IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සිල් රෙදි බෙදීම නරක වැඩක්ද

(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)

විමල්ලාත් තැති ගැහිලාද, චෝදනා යට ගහගත්තාද, ඥාතීන්ට කළ නිවාස සංග්‍රහ, ඒකාබද්ධය අගමැති හමුවුණේ කුමකටද? පක්ෂය දෙකට බෙදිලාද යනාදි කරුණු ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- දැන් විමල් වීරවංශලත් ඉන්නේ තැති ගෙනද?
පිළිතුර:- තැති ගැනීමට හේතුවන දේවල් යමෙක් කරල තියෙනව නම් තැති ගන්න අවශ්‍යයි. එහෙම හේතුවන දේවල් කරල නැති නිසා අපට තැති ගැන්මක් නෑ.

ප්‍රශ්නය:- එහෙම කිව්වට ඔබට එරෙහිවත් චෝදනා ගොනුවෙලා නේද?
පිළිතුර:- චෝදනා එල්ල නොවී තිබෙන්නේ කාටද? ඕන කෙනෙකුට චෝදනා එල්ල කරන්න පුළුවන්. ඒවා අධිකරණයේ විභාග වී ඒ චෝදනා සැබෑද බොරුද සහ චූදිතයන් ඒවාට වගකිව යුතුද කියන තීන්දුව එන්න ඕන. එහෙම නැතුව චෝදනා තිබූ පමණින් කෙනෙක් තැති ගැන්මට ලක්වෙන්නේ නෑ.

ප්‍රශ්නය:- එතකොට රිමාන්ඞ් වෙලා සිටියෙත් නිකම්මද?
පිළිතුර:- ඇප නොදී රිමාන්ඞ් එකේ තියාගෙන සිටියා. ඒ ‘බී’ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක්. එයින් පසුව නඩු පවරන්න ඕන. තවම නඩු පවරා නෑ.

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට කියන රාජ්‍ය නිලධාරීන් දෙදෙනා හිරේ දාන්නේ මිලියන 500 ක සිල්රෙදි බෞද්ධ පින්වතුන්ට බෙදුවා කියලයි. එහෙම නැතුව ඒ මුදලෙන් මිලියන සීය සීය හොරා කෑව කියල නෙමෙයි. රාජ්‍ය මුදල් නුසුදුසු දෙයකට යෙදෙව්වා කියා ඔවුන් හිරේ දමා තිබෙනවා. කවුරු මොනව කිව්වත් මින් එහාට නීතියට රූලට තියෙන දෙයක් හැරෙන්න වෙන දෙයක් කරන්න බැරි තත්ත්වයකුත් ඇතිවෙනවා. මේකෙන් වෙන්නේ වැඩක් කෙරෙන එක නතර වීමයි. නීති පොතට අනුව කාලය ගත කරන්න රාජ්‍ය සේවය කැමතියි. ඒකට මේක ලොකු තල්ලුවක්.

ප්‍රශ්නය:- ඒ කියන්නේ නීතියට අනුව වැඩ කෙරෙනවට ඔබලා කැමැති නෑ.
පිළිතුර:- එහෙම නෙමෙයි. නීතිය ප්‍රායෝගිකත්වයට නගද්දී තේරුම් ගන්න ඕන. හදිසියෙ සුනාමියක් ආවා. එවැනි අවස්ථාවක නීතියටම අනුව කටයුතු කරන්න බෑ. හදිසි ආපදාවකදී අවදානමක් අරගෙන රාජ්‍ය නිලධාරීන්ට කටයුතු කරන්න වෙනවා. එවැනි තත්ත්වයකදී පවා නීති පොතට අනුව වැඩ කරන රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක් බිහිවේවි. කවුරුත් නීතිය රකින එක හොඳයි. හැබැයි නීතිය පමණක් රකින්න ගියාම වෙන්නේ වෙන කිසිවක් රැකෙන්නේ නැති එකයි.

ප්‍රශ්නය:- එතකොට යහපාලනය වැරුදිද?
පිළිතුර:- මහ බැංකුව මහ දවල් හොරා කෑවා. මේකෙ පාඩුව රුපියල් ටි්‍රලියනයකට වැඩියි කියා හිටපු මුදල් රාජ්‍ය ඇමැති කියා තිබුණා. මේක ලංකා ඉතිහාසයේ අපි අසා තිබෙන සුවිශාලම හොරකමයි. ඒ හොරකම කරපු මේ නඬේට පුළුවන්ද මේ රටට යහපාලනයක් දෙන්න. සැමට නීතිය සමානව ක්‍රියාත්මක කරන ආදර්ශයක් දී නෑ. රවි කරුණානායක ගෙයක් ගන්න සූට් කේස් දෙකක සල්ලි ගෙනල්ලා. කෝ නඩු පවරලාද? ඒවා ගැන විමර්ශනයක් කළාද? මහ බැංකු හොරකමේ මහ මොළකරු තවම නිදැල්ලේ. දෙවැනියත් නිදැල්ලේ. මේකද යහපාලනය.

ප්‍රශ්නය:- අධිකරණ ඇමැතිටත් ගෙදර යන්න වුණේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකිරීම නිසා නේද?
පිළිතුර:- ඔහු ඉවත් කළේ නීතිපති දෙපාර්තමේන්තුව නඩුකාරයන්ව ආණ්ඩුවට ඕන හැටියට නැටෙව්වේ නැති නිසයි. විජයදාසට බැරිවූ දේ දැන් පටන් අරන්. ලලිත් සහ පැල්පිට තීන්දුවෙන් පේන්නේ එයයි.

ප්‍රශ්නය:- දැන් ඔබලා හිටපු අධිකරණ ඇමැතිට සුදුහුණු ගාන්න පටන් අරන් නේද?
පිළිතුර:- නෑනේ. විජයදාසත් නීතිපති දෙපාර්තමේන්තුවත් උසාවියත් ආණ්ඩුවට ඕන විදියට නැටෙව්වේ නම් ඔහුට සුදුහුණු ගාන්න අපට අවශ්‍ය වෙන්නේ නෑ. මේක සුදුහුණු ගෑමක් නෙමෙයි. සත්‍ය තත්ත්වය පෙන්නා දීමක්. සුදුහුණු ගානවා කියන්නේ සත්‍ය තත්ත්වයටත් එහා ගොස් ප්‍රතිරූපය පුම්බන්න කටයුතු කිරීමක්. එහෙම එකක් මෙතන නෑ.

ප්‍රශ්නය:- නිවාස ඇමැති හැටියට නිවාසවලින් ඥාති සංග්‍රහ කරපු ඔබ රවි කරුණානායක ගෙවල් ගැනීම ගැන කතා කිරීම සදාචාරාත්මකද?
පිළිතුර:- කොයිතරම් අසරණ, නිවාස අවශ්‍යතා තිබූ අයට මෙම නිවාස දුන්නද කියා ඔබලාට සොයා බලන්න පුළුවන්. විමල් කුමාර ද කොස්තාට ඉන්න තැනත් තිබුණේ නෑ. ඔහුට ගේ දුන්නේ මම. ජගත් චමිලට ගේ දුන්නේ මම. ශිෂ්‍යත්වයෙන් පළමුවැනි පස්දෙනා අතර නිවාස නැති දරුවන් හිටිය නම් ඔවුන්ට ගෙවල් දුන්නේ මම. උසස් පෙළ හොඳටම සමත් දියණියක් කැලණි පාලම යට පැල්පතක සිටියා. ඒ දරුවට ඉන්න නිවාසය දුන්නේ අපි. වාණිජ වශයෙන් අලෙවි කරන නිවාස හතර පහකට අපේ ඥාතීන් ඉල්ලා තිබුණා. අනෙක් අයට දෙන පදනමෙන්ම ඔවුන්ටත් නිවාස දී තිබුණා. මේ ආණ්ඩුව ඇවිත් ගණන් වැඩි කළ නිසා ඒවා ගෙවා ගන්න බැරුව යතුරු බාරදී අත්තිකාරම් මුදලේ ඉතිරිය අරගෙන ගියා. ඒවා නීතියට පටහැනි නම් නඩු පවරන්න ඕන. විරුද්ධවාදීන් කතා කරන්නේ මේ ගෙවල් දෙක තුන ගැන විතරයි.

ප්‍රශ්නය:- වැරදිකරුවන්ට දඬුවම්දීම වැරදි දැයි කෙළින්ම කියන්න?
පිළිතුර:- වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න ඕන වැරැදි නොකරන ආණ්ඩුවක්. මහ බැංකු හොරකම සුළුපටු හොරකමක් නෙමෙයි. මේකෙන් ගහපු මුදලෙන් මහවැලියයි අධිවේගී මාර්ග හතරකුයි වරායකුයි ගුවන්තොටුපොළකුයි හදන්න පුළුවන්. එහෙම මහා පරිමාණයෙන් හොරකම් කරන අයියලා ටික හොරු අල්ලනවා කීම විහිළුවක්. ඒ අයව අල්ලන්න වෙන්නේ ඒ අයවමයි. පරම, පවිත්‍ර, නිර්මල, පිරිසිදු අය මේ ආණ්ඩුවේ ඉන්නවාද? හොරු ආණ්ඩුව ඇල්ලූ බව ආණ්ඩුව ගේන්න කඬේ ගිය රතු අලි පැටවු පවා කියනවා.

ප්‍රශ්නය:- ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරන්නේ ඔබලාගෙ වැරදි වහගන්න නේද?
පිළිතුර:- හොරු අල්ලනවා කියන සටන් පාඨයට මුවාවී විරුද්ධවාදීන් මර්දනය කිරීමක් මේ කරන්නේ. මොන තරම් හොරාකාල තිබුණත් ආණ්ඩුවට හීලෑවෙලා ඉන්නව නම් ප්‍රශ්නයක් නෑ.

ප්‍රශ්නය:- ආණ්ඩුවට හීලෑවූ අය ඒකාබද්දෙත් ඉන්නවාද?
පිළිතුර:- එහෙම අය ආණ්ඩු ඇතුළට ගිහින් ඉන්නේ. ඒ අයට ප්‍රශ්නයක් නැ. ලසන්ත අලගියවන්න වාහන ගෙන ඇති බව ‘බී’ වාර්තාවේ තිබුණා. කෝ නඩු පැවරුවද? රිමාන්ඞ් කළාද? මාව විතරක් රිමාන්ඞ් කළේ ඇයි?. මේක දඩයමක් බව ජනතාව දන්නවා. රණවිරුවන් විරුද්ධවාදීන් හිරේ දැමීම මිස වෙන වැඩක් මේ රටේ වෙන්නේ නෑ.

ප්‍රශ්නය:- තැති ගැන්මක් නැති නම් හදිසියේ ඒකාබද්ධ අය අගමැති හමුවුණේ ඇයි?
පිළිතුර:- මම නම් ගියේ නෑ. අගමැති හමුවුණේ ලලිත් වීරතුංග තීන්දුවට පෙරයි. ක්ෂේත්‍ර නිලධාරීන්ට පළාත් පාලන ඡන්දයට තරග කරන්න බැරි තත්ත්වයක් ඇති කරලා. ඒක ගැන කතා කරන්නයි ඒ හමුව සිදුවුණේ.

ප්‍රශ්නය:- හැබැයි කොහොම හරි ඔබේ ප්‍රශ්න නම් යට ගහ ගත්තා නේද?
පිළිතුර:- මොකක්වත් යට ගහලා නෑ. රිමාන්ඞ් බන්ධනාගාරයේ මාස තුනක් මම තියා ගත්තා. මහාධිකරණයෙන් ඇප ඉල්ලුවාම ඕන කෙනෙකුට ලැබී තිබුණා. හැබැයි මගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. මගේ නඩුව විනිසුරුවන් කීපදෙනෙකු ළඟට දැම්මා. කිසියම් ආකාරයකට දේශපාලනිකව දඩයම් කිරීමේ ක්‍රියාවලියක් මේ වෙන්නේ. ආණ්ඩුවේ නායකයන් අධිකරණයට ඇඟිලි ගහනවා.

ප්‍රශ්නය:- ඔබේ කිල්ලෝටයේ හුණු ඇත්තෙම නෑ කියලාද කියන්නේ?
පිළිතුර:- ගුවන් තොටුපොළේදී මාව අත්අඩංගුවට ගත්තේ පාස්පෝර්ට් දෙකක් තිබෙනවා කියලයි. අවිධිමත් ලෙස රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් ළඟ තබා ගැනීම තමයි චෝදනාව. හැබැයි රටට කිව්වේ හොර පාස් පෝර්ට් දෙකක් ළඟ තියා ගත්තා කියලයි. ආණ්ඩුව බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගේන්න යනවා. යුද අපරාධවලට සාක්කි ඇති බව සරත් ෆොන්සේකා කියන්න පටන් අරන්. දැන් බටහිර න්‍යාය පත්‍රයට අනුව ඔපරේෂන් එක පටන් අරන්. මුලින්ම එන්නේ බටහිරටත් බෙදුම්වාදීන්ටත් ඕන කරන ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණයයි. මේකට කලින් තෝරාගත් පිරිසක් හිරේ දාන්නයි හදන්නේ. එතකොට විරුද්ධ මතවාදයක් ගොඩනගන්න කවුරුත් නැති වෙනවා. ඒකට මෙහෙයුමක් යනවා. ඒක විචිත්‍රවත් කරන්න හොරු හොරු කියන නාමකරණයක් වෙනවා. හොරු හොරු කියා අනුන්ට කියන්නේ කම්බ හොරු නම් ඒ ගැන කතා කරල වැඩක් නෑ.

ප්‍රශ්නය:- ඔය කියන පාස්පෝර්ට් සිද්ධියේදී අගමැතිට කතා කර ප්‍රශ්නය බේරගත්තා නේද?
පිළිතුර:- සම්පූර්ණ අවලාදයක්. ඒ දවසේ මගේ දුරකථන ඇමතුම්වල විස්තර වාර්තාවකුත් ඕනනම් දෙන්න පුළුවන්. එතකොට ඔය අගමැතිට කතා කළාද කියලා බලාගන්න පුළුවන්. ගමන යන්න නොදී අත්අඩංගුවට ගැනීම උදව්වක්ද? ඒ නඩුව තාම යනවා.

ප්‍රශ්නය:- ඔබේ නිවසේදී තරුණයකු මියගිය සිද්ධිය යටගියේ කොහොමද?
පිළිතුර:- ඒක අහපු එක හොඳයි. ඔය ගැන විවිධ අය කියූ කතා මාධ්‍යයේ ගියා. කඩුවෙල උසාවියේ ඔය ගැන විභාගය කළා. දැන් ඉවරයි. මරණ පරීක්ෂණ වාර්තා ලැබිලා. ඒක ස්වභාවික මරණයක්. කිසිම ආකාරයක ඇල්කොහොල් හෝ වෙන ද්‍රව්‍යයක් ඇඟ ඇතුළේ නැති බව ඒ වාර්තා කියනවා. ඒ නිසා උසාවිය මේ විභාගය අවසන් කරලා. දැන් නඩු වාර්තාව කඩුවෙල උසාවියේ තිබෙනවා. මේක ස්වභාවික මරණයක් බව එහි පැහැදිලිව කියනවා. හැබැයි ඒ ප්‍රවෘත්තිය මාධ්‍යයේ යන්නේ නෑ. මේ සිද්ධිය අලලා අවලාද පැතිරූ අයට එරෙහිව නඩු පවරන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:- සැප්තැම්බරයේ ආණ්ඩුවෙන් එනව කියපු අය කෝ?
පිළිතුර:- එනව කියන්නේ ඒ අයම නේ. දහයක් එකොළහක් එන බව කියනවා. දිනය දන්නේ එන අයම තමයි.

ප්‍රශ්නය:- ඒ වෙනුවට ඒකාබද්ධයෙන් නම් යනවා නේද?
පිළිතුර:- ඒක සම්පූර්ණ අසත්‍යයක්.

ප්‍රශ්නය:- එතකොට කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා යන්නෙ නැද්ද?
පිළිතුර:- එතුමා එහෙම අදහසක ඉන්නවා කියා මම සිතන්නේ නෑ. එතුමා විපක්ෂයේ කාර්යභාරයට සක්‍රියව දායක වෙනවා.

ප්‍රශ්නය:- ඔබට ආරාධනාවක් ආවොත්?
පිළිතුර:- මම කිසිසේත් යන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ අගමැති හැටියට ඉන්න එජාපයයි ශ්‍රීලනිපයයි එකට ගමනක් යන ආණ්ඩුවකට මොන තත්ත්වයක් යටතෙ වත් අපි සම්බන්ධ වෙන්නේ නෑ.

ප්‍රශ්නය:- ලබන මැතිවරණවලට එන්නේ පොහොට්ටුවෙන්ද?
පිළිතුර:- ඒකාබද්ධය හැටියට නව පෙරමුණකින් එනවා.

ප්‍රශ්නය:- එතකොට පොදුජන පෙරමුණට වෙන්නේ මොකක්ද?
පිළිතුර:- ඒ පක්ෂයත් අනෙක් පක්ෂත් එකතුවී තමයි මේ පෙරමුණ හැදෙන්නේ. ඒ පෙරමුණේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි.

ප්‍රශ්නය:- පොදු ජන පෙරමුණේ ප්‍රමුඛයකු වන බැසිල් රාජපක්ෂව ඔබලා පිළිගන්නවාද?
පිළිතුර:- අද ඔහු ඉටුකරන්නේ සංවිධානමය පැත්තේ භූමිකාවක්. ඔහුගේ ඒ හැකියාව ප්‍රයෝජනයට ගැනීම ගැන අපේ විරුද්ධත්වයක් නෑ.

ප්‍රශ්නය:- ගෝඨාභය නව ‘එළිය’ක් පත්තු කරන්නේ මොකටද?
පිළිතුර:- ව්‍යවස්ථාමය සංශෝධනයක් හරහා රටේ ඒකීයභාවය අහිමි කරමින් රට ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයට එරෙහිවයි ඒක කෙරෙන්නේ. විශාල බලපෑමක් කළ හැකි සමාජ කොටස් එකතු වී මේ සංවිධානය සෑදී තිබෙනවා. රටේ ඒකීයභාවය රකින්න ප්‍රමුඛ කටයුත්තක් කළ කෙනෙකුට කීප දෙනෙක් මේ රට බෙදන්න යන විට නිකම් බලා ඉන්න බෑ.

ප්‍රශ්නය:- ඔබලත් ඒ පානෙන් එළිය බලන්නද හදන්නේ?
පිළිතුර:- නෑ. අපි මොන පානකින්වත් එළිය බලන්නේ නෑ. අපට මේ රට එළිය කරන්න පුළුවන් නම් ඒ ඇති. මේ ආණ්ඩුව ආපු දා පටන් රට අඳුරු කළා. ඒ අඳුර පලවා හැර රට එළිය කිරීමේ අරමුණ විතරයි අපට තිබෙන්නේ.

ප්‍රශ්නය:- යුද්ධය දිනූ සෙන්පතියා උල තියන්න ඕන කියන්නේ දේශප්‍රේමිත්වය නිසාද?
පිළිතුර:- මම නෙමෙයි මුළු රටම කියනවා. ඒක නොකිව්ව නම් මිනිස්සු අපිව උල තියනවා. හාමුදුරුවරුන්ට චීවරධාරියා කියනවා. අපට හිඟන්නො කියනවා. ඡන්ද පන්දාහක් අරන් හිඟා කාලා පිනට ගත්ත ඇමැති කමක් ගැනීම තමයි ලොකුම හිඟනකම. ෆොන්සේකාගේ ප්‍රකාශය අගය කරන බවත් ඒ ප්‍රකාශය මත පදනම්ම යුද අපරාධ සොයන්න පටන් ගන්න කියා සංක්‍රාන්ති දෙමළ ඊළම නිවේදනයකුත් නිකුත් කළා. මේ ආයුධ දෙන්නේ කාටද? යුද හමුදාපති සරත් ෆොන්සේකා මරා දාන්නේ ෆීල්ඞ් මාෂල් ඇමැති සරත් ෆොන්සේකා. මෙයා කරන දේශද්‍රෝහී ප්‍රකාශයක් රජ කාලේ කළා නම් උල තියනවා.



අදහස් (37)

සිල් රෙදි බෙදීම නරක වැඩක්ද

rohana Monday, 11 September 2017 07:15 AM

තම පව්ලේ හිතවතුන්ට ගෙවල් වාහන බෙදීම තරම් නරක නැහැ .

:       51       612

shan saudi Monday, 11 September 2017 07:55 AM

අනේ නෑ.. කවුරු හරි තමන්ගේ සාධාරණව හරි හම්බ කරගත් හෝ නැත්නම්, මහඋදවියගේ බූදලෙන් ලංකාවේ ඉන්න සියලු සංඝයා වහන්සේලාටත් අටපිරිකර සමඟ සියලුම උපාසක, උපාසිකාවන්ට සිල්රෙදි කට්ටලය බැගින් බෙදා දෙනවා නම් වසරක් පාසා ඉතාමත් යහපත් හා හොඳ ක්‍රියාවක්.. නමුත් වරද තියෙන්නේ තමන්ට ඡන්ද වාසි ගන්න තමන්ගේ ගොඩ වැඩි කරගන්න මහජනතාව ගොනාට අන්දවන්න රටේ ජනතාව දහදුක් විදලා හම්බ කරන මුදලෙන් රටේ සංවර්ධනයට හා අනෙකුත් අතවශ්‍ය සේවා පවත්වාගන යාම සඳහා ගෙවන බදු මුදල් වලින් කොහෙවත් ඉන්න දේශපාලකයෙක් මේ බදු මුදල් යොදවලා සිල්රෙදි කට්ටලය බැගින් බෙදා දෙනවා නම් අන්න එතනයි තියෙන්නේ වරද.... ජනතාව කිසිම දවසක අවසර දීල නෑ මහජන බදු මුදල් වලින් දේශපාලකයන්ට ඡන්දයට වියදම් කරන්න කියලා කොහෙන් හරි අටවා ගත්තා.. කඩේ යන හෙන්චයියන් විසින් පවත්වාගෙන යන රාජ්‍ය කමිටුවක් යයි කියාගන්න අයවලුන් හට මහජන මුදල් අවභාවිත කර සිල් රෙද්දක් නෙවේ මොනම දෙයක්වත් කරන්න නීතියෙන් අවසර නෑ.

:       495       1560

pradeep Monday, 11 September 2017 08:57 AM

ඕවා බෙදන එක තමන්ගේ පෞද්ගලික මුදල් වලින් කරන්නනේ ඕනේ... රටේ සල්ලි වලින් තමන්ගේ ඡන්ද වැඩ කළාම හරියනවද? පහුගිය කාලේ අරලිය ගහ මන්දිරේ දන්සල් තිබ්බ මතකනේ... කොහොමත් බැඳුම්කර හොරුන්වත් අල්ලන්න ඕනේ... දඬුවම් දෙන්න ඕනේ... එතකොට මේ වගේ කෑගහන්නේ නැති වෙයි. වැරදි කරන්නත් බයවෙයි.

:       378       861

kumar (galf) Monday, 11 September 2017 09:08 AM

ඔයාගේ ආච්චිගේ සල්ලිවලින් අරන් බෙදුවානම් අපිට මොකද?

:       242       658

Aravinda Monday, 11 September 2017 10:13 AM

වැරදියි තමයි. මහජන මුදල් ඡන්ද ගුණ්ඩු කරගන්න බෑ. හදිසි ආපදාවක් වෙලා රටේම සිල්සමාදන් වෙන්න හිටපු බෞද්ධයන්ගේ සිල්රෙදී විනාශ වුණා නම් හදිසි තත්වයක් යටතේ සිල් රෙදි බෙදුවට කවුරුත් මුකුත් කියන්නේ නෑ. මේක තනිකරම මහජන මුදල් අවභාවිත කිරීමක්. මෙයාගේ වැඩත් දැන් එලියට එනවා ටික ටික. බරපතල වැඩ ඇතුව අවුරුදු 20ක් වත් අනිත් දේශපාලකයන්ටත් බය හිතෙන්න.

:       120       612

Sumana Monday, 11 September 2017 10:47 AM

අපොයි නැහැ. නෑදෑයින්ට ගෙවල් බෙදනවා වගේ හොඳම වැඩක්....

:       236       577

Devin Perera Monday, 11 September 2017 11:23 AM

බළලා මල්ලෙන් එළියට. ජගත් චමිල ඒක තමා වෙළද දැන්වීම් වල ඡන්දෙදි කඩේ ගියේ? තනිකර පගාව... අලුතෙන් හොයන්න මේ ගැනත්.

:       233       464

rocky Monday, 11 September 2017 01:49 PM

පොදු ජනයාගේ මුදල්වලින් ජනාධිපතිවරණ චන්ද පගාවක් හැටියට සිල් රෙදි බෙදන එක වරදක් බව තේරුම් ගන්න තරම් මොලයක් මුන්නහෙට නැහැ වගෙයි! එහෙම නම් ඉතින් හොර පාස්පෝට් කෙලිය, හොර උප්පැන්න ගැහිල්ල එහෙමත් පින් අතේ වැඩ වෙන්නැති!අනේ මෙහෙමත් හුඹස් කටක්!

:       116       428

Saman Monday, 11 September 2017 02:01 PM

කොහෙත්ම නැහැ.. හැබැයි පහත සඳහන් වැරදිවලට වඩානම් හොඳයි, එකකට වඩා ගමන් බලපත් තබා ගැනීම, නෑදෑ සනුහරයටම වාහන බෙදීම, කාවදෝ උල තියන්න ගිහින් තරුණ කොල්ලෙක් ගෙදර මැරුන එක යට ගැහීම...

:       179       568

ranavi Monday, 11 September 2017 02:09 PM

සිල් රෙදි බෙදන එක... නම් කීපයකින් පාස්පෝර්ට් හදනව තරම්ම නීති විරෝධී නෑ.මේ මනුස්සයට තේරෙන්නේ නැද්ද හෙට මැතිවරණයක් තියෙද්දී අද ජනපති තරඟයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂයෙක්ගේ නම් ගහල සිල් රෙදි බෙදන එකේ යටි අරමුණ මොකක්ද කියල.උගත්කමක් නැති මෝඩයෝ ඕනෙම දෙයක් සාධාරණිය කරන්න දඟලනවා හැබැයි එයාල දන්නේ නෑ සමාජයට නොපෙන්වන ඒවා එළියේ කියල

:       43       448

Upul Monday, 11 September 2017 02:50 PM

ගෙදරත් අර කාවද උලේ තියන්න ගිහින් කාට හරි මොකක් හරි වුණා නේද ?

:       57       463

chathuri Monday, 11 September 2017 03:21 PM

අද මේ ප්‍රශ්න කිසිම දෙයක් නැහැ උගතුන්. මේ රට කරනවා නම් පවුලක්.... වගේ නෙමේනේ මේක. රටක් රටේ නීති ටික දන්නේ නැහැ බලය ලැබුණු ගමන්... මමයි රජා කියලයි හිතන්නේ.... සිල්රෙදි වගේද? රටේ දේපල ඒවත් අඩු මුදලට විකුණුවා. දෙමව්පියනි දරුවන්ට හරි උගන්වන්න මනාප බලය තියෙනකම් හොඳයි...

:       56       197

Chanak Los angelesMonday, 11 September 2017 06:37 PM

චතුරි.. ඔබ හරි අපි ඉදිරියේදීවත් බලමු මෙවැනි වෙනස්වීමක්. එහෙම වුනොත් අනාගත පරපුර ගොඩ.

:       0       10

parkkrama Monday, 11 September 2017 04:07 PM

එයත් එකයි, මෙයත් එකයි. අර අතවැසියෝ දෙන්නා කුම්බලා මාළු කාපු බළල්ලු වගේ විඳවන්න තීන්දු වුණත් තවමත් මහජන මුදලින් තරු පහේ හෝටල් සැප විඳින්නයි සැලැස්ම. මහජනතාව තණකොළ කන හරක් කියලා හිතාගෙන වෙන්න ඇති දෙන්නට දෙන්නා පිටවල් කහගන්නේ....

:       0       1

Chanak Los angeles Monday, 11 September 2017 06:43 PM

සිල්රෙදි බෙදීම නරක වැඩක්ද ? නැහැනේ..

:       223       2

Vichi Monday, 11 September 2017 07:59 PM

කුණු කදු කඩා වැටෙනවා. මෙතන සිල් රෙද්දක් ගැන හොයනවා.

:       123       2

lalith Monday, 11 September 2017 08:15 PM

අනේ නැහැ කිසි වරදක් නැහැ. මහත් ඵල මහානිසංස ලැබෙන වැඩක්. නමුත් අනුන්ගේ සල්ලි වලින් අරන් බෙදපු එකනේ වරද. ඒ කියන්නේ ජනතාවගේ බදු මුදල් වලින්.

:       0       108

chandana Monday, 11 September 2017 10:01 PM

මෙයා රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ. මේක වරදක් කියල නොකියන්නේ වරද කරපු අයගේ නඩේම තමයි

:       0       59

anton Monday, 11 September 2017 11:24 PM

බලන් ගියාම දෙන්නම වියදම් කරල අපේම සල්ලි නොවැ. තව කතා කරන උජාරුව හරියට පොකට් එකෙන් අරන් වියදම් කළා වගේ. අපේ සල්ලි හන්ද අපට තමයි පින්.

:       0       9

Chanak Los Angeles Tuesday, 12 September 2017 01:34 AM

නවය පමණක් යන්තමින් සමත් වුනු හොරුන් දැනගත යුතුයි සිල් රෙදි අල්ලස් පමණක් නොවෙයි තව තව කේස් පෝලිමේ එන්න තිබෙනවා කියා ..

:       54       134

palitha Tuesday, 12 September 2017 05:30 AM

මේ සියලු දෙනා ජනවාරි අට වෙනිදාට පහුව ඉපදුන අය. කලින් සිදු වූ කිසි දෙයක් දන්නේ නැහැ.

:       271       467

ravin Tuesday, 12 September 2017 06:39 AM

මේ ගොල්ලෝ හිතන්නේ හැම දේම ආච්චි හා නැබිලිය සම්බන්දයි කියල. ඔයවිදියට අර කොම්යුනිකෙශ්න් එකෙන් හම්බ කරපු සල්ලිවලින් බෙදන්නකෝ.

:       0       54

dhamneth Tuesday, 12 September 2017 07:51 AM

ජේ. ආර් ජයවර්ධන මහතා නව ව්‍යවස්ථාව සෑදීමේදී ජාතික ලයිස්තුවෙන් මන්තිවරු පත්කිරීමට ඉඩ සලසා ඇත්තේ මැතිවරණයකදී ඡන්ද ගන්න බැරි නමුත් මන්ත්‍රී හෝ ඇමති තනතුරක් දුන්නොත් රටට සේවය කල හැකි දක්ෂ බුද්ධිමත් පුද්ගලයින් පාර්ලිමේන්තුවට ගැනීමටයි.එවැනි පුද්ගලයින් පත්කර ගැනීම පක්ෂ නායකයින්ගේ වගකීම.

:       0       68

raawanaa Tuesday, 12 September 2017 08:05 AM

ජෝ අබේ වික්‍රම මහත්තයත් ළඟටම ඇවිල්ල ගෙයක් ඉල්ලුව නේද? ඔහුට තිබුන ප්‍රශ්න නිසා? කෝ දුන්නද? වැඩි දවසක් ගියේ නැතුව අනතුරකින් මැරුණා නේද? තමුන්ගේ නෑදෑයෝ ටික නම් සැපෙන් ඉන්නවා නේද? සිල් රෙද්ද ඉදිරියට දාල කතා කළාම මිනිසුන්ගේ පපුවට කතා කරන්න පුලුවන්නේ. සිල් රෙදි බෙදුවට නොවෙයි දඬුවම් දුන්නේ. මිලියන 600 වැරදි ලෙස ගත්තු නිසා. පාර්ලිමේන්තු ගියාට ඡන්ද නීති රීති දන්නවද?

:       0       86

raawanaa Tuesday, 12 September 2017 08:05 AM

ජොඅබෙවික්‍රම මහත්තයත් ළඟටම ඇවිල්ල ගෙයක් ඉල්ලුව නේද ඔහුට තිබුන ප්‍රශ්න නිසා? කෝ දුන්නද? වැඩි දවසක් ගියේ නැතුව අනතුරකින් මලා නේද? තමුන්ගේ නෑදෑයෝ ටික නම් සැපෙන් ඉන්නවා නේද? සිල් රෙද්ද ඉදිරියට දාල කතා කලාම මිනිසුන්ගේ පපුවට කතා කරන්න පුඋවන්නේ.සිල් රෙදි බෙදුවට නොවෙයි දඬුවම් දුන්නේ.මිලියන 600 වැරදි ලෙස ගත්තු නිසා.පාර්ලිමේන්තු ගියාට චන්ද නීති දන්නවද?

:       0       102

Chanak Los angrlesWednesday, 13 September 2017 01:16 AM

9 ය පමණක් යන්තමින් සමත් කරපු එවුන් නීති රෙගුලාසි දන්නේ කොහොමද ?එවුන් දන්නේ හොරකමම පමණයි..

:       48       14

Umaya Tuesday, 12 September 2017 11:02 AM

සිල් රෙදි බෙදුවේ ජනතාවට තියෙන ආදරේකට වත්, සාසනේ ගැන තියෙන ආදරේටවත් නෙවෙයි. ජනතාව මුලාකරලා ඡන්දේ ලබාගන්න. වෙසක් පෝයවල් කීයක් නම් පහුකරා ද? පොසොන් පෝයවල් කීයක් නම් පහුකරා ද? සිල්රෙදි බෙදුවාද? නෑනේ.. ඡන්දේ අස්සේ දෙසැම්බර්වල සිල්මො රෙදි බෙදන්නේ ඇයි? සිල් රෙදි බෙදලා සිංහල බෞද්ධ ඡන්ද ගොඩක් ලබාගන්න පුලුවන් වෙයි කියල.

:       0       28

bandula Tuesday, 12 September 2017 01:07 PM

නත්තලට සිල් ගන්න වෙන්න ඇති.

:       1       3

Sarath Tuesday, 12 September 2017 06:20 PM

පාස්පෝර්ට් දෙකක් හැදීමත් නරක වැඩක්ද...?

:       0       2

rohana kumar Tuesday, 12 September 2017 08:23 PM

තැති ගැහෙන්නේ මොකටද මෙයා උපාසකයානේ අනේ.හොර පාස් පොර්ට් හදලා නැ.මුදල් වංචා කරලා නැ.රට වෙනුවෙන් පන දෙන්න උනත් (මරණීය උපවාස කරන්න උනත්)හොරෙන් ලෙමන් පෆ්ෆ් කැවා තමයි).අති පාරි සුද්ධ චරිතයක් මෙයා

:       0       4

Chanak Los angeles Wednesday, 13 September 2017 01:11 AM

හොරුන් ගෙදර යවන්න ඕන දෙය අපි උපරිමයට කළා .. අායිමත් මේ හොරුන් වෙස් බැඳගෙන ජනතා චන්දෙ කොල්ලකන්න එනවනම් අපි දන්නවා කොහොමද ඒවෙස් ගලවන්නෙත් කියා ..අයිමත් ඉර හඳ පවතින තුරු හොර සමාගමට හා ඔවුන්ගේ සහචරයන්ට බලයක් හිමි වන්නේ නෑ. හිමි වෙන්න දෙන්නෙත් නෑ ...

:       0       12

chaaminda Wednesday, 13 September 2017 01:54 AM

2013/2014 කාලයේදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අයථා ගනුදෙනු,මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුව ඇති අතර රුපියල් කෝටි 24 ක මූල්‍ය අක්‍රමිකතා පසුගිය කා‍ලය තුළ සිදුව ඇතැයි පත්තරවල පලවුනා. හොරු ඇල්ලුවද?

:       1       38

kumara Wednesday, 13 September 2017 05:49 AM

වරදක් නැතිබව පෙන්නනවා. ඒක අරුමයක් නොවෙයි. මොකද? රටේ අවාසනාවට තමයි මෙහෙම දේවල් වෙන්නේ ...

:       4       0

ROHAN Wednesday, 13 September 2017 07:01 AM

පටලව ගන්න එපා .... ඩබල් පාස්පෝට් මන්ත්‍රී තුමා සිල්රෙදි වලට මුවාවී දේශපාලනය කිරීම හා ප්‍රචාරක කටයුතු තහනම් වකවානුවේ සිල්රෙදි පමණක් නොව ලේ දන්දිමකට හෝ මුවාවී දේශපාලනය මැතිවරණ සමයේ කටයුතු කිරීම සියලු ලාංකීය පුරවැසියන්ට නීතියෙන් නීතියක් පනවා ඇත .

:       0       1

Seelawathie Wednesday, 13 September 2017 10:53 AM

මෙයා හිතාගෙන ඉන්නේ අපේ සිල් මාතාවෝ ඉස්සර මේවා නැතිව සිල් ගන්න ගියා කියලද?

:       0       0

s hakwatunawa Wednesday, 13 September 2017 12:17 PM

ජනතාව දැනගන්න ඕනේ මේ වගේ අය ඉවත්කර දාන්න. ජනතාව තමයි හැමදම මෝඩ වෙන්නේ. මේ ඔක්කොම අපේ සල්ලි වලින් ගොඩ ගිහින් ඉන්නේ. කවුරුවත් රටට ආදරේ නෑ.

:       0       0

CHTHURANGA Wednesday, 13 September 2017 12:22 PM

ඩබල් පාස්පෝට්ගෙන් මොන කතාද ..? හොරුන්ගෙත් හොරු කම්බ හොරුයි කියනවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 141 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site