‍රමය නම් එළකිරි කෝප්පයක් තැබීමයි. දින තුනක් පමණ කාලයක් අතරතුර එය මිදේ. කිරි උණු කිරීම හෝ මුහුන් දැමීම අවශ්‍ය නැත. පිරමීඩය අසල ගුවන්විදුලි යන්ත්‍ර රූපවාහිනි යන්ත්‍ර එම ඇන්ටනා ආදිය නොතැබිය යුතුය. ඒවායේ ශක්ති තරංගවලින් පිරමීඩයේ ඇති ශක්තියට බාධා ඇති විය හැකිය. 


මෙම පරීක්ෂණවලදී ලෝහ භාජන භාවිතය සුදුසු නැත. 


පිරමීඩය ඇතුළේ තබන කිරි ආදී දේවලින්ම කොටසක් එම කාමරයේ පිරමීඩයට ඈතින් වෙනත් තැනක තබා විධිමත් ලෙස පර්​ෙ‌ය්ෂණය කිරීමට ද හැකි වේ. එවිට ලැබෙන ප්‍රතිඵලවලින් පිරමීඩ තුළ පමණක් සිදුවෙන ප්‍රතික්‍රියා කුමක් දැයි දැනගත හැකිවනු ඇත. බ්ලේඩ් තලයක් තබනවිට එය උතුරු දකුණු දිසාවලට තැබූ විට කැපෙන තල දෙක නැගෙහිර බටහිරට යොමු වී සිටියි. 


අප ජීවිතයේ බොහෝ කාලයක් ගත කරන්නේ යම්කිසි ජ්‍යාමිතික හැඩයක් ස්වරූපයක් ඇති ගොඩනැගිලි, නිවාස, දුම්රිය, බස්රිය, මෝටර් රථ ආදිය තුළය. නිසැකවම මේ කොයි දේ කළත් ශක්ති ක්‍රියාකාරීත්වය සිදුවේ. එහෙත් නවීන විද්‍යාව අනුව අතිසියුම් ශක්ති බලවේග පාලනය කිරීමේ ක්‍රම තවම වැඩි වශයෙන් සොයාගෙන නැතුවා සේ පෙනේ. නවීන ක්‍රම සොයාගන්නා තුරු අප නිවාස හා අනෙකුත් ද්‍රව්‍ය සාදන විට පැරැණි වාස්තු විද්‍යාව උපයෝගී කරගන්නා එක විද්‍යාත්මක නොවේ යැයි කිව නොහැක. 


පැරැණි වාස්තු විද්‍යාව අනුගමනය නොකර තැනූ නිවාස කෙතරම් අලංකාර වුව ද අසහනයකින් තොරව ඒවා තුළ ජීවත් විය නොහැකි බව අත්දැකීමෙන් පැවැසිය හැක. මෙම ලිපිය ලියන්නේ විදු ඇසින් මේවා විමසා බැලීමට මිස ව්‍යාපාරික අදහසින් නොවන බව කරුණාවෙන් සලකත්වා.

 

 

මනෝවිද්‍යා උපදේශක 
ආචාර්ය ජී. හල්ගස්වත්ත