ශ්‍රී ලංකාවේ ඔලිම්පික් පුරාණයෙන්



තවත් දින 12 ක පමණ කාලයකින් ප්‍රංශයේ පැරිස් නුවරදී 33 වැනි නූතන ඔලිම්පික් උළෙල ආරම්භ වේ. රටවල් 196 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10672 දෙනෙකු ක්‍රීඩා ඉසව් 32 ක් සඳහා තරග වැදීමට සූදානමින් සිටිති.

කෙසේවුවත් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා ඉසව් තුනකින් පමණක් ඒ සඳහා ක්‍රීඩකයන් හය දෙනෙකු සහභාගි වේ. එයින්ද නිර්දේශ තහවුරු කර ගත්තේ බැඩ්මින්ටන් හා මලල ක්‍රීඩා යන ඉසව් දෙකෙන් පමණි. පිහිනුම් ක්‍රීඩාවෙන් පංගු ක්‍රමය හෙවත් සුදුසුකම් නොලත් එසේත් නැතිනම් වයිල්ඩ් කාඩ් ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට එක් ක්‍රීඩකයෙක් හා එක් ක්‍රීඩිකාවකට අවස්ථාව සැළසී තිබේ.

සුසන්තිකා ජයසිංහ


ඩන්කන් වයිට්


ඒ අනුව මලල ක්‍රීඩාවෙන් ශ්‍රේණිගත ලකුණු ක්‍රමයට අනුව මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න, මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ, බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් කෙවින් වෙත්තසිංහ, පිහිනුම් ක්‍රීඩාවෙන් කයිල් අබේසිංහ හා ගංගා සෙනවිරත්න යන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර පැරිස් ඔලිම්පික් උළෙල මෙරට නියෝජනය කරන්නෝ වෙති.

පැරිස් ඔලිම්පික් වයාපෘතිය යූරෝ බිලියන නවයක වියදමක් බව වාර්තාවේ. ශ්‍රී ලංකාව වැනි රටවලට පදක්කම් දිනා ගැනීම කෙසේ වෙතත් ඊට නිර්දේශ ලබා ගැනීමත් දුර්ලභ අවස්ථාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව අරභයා එය මෙසේ පැහැදිළි කළ හැකිය. 1948 ලන්ඩන් උළෙල සිට ගියවර ටෝකියෝ (2020) ඔලිම්පික් උළෙල දක්වා මෙරට ඔලිම්පික් ක්‍රීඩා සහභාගිත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 121 කට සීමාවී තිබේ. එයින් සැළකිය යුතු පිරිසක් මේ වන විට මියගොස් ඇත. එසේ ආසන්නයේම මියගිය ඔලිම්පික් නියෝජනය කළ ශ්‍රී ලාංකිකයා වූයේ ආසියානු උස පැනීමේ රන් පදක්කම් ලාභියෙකු වන ඇමෙරිකාවේ පදිංචිව සිටි නාගලිංගම් එදිරිවීරසිංහම්‍ මහතාය.

හිටපු කඩුලු‍ පැනීමේ ශූරියක් වන ශ්‍රියානි කුලවංශ මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ සංගමයද මේ වන විට ක්‍රියාත්මක වේ. ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රියාත්මක ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ කමිටුවේ සභාපතිත්වය දරන්නේ හිටපු සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න මහතාය.

එහිදී පදක්කම් දිනා ගැනීමත් දෙකකට පමණක් සීමාවී තිබේ. වසර1948 ලන්ඩන් හා 2000 සිඩ්නි යන ඔලිම්පික් උළෙල දෙකකදී ඩන්කන් වයිට් හා සුසන්තිකා ජයසිංහ විසින් දිනා ගත් පදක්කම් දෙකම මලල ක්‍රීඩාවෙන් දිනූ රිදී පදක්කම් වෙති. 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී සුසන්තිකා විසින් මීටර් 200 (කාන්තා) ඉසව්වෙන් දිනා ගත්තේ ලෝකඩ පදක්කමක් වුවත් පසුව ඇයට රිදී පදක්කම ප්‍රදානය කෙරුණි.

ඊට හේතුවූයේ රන් පදක්කම දිනාගත් ඇමරිකානු ක්‍රීඩිකා මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක පාවිච්චි කර ඇති බවට තහවුරු කර ගැනීමයි.

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් පුරාණය එසේ වූවත් වැඩිම වාර ගණනක් නූතන ඔලිම්පික් උළෙලේ ජයග්‍රාහකයා වන ඇමරිකාව 1896 ඇතන්ස් එහි පළමු වැන්නේ සිට 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල දක්වා දිනා ඇති රන් පදක්කම් ගණන පමණක් 1179 කි. රිදී හා ලෝකඩ පදක්කම්ද සහිතව මෙතෙක් ඔවුන්ගේ පදක්කම් එකතුව 2968 කි.

1900 පැරිස් ඔලිම්පික් උළෙලට එක් ක්‍රීඩකයෙකු ඉදිරිපත් කිරීමෙන් ඉන්දියාවේ නූතන ඔලිම්පික් ක්‍රීඩා ගමන ආරම්භවී තිබේ. ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල දක්වා ඉන්දියාව මෙතෙක් දිනා ඇති රන් පදක්කම් ගණන 10 කි. රිදී හා ලෝකඩ පදක්කම්ද සහිතව ඔවුන්ගේ මෙතෙක් මුළු පදක්කම් එකතුව 35 කි.

ආරම්භ වන පැරිස් ඔලිම්පික් සඳහා ක්‍රීඩා ඉසව් 16 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 113 ක් ඉදිරිපත් කිරීමට ඉන්දියාව සමත්ව සිටියි. පාකිස්තානයේ තත්වය විමසීමේදී ඔවුන් පැරිස් ඔලිම්පික් සඳහා මලල ක්‍රීඩා, ඉලක්කයට වෙඩි තැබීම හා පිහිනුම් යන ක්‍රීඩා ඉසව් වෙතින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හත් දෙනෙකු සහභාගි වෙති.

ශ්‍රී ලංකාව නියෝජනය කරන දකුණු ආසියානු කලාපය තවදුරටත් විමසීමේදී නේපාලය මෙවර පැරිස් ඔලිම්පික් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හත් දෙනෙකු ක්‍රීඩා ඉසව් හයකින් සහභාගි කරයි. බංගලාදේශයේ මෙවර ඔලිම්පික් සහභාගිත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනෙකුට සීමාවී තිබේ. ක්‍රීඩකයන් දෙදෙනකු සහ එක් ක්‍රීඩිකාවකට භූතානයේ මෙවර පැරිස් ඔලිම්පික් සංචාරය සීමාවී තිබේ. 

මාලදිවයිනට පංගු ක්‍රමය යටතේ හිමි වුණු පිහිනුම් ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවක් සහභාගි කිරීමේ ඉඩ ප්‍රස්තාව හිමිවන අතර ඔවුන්ගේ පැරිස් ඔලිම්පික් සහභාගිත්වය ක්‍රීඩකයන් හතර දෙනෙකුට සීමාවී තිබේ.

කෙසේවුවත් ශ්‍රී ලංකාව, ඉන්දියාව හැරුණුකොට කලාපයේ සෙසු රටවල් මේ දක්වා ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට සමත්ව නැත. ඒ අනුව ශ්‍රී ලංකාවට නූතන ඔලිම්පික් ක්‍රීඩා පුරාණයේ කිසියම් ආඩම්බරයකට පත් විය හැකි තත්ත්වයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවට දෙවැනි ඔලිම්පික් පදක්කම දිනා ගැනීමට වසර 52 ක් බලා සිටීමට සිදු විය. ඒ අතර දෙවැනි ඔලිම්පික් පදක්කම දිනා ගෙනත් මේ වන විට වසර 24 ක් ගෙවෙමින් පවතී.

දේශපාලකයන් කටින් බතල සිටුවීමට ප්‍රසිද්ධ ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරා දිගුකාලීන හා කෙටි කාලීන ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහන් රැසක් හඳුන්වා දුන්නත් ඒවායෙන් ලැබුණු ප්‍රතිඵල සීමාසහිතය. මේ දක්වා මලල ක්‍රීඩාවෙන් පමණක් ශ්‍රී ලංකාව ඔලිම්පික් පදක්කම් දිනා ගෙන ඇත. 

එළඹෙන 2028 ඔලිම්පික් උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වේ. ඊට විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවද මුල් වතාවට හඳුන්වාදී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවට මෙය සතුටුදායක ආරංචියකි. ශ්‍රී ලංකාවේ මීළග ඔලිම්පික් පදක්කම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබා ගැනීමේ වඩාත් සාර්ථක උත්සාහයක නිරතවීමට එහිදී ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබෙනු ඇත.
කෙසේවුවත් ක්‍රීඩා ඇමැතිවරුන් කීපදෙනෙකුම පසුගිය වසර ගණනාවක් පුරා හඳුන්වා දුන් ඔලිම්පික් ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහන් සාර්ථකවී නැති බැවින් දැන් ඒ පිළිබඳව අළුතෙන් සිතන්නට සිදු වනු ඇත. 


  • නාමල් පතිරගේ