ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නිත්‍ය පුහුණුකරුවා වූ ක්‍රිස් සිල්වර්වුඩ්ගේ ගිවිසුම් කාලයෙන් නික්මයෑමෙන් පසුව දැන් ඒ වගකීම පැවරී ඇත්තේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය වෙතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් සනත් මොන වගේ දෙයක් කරාවිද? මෙය තාවකාලික පත්වීමක් පමණක්ද? නැතහොත් ඔහු දිගටම ඒ තනතුරේ කටයුතු කරාවිද? ඒ ගැන කරුණු කීමට සනත් ඉරිදා ලංකාදීපය හා එක්වූයේ මෙලෙසිනි.
සනත්, මේ අවස්ථාව ඔබට ලැබීම ගැන හිතන්නේ කොහොමද?
මේ වෙලාවේ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු නැති නිසා එළැඹෙන තරගාවලි දෙක වෙනුවෙන් මට ඒ අවස්ථාව ලබා දී තිබෙනවා. අනෙක් පුහුණුකරුවන් සියලු දෙනා සමග එක්වී හොඳම දේ ක්‍රිකට් වෙනුවෙන් ඉටු කරන්න උත්සාහ ගන්නවා.
මේ වගේ තනතුරක් ඔබ මීට කලින් අපේක්ෂා කළාද?
ප්‍රධාන පුහුණුකරුවෙකු නැති විට, මා ඊට වඩාත් සුදුසුයි කියා ක්‍රිකට් ආයතනය හිතන්න ඇති. ඒ හින්දා තවත් පුහුණුකරුවෙකු සොයන අතරේ මම මේක බාරගත්තා. මේ වගේ තනතුරක් ගැන මම කලින් හිතාගෙන හිටියෙ නැහැ. හැබැයි ලැබුණ වගකීම මේ තරගාවලි දෙකේදී උපරිමයෙන් ඉටු කරන්නයි මම
බලාපොරොත්තු වෙන්නෙ.
තාවකාලික ලෙස කටයුතු කරලා ඔබ බලාපොරොත්තු වෙන අරමුණට යන්න පළුවන් වේවිද? කණ්ඩායම ගොඩදාන්න ඔබට කොපමණ කාලයක් තිබුණොත් හොඳයි කියලද හිතන්නෙ?
කාල වකවානු ගැන නම් මම හිතුවේ නැහැ. දීලා තියෙන වගකීම මේ තරගාවලි දෙකේදී හොඳින් කරන්න කටයුතු සකස් කරමින් ඉන්නෙ. ඒක මට තනියම කරන්න බැහැ. දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සහ අනෙකුත් සියලු පුහුණුකරුවන් සමග එක්වී හොඳම ප්‍රතිඵල නෙලාදීමයි එකම අරමුණ. ඒ වෙනුවෙන් උපරිම ශක්තියක් වගේම කැපවීමක් වෙන්න වෙනවා. ඒ කැපවීම කරන්න මම සූදානම්. අවසානයේ විය යුත්තේ ලංකාවේ ජයග්‍රහණයයි.
ඒ අරමුණට යන්න ඔබ මූලිකවම පටන් ගන්නෙ කොතැනින් ද?
මේ අයගේ පුහුණුවීම් කටයුතු දැන් කරගෙන යනවා. ලෝක කුසලානයේදී යම්කිසි විදිහකට අපේ කුසලතා පල්ලෙහාට වැටුනා නම්, ඒ දුර්වලකම් සහ හේතු හොයාගෙන සුපුරුදු දක්ෂතා වෙනුවෙන් කණ්ඩායම පෙළගැස්වීම කළ යුතුව තිබෙනවා. රට වෙනුවෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ඒ දේ ඉටුකිරීම ක්‍රීඩකයින් වගේම අපි හැමෝගෙම වගකීමක්.
පහුගිය කාලයේදී ඇයි ක්‍රීඩක දක්ෂතා අඩු වෙන්න ඇත්තෙ? ඔබ හඳුනාගත් දුර්වලතා මොනවද?
හැම කෙනෙක්ගෙම අඩුපාඩුකම් තියෙනවා. පිතිකරුවන් වගේම පන්දු යවන්නන් අතින් අඩුපාඩු වුණා. ඒ ඔක්කෝම හදාගන්නෙ නැතිව එක පැත්තකට විතරක් බර දාන්න බැහැ. පන්දු යැවීම, පන්දු රැකීම, පිතිකරණය ඇතුළු සියල්ල හොඳින් හදාගන්න ඕනෑ. මොකද ක්‍රිකට් කියන්නෙ සාමූහික ක්‍රීඩාවක්. එක්කෙනෙක් දෙන්නෙක් විතරක් දක්ෂතා දක්වලා හරියන්නෙ නැහැ. අපි හැමෝම වගකීම් හඳුනාගන්න ඕනැ. නැත්නම් ජයග්‍රහණ අසීරුයි.
අනෙකුත් අංශ වෙනුවෙන් කටයුතු කරන උපදේශකවරු, පුහුණුකරුවන් ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?
ඒ අය මම එනකොටත් හිටපු හොඳ අත්දැකීම් ඇති පිරිසක්. ඒ අයත් එක්ක මගේ තියෙන අත්දැකීම් වගේම මම ගහලා තියෙන ක්‍රිකට් එක්ක අපි ඔක්කොම එකතු වෙලා ලංකාවේ ජයග්‍රහණය ගැනයි හිතන්න ඕනෑ
.
එදා ඔබ ක්‍රීඩා කළ ක්‍රිකට් සහ අද ක්‍රිකට් අතර ඇති වෙනස දකින්නෙ කොහොමද ?
අද නීතී රීති වගේම තාක්ෂණයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු දේ වෙනස් වෙලා. එක එක විදිවලට ක්‍රීඩා කරන අලුත්ම මුහුණුවරක් හැදිලා. ඒක ලොකු වෙනසක්. අලුත්ම විදිහකට අනුගත වෙලා තියෙන්නෙ.
ඔබ ඒ අලුත් විදිහ එක්ක යන්න අනුගමනය කරන ප්‍රධාන දේ ?
මූලිකව මම බලන්නෙ මේ අය එක්ක පුහුණුවීම් කටයුතු හොඳින් කරන්නයි. මේ අයගේ මානසික තත්වය හොඳින් තියාගෙන ක්‍රිකට් ක්‍රීඩා කරන විදිහ වගේම මගේ අත්දැකීම් උපරිමයෙන් කණ්ඩායමට ලබාදීම ගැනයි හිතන්නෙ. පුහුණුකරුවෙකු ලෙස සහ මම ගහලා තියෙන ක්‍රිකට් එක්ක අනෙකුත් පුහුණුකරුවන්ගේ සහාය ඇතිව මේ දේ උපරිමයෙන්ම කරන්න වෙනවා.
ප්‍රධාන පුහුණුකරු ලෙස ඔබගේ වගකීම තියෙන්නෙ ජාතික කණ්ඩායම වෙනුවෙන් විතරද ?
දැනට මට පැවරී තිබෙන්නෙ ජාතික කණ්ඩායමේ වගකීම. මම කටයුතු කරන්නෙ උසස් තාක්ෂණ කමිටුවේ උපදේශකවරයෙකු ලෙසයි.
ටෙස්ට් සහ එක්දින තරග මෙන්ම විස්සයි විස්සෙ තරග වෙනුවෙන් ක්‍රීඩකයින් ආදේශ කිරීමේදී සමහර ක්‍රීඩකයින්ට අවස්ථා නොලැබෙන බවට මෙන්ම අසාධාරණයක් වෙනවාය කියන දේ ගැන ප්‍රධාන පුහුණුකරු ලෙස ඔබ කියන්නේ කුමක්ද?
ඒ ඒ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන විදිහ අනුව තමයි වර්ග වෙන්නෙ. මේ ක්‍රීඩා තරග රටා තුනම කරන අය කණ්ඩායමේ ඉන්නවා. ඒක එයාලගෙ දක්ෂතාව. තමුන්ගෙ දක්ෂතා වැඩි දියුණු කරගෙන ඒ ඒ තරග රටා අනුව කණ්ඩායමට ඇතුළත් වීමට ඔවුන් මහන්සි වෙන්න ඕනෑ.
ඒ කාලයේ ඔබ ක්‍රීඩා කරද්දී එවැනි ස්වභාවයක් තිබුණෙ නැහැ?
ඒ කාලයේදී ටී ටුවෙන්ටි තිබුනෙ නැහැනෙ. ටෙස්ට් සහ එක්දින තරග විතරනෙ තිබුණෙ. ඉතින් ඒවාට හරියන විදිහට අපි ක්‍රීඩා කළා. අද ඒ වෙනුවට තරග රටා තුනක් ඇතිවෙලා. ඒ ස්වභාවය හඳුනාගෙන ඒවාට ගැළපෙන මට්ටමට දක්ෂතා දක්වා කණ්ඩායමට ඇතුළත් වීම ක්‍රීඩකයින්ගෙ වැඩක්.
ප්‍රධාන පුහුණුකරු භූමිකාව සමග ඔබගේ පැමිණීම මේ ක්‍රීඩකයින් පිළිගෙන තිබෙන්නෙ කොහොමද?
තවම අපි වැඩ පටන් ගත්තෙ නැහැ. ලංකා ප්‍රිමියර් ලීග් ටී ටුවෙන්ටි තරගාවලියෙන් පසුව කෙරෙන පුහුණුවීම් එක්ක අපි බලමු. වත්මන් ක්‍රීඩකයින් වෙනුවෙන් ජූලි 18 වැනිදා සිට සතියක පුහුණුවක් සඳහා රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ සිටින පිතිකරන අංශයේ විශේෂඥ පුහුණුකරුවෙකු යටතේ පුහුණුවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබෙනවා. ඒ වගේ දේ එක්ක හොඳම දේ ක්‍රීඩකයින් කරාවි.
ක්‍රීඩකයින්ගෙ බාහිර විලාසිතා ගැන, විශේෂයෙන්ම පච්චා හෙවත් ටැටූ ගසා ගැනීම මෙන්ම සමහර ක්‍රීඩකයින්ගෙ හැසිරීම් ගැන බොහෝ දෙනා විවේචනය කරනවා. එවැනි දේ ගැන ඔබ හිතන්නෙ මොන විදිහටද?
ඒ ගැන නම් මම කිසි දෙයක් කතා කරන්න කැමති නැහැ. අපි දැනට ක්‍රිකට් ගැන විතරක් කතා කරමු. විනය පැත්ත ගැනත් බැලිය යුතුම නිසා ඒ ගැනත් අවධානය යොමු කරලා තියෙන්නෙ
.
කණ්ඩායමේ විනය ගැන කතා කිරීමේදී විනය ඇති කළ යුතු විදිහ ගැන ඔබ හිතන්නෙ කොහොමද ?
අපි සාමාන්‍ය විදිහට ගත්තොත් විනය කියන වචනයෙන්ම කියැවෙන දේ ප්‍රායෝගික විය යුතු දෙයක්. ඕනෑම දෙයක ඕනෑම තැනක විනයක් තිබිය යුතුමයි.
ඔබ දැඩිව කටයුතු කරන දැඩි මතධාරී පුහුණුකරුවෙකු ද? නැත්නම් මානසිකව ක්‍රීඩකයින්ගෙ මනස හදන්න ඕනෑය කියලා හිතන කෙනෙක් ද?
ඔය දෙකම තියෙන්න ඕනෑ. දැඩිව සිටිය යුතු තැන්වලදී ඒ විදිහටත්. මානසිකව ධෛර්යය දිය යුතු අවස්ථාවලදී ඒ විදිහටත් කටයුතු කරන්න වෙනවා. ඔවුනට උදවු අවශ්‍ය වෙලාවට උදවු කරන්නත් ඕනෑ. හැම දෙයක්ම සමබරව හිතලා කටයුතු කළොත් වඩා සාර්ථක වේවි. මානසික සහනය කියන කාරණය ඉතා වැදගත්.
විශේෂයෙන්ම අද කණ්ඩායමේ වැඩියෙන්ම හදන්න තියෙන්නෙ පිතිකරණ අංශයද ?පන්දු යැවීමේ අංශයද ? පන්දු රැකීමේ අංශයද ?
මේ තුනම හරි හරියට තිබිය යුතුමයි. එකක්වත් නැතුව තරග දිනන්න අසීරුයි
.
මේ විදිහට ඔබ කටයුතු කරන අතරේ විදෙස් පුහුණුකරුවකු ගෙන්වුවහොත් ඔබ ඉන් පසු මොකද කරන්නෙ?
විදෙස් පුහුණුකරුවෙකු ගෙන් වීම හොඳ දෙයක්. මමත් ඒ ගැන බලමින් ඉන්නෙ. හොඳ කෙනෙක් ලැබුණොත් ඔහු සමග හොඳ විදිහට කටයුතු කිරීම ක්‍රීඩකයින්ගෙ වගකීමක්.
පුහුණුකරුවාගේ භූමිකාව සමග ඔබගේ අද දවස ගෙවෙන්නෙ කොහොමද?
බොහොම කාර්ය බහුලයි. අපේ ක්‍රිකට් ඉදිරියට ගෙනයාමට නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ක සිටින සියලුම පුහුණුකරුවන්, කැපවී කටයුතු කළ යුතුමයි. ඒ වගේම මෙතැන හිටියයි, නොහිටියයි කියන එක ගැන නොහිතා කටයුතු කිරීම හැමෝගෙම වගකීමක්. ක්‍රිකට් ඉස්සරහට ගෙනයන්න නම් හැම කෙනෙක්ම එකතු වී කටයුතු කිරීම මෙන්ම සම්බන්ධ වීම වැදගත්. අවසානයේ අපි දිනවන්නෙ රට. ඒ නිසා ඒ අරමුණ වෙනුවෙන් එකමුතු වී කටයුතු කිරීම හැමෝගෙම යහපත් අදහස විය යුතුයි. ඒ සෑම පුහුණුකරුවෙකුම මට සහයෝගය දෙනවා වගේම මම මෙතැන හිටියත් නැතත් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක සිටින මේ හැමෝම පුහුණුකරුවන් එක්ක සහයෝගයෙන් කටයුතු කිරීම ක්‍රීඩකයින්ගෙ ලොකු වගකීමක්.
ඔබ එක්ක ක්‍රීඩා කළ සංගා - මහේල වගේ අයත් නිරන්තරයෙන් මේ ලාංකීය ක්‍රිකට් එක්ක සිටිනවා නම්, ඔවුන් සේවය ලබා දෙනවා නම්? ඔබ කැමතිද?
ඕනෑම කෙනෙක් එක්ක වැඩ කිරීමට මම සූදානම්. මොකද මට වැදගත් වෙන්නෙ ලංකාවේ ක්‍රිකට්. එය දියුණු වෙනවා නම් අපි නිරන්තරයෙන් ජයග්‍රහණ ලබනවා නම්, එය මගේ ලොකුම සතුටයි. ඒ නිසා තමයි මම නිරන්තරයෙන් හැමෝගෙම දායකත්වය අපේක්ෂා කරන්නෙ. මොකද ඒ හැමෝගෙම අත්දැකීම් හරිම වැදගත්. සංගා, මහේල වගේම හිටපු සෑම ක්‍රීඩකයෙකු වගේම අත්දැකීම් මෙන්ම අලුත් අදහස් තියෙන අය. හැමදාම අපි ඉගෙනගන්නවනෙ. ඒ ඉගෙන ගත්ත අලුත් දේ ප්‍රායෝගික කරවීම තමයි හොඳම දේ. හැමෝම එක්ක හැමදාම හොඳින් සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන් කෙනෙක් මම.
සඳුන් ගමගේ