සඳුනි නිසංසලා 22 හැවිරිදි වියේ පසු වූ අහිංසක යුවතියකි.
තාත්තා මැද පෙරදිග රටක රැකියාවක නිරතව සිටින අතර ඇය මව හා නැගණියන් දෙදෙනා සමග පදිංචිව සිටියේ දුම්මලසූරිය සූරියඋයනේ පිහිටි නිවසකය.
පාසල් අධ්‍යාපනය නිමකිරීමෙන් පසු නිසංසලා මාදම්පේ පිහිටි නයිටා ආයතනයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳව වසරක පාඨමාලාවක් ද හැදැරුවාය.
පසුව නිසංසලා ඇඟලුම් කර්මාන්ත ශාලාවක සැලකිය යුතු රැකියාවකට ගියාය.
නිසංසලා 24 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇත්තේ ඇඟලුම් කම්හලේ රැකියාවට යන අතරවාරයේය.
ඒ මීට වසර 2 1/2කට පමණ කලිනි. ඇයගේ පෙම්වතාගේ පදිංචිය මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේය.
හකුරු නිෂ්පාදනය කර ඒවා විකිණීම ඔහුගේ රැකියාව විය.
නිසංසලාගේ ප්‍රේම සම්බන්ධතාවය වැඩි කාලයක් යන්නට මත්තෙන් ඇයගේ මවට ආරංචි වී ඇත.
ගෙදර අයගේ ආශිර්වාදය ලැබීමෙන් පසු නිසංසලාගේ ගෙදරට පවා පෙම්වතා ආවේය.
ඇඟලුම් කම්හල් රැකියාවට සමුදුන් නිසංසලා තල්ගහකොටුව ප්‍රදේශයේ කොහු බත් අපනයනය කරන කර්මාන්තශාලාවක රැකියාවකට ගියාය.
ඇය එම කර්මාන්තශාලාවේ ගිණුම් ලිපිකාරිනියක ලෙස සේවය කළාය.
මව ද, විදෙස්ගතව සිටින පියා ද නිසංසලාගේ මේ ප්‍රේම සම්බන්ධතාවයට පසුව විරුද්ධ වී එය නතර කරන ලෙස ඉල්ලා ඇත.
මව්පියන්ගේ බහට කීකරු වූ නිසංසලා වසර 2 1/2ක විතර කාලයක සිට පවත්වාගෙන ආ ප්‍රේම සම්බන්ධතාවයට තිත තැබුවාය.
ඉන්පසු ඇය පෙම්වතාව සිටි තරුණයාගෙන් ආ දුරකතන ඇමතුම්වලට පවා කතා කර නැත.
හමුවීම ප්‍රතික්ෂේප කර නිසංසලා ඔහු මගහැර සිටියාය.
නිසංසලා සේවය කරන කර්මාන්ත ශාලාවට ද ගොස් ඇය හමුවීමට කිහිප වරක්ම උත්සාහ කර ඇතත් එය ඉටුකර ගැනීමට ද ඔහුට හැකි වී නැත.
දියණියගේ ජීවිතයට යම් කරදරයක් වේයැයි සැකකළ මව ඇයගේ ආරක්ෂාව බාර දුන්නේ මවගේ සහෝදරයකුටය.
වැඩට එක්කරගෙන ඒම හා ආපසු කැඳවාගෙන ඒම ද නිසංසලාගේ මාමා බාර ගත්තේය.
එදින ද මවගේ දෙපා නමැද නිසංසලා නිවසින් පිටත්වූයේ වැඩට යාමටය.
ඇය මාස දෙකක විතර කාලයක සිට වැඩට යන්නේ මාමාත් සමග මෝටර් බයිසිකලයෙනි.
දිනය පසුය 23 වැනිදාය.
වේලාව උදේ 8.30ට පමණ ඇත.
ස්ථානය - මාදම්පේ පොලිස් වසමට අයත් තල්ගහකොටුව.
මාමා පදවාගෙන ගිය යතුරු පැදියේ පසුපස අසුනේ වාඩි වී ගිය නිසංසලා තමන් කාලයක් පෙම් කළ තරුණයා ත්‍රිරෝද රථයක පැමිණ පෙර මග සිටින අයුරු ඈත තියාම දුටුවාය.
‘‘මාමේ අරයා ඉන්නවා, අපි වෙන පාරකින් යමු’’ යැයි කියා මාමාට කියා ඇත්තේ බියෙන් තැත්ගත් මුවැත්තියක ලෙසය.
යතුරු පැදිය අතුරු මාර්ගයකට හරවා ගත්තේ දියණියගේ කීම අනුවය.
මේ බව දුටු ත්‍රිරෝද රථයේ සිටි තරුණයා ත්‍රිරෝද රථය වේගයෙන් ධාවනය කරගෙන ගොස් නිසංසලා සේවය කරන කර්මාන්තශාලාවට නුදුරින් සැඟව සිටියේය.
මාරයාගේ හෝරාවට අභියෝග කිරීමට සමත් කෙනෙක් නොසිටියේය.
යතුරු පැදියේ පිටුපස අසුනේ වාඩි වී ගිය නිසංසලාව එයින් බිමට ඇදගත්තේ අහිංසක මුවැත්තියක් ඩැහැගන්නා වෘක්කයෙක් විලසිනි.
යතුරු පැදියේ ගමන්ගත් නිසංසලා බිමට ඇදගත් තරුණයා ඇයගේ ගෙල වටා අත යවා තදකර ගෙන ඇත්තේ තියුණු පිහියක් ඇයගේ ගෙලට තියා ගෙනය.
‘ළඟට ආවොත් බෙල්ල කපනවා’ කියා තරුණයා තර්ජනය කර ඇත්තේ වියරුවෙන් මෙන් යැයි කියති.
‘අනේ අයියේ මාව මරන්න එපා’ යැයි කියමින් ඇය බැගෑපත් වූවාය.
නිසංසලාගේ ගෙල සිඳ දැමු ගහලයා ඇය අතහැර දමා පලා ගියේ සඟවාගෙන සිටි වස කුප්පියක් ද කටේ හලා ගන්නා අතරවාරයේය.
කිලෝ මීටරයක පමණ දුරක් දිව යද්දී ඔහු කැලෑ රොදක ඇද වැටී ඇත.
දෙදෙනාම හලාවත රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ වනවිටත් නිසංසලා සදහටම නිසල වී ගොස් තිබුණාය.
වෛද්‍යවරුන් ඇය පරීක්ෂාකර බලා මියගොස් ඇති බව පවසා තිබේ.
නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ගාමිණී හල්ලව මහතා, මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් අබේනායක මහතා සමග සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබූහ.
වස පානය කිරීම නිසා රෝගාතුරව හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර තරුණයා නිසංසලාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්විය.
සැකකාර තරුණයාගෙන් මාදම්පේ පොලිසියේ නිලධාරීන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් අතර එහිදී ඔහු මෙසේ පවසා ඇති බව පැවසේ.
‘‘අවුරුදු 2 1/2ක විතර කාලයක් ඉඳලා මම නිසංසලා එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ආවා. පස්සේ කාලයක දෙපැත්තේම මව්පියන්ගේ ආශිර්වාදය අපට ලැබුණා. ඊට පස්සේ මම නිතර එයාලාගේ ගෙදර ආවා ගියා. මම හකුරු සාදා ඒවා විකිණීම රැකියාව වශයෙන් කළා. අපි දෙන්නා බොහොම ආදරයෙන් සිටියා. මෙහෙම ආදරයෙන් ඉන්න අතරවාරයේ දැනට මාස දෙකකට විතර කලින් ඉඳලා නිසංසලා එක පාරටම මාව මග හරින්න පටන් ගත්තා. කොල් එකක් ගත්තත් ආන්සර් කළේ නැහැ. නිසංසලාගේ ගෙදර ගිහින් ඇය හමුවීමට උත්සාහ කළත් වැඩක් වුණේ නැහැ. නිසංසලාගේ ගෙදර අය මට ඇය හමුවෙන්න ඉඩ දුන්නේ නැහැ. නිසංසලා වැඩ කරන තැනට ගිහින් හම්බ වෙන්න උත්සාහ කළා. එත් බැරිව ගියා. මම තීරණයක් ගත්තා’ ඔහු කියා ඇත.
‘නිසංසලා දුවගේ ප්‍රේම සම්බන්ධයට පසු කාලයක ගෙදර අය කැමැති වුණේ නැහැ. අනේ මම නිසංසලා දුව බේරාගන්න හැදුවා. ඒත් බැරිව ගියා. ඌ මගේ දෑස් පනා පිටම දුවගේ ගෙල සිඳ මරා දැම්මා යැයි නිසංසලාගේ මාමා හඬා වැටෙමින් පොලිස් නිලධාරීන් සමග පවසා තිබේ.
හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් ශානක උදයංග මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබන තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණ නියෝගයක් අනුව රෝහලේ සිටියදීම රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුගේ රැකවරණය යටතේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.
මෙසේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි අතරවාරයේ සැකකරු ඉකුත් 24 වැනිදා උදේ 7.15ට පමණ තමාට වැසිකිළියට යාමට අවශ්‍ය බව බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දී තිබේ.
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා සැකකරුගේ ඉල්ලීම අනුව වැසිකිළිය තුළට ගොස් ආපසු එනතෙක් පිටත රැඳි සිට ඇත.
වැසිකිළිය තුළට ගිය සැකකරු එහිදී බ්ලේඩ් තලයකින් ගෙල කපාගෙන ඇති අතර ඒ සඳහා ද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සිදුකරගෙන යයි.
වස පානය කර දිවි නසා ගැනීමට තැත්කළත් එම උත්සාහය වැළකී ගිය නිසා ඔහු මෙසේ ගෙල කපා ගෙන සිය දිවිනසා ගැනීමට උත්සාහ කර ඇති බව පෙනී යන්නේ යැයි ද පොලිසිය පවසයි.
නිසංසලාගේ නිසල දේහය අවසන් කටයුතු කිරීමට ගෙදරට අරගෙන ආවේ කඳුළු ගංගා අතරිනි.
නිසංසලාගේ හා පෙම්වතාගේ ආදර වසන්තය ගිනි ගත්තේ ඇය මව්පියන්ගේ බහට අවනතවීම නිසාය.
එහෙත් පෙම්වතා ආදරය කළ සිතින්ම ඇයට වෛර කිරීමට යාම නිසා අවසානයේ ඔහු නීතියේ රැහැනට කොටුවිය.
වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ හලාවත කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.ජී. ලීලවංශ මහතාගේ උපදෙස් මත නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ගාමිණී හල්ලව මහතාගේ මෙහෙයවීම යටතේ මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් අබේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චමෝද් ධර්මප්‍රිය මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.
මාදම්පේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරුන් වන අජිත් (26277) විජේසිරි (31596), ඉඳුනිල් (65087) අජිත් (59372) ප්‍රේමදාස (50635) සහ පොලිස් කොස්තාපල් චානක (67298) යන මහත්වරුන් ද මෙම පරීක්ෂණ සඳහා හවුල් වී තිබේ.
සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය