ලෝක බැංකු නියෝජිතයන් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අවස්ථාව
- මැද පෙරදිග අර්බුදය ශ්‍රී ලංකා රුපියලටද පීඩනයක් එල්ල කරලා
- එල් නිනෝ තත්වයෙන් මෙරට ආර්ථිකයට එල්ල වන බලපෑම පිළිබඳව තවමත් පරිපූර්ණ ඇස්තමේන්තුවක් සකස් කර නෑ
- අවශ්‍ය පහසුකම් ලබාදුනහොත් මෙරට කෘෂි ව්‍යාපාරවලට ගෝලීය වෙළෙඳපොළේ හොඳ තරගකාරීත්වයක්
- කෘෂි ව්‍යාපාර වැනි ප්‍රමුඛතා ක්ෂේත්‍රවල පෞද්ගලික ආයෝජන, අපනයන සහ ඵලදායිතා වර්ධනය අත්‍යවශ්‍යයි
- දරිද්‍රතාව අඩු කිරීම සඳහාද මෙම ක්ෂේත්‍රය වැදගත්
- දුප්පත්කමින් පෙළෙන වැඩිම ජනතාවක් ජීවත් වන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල
විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාව විශේෂයෙන් මැද පෙරදිග අර්බුදයෙන් අවදානමට ලක්ව සිටින බවත් ඒ හේතුවෙන් ජංගම ගිණුම හිඟයකට හැරී, උද්ධමනය නැවතත් ඉලක්කගත මට්ටමට වඩා ඉහළ ගොස් ඇති බවත් ලෝක බැංකුව ඊයේ (06) ප්‍රකාශ කළේය.
එසේම මැද පෙරදිග අර්බුදය ශ්‍රී ලංකා රුපියලටද පීඩනයක් එල්ල කර ඇතැයි ලෝක බැංකුව පැවැසුවේය. මැද පෙරදිග ගැටුම ලෝක ආර්ථිකය අඩාළ කර ඇති බවත්, එමගින් ගෝලීය ආර්ථික වර්ධන වේගය වසංගත සමයෙන් පසු පහළම මට්ටමට ඇද දමා තිබෙන බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් ගෑස්, තෙල් සහ පොහොර මිල ලෝකය පුරා ඉහළ දමා තිබෙන බවද එම බැංකුව සඳහන් කළේය.
කෙසේ නමුත් එල් නිනෝ තත්වයෙන් මෙරට ආර්ථිකයට එල්ල වන බලපෑම පිළිබඳව තවමත් පරිපූර්ණ ඇස්තමේන්තුවක් සකස් කර නොමැති බවත් එයට හේතුව එල් නිනෝ දේශගුණික තත්වයෙන් මෙරටට එල්ල විය හැකි බලපෑම පුළුල් වීම බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
අවශ්‍ය පහසුකම් ලබාදුනහොත් මෙරට කෘෂි ව්‍යාපාරවලට ගෝලීය වෙළෙඳපොළේ හොඳ තරගකාරීත්වයක් ලබාදිය හැකි බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය. වර්ධනය පවත්වාගෙන යාම සහ ඉහළ නැංවීම සඳහා කෘෂි ව්‍යාපාර වැනි ප්‍රමුඛතා ක්ෂේත්‍රවල පෞද්ගලික ආයෝජන, අපනයන සහ ඵලදායිතා වර්ධනය අත්‍යාවශ්‍ය බවද ලෝක බැංකුව පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායමෙන් සියයට 30ක් උපයන සහ සමස්ත රැකියාවලින් තුනෙන් එකක් පමණ සපයන කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනයට ප්‍රධාන බාධා හයක් පවතින බව ලෝක බැංකුව පෙන්වා දෙයි.
මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් හයෙන් එකකට ආසන්න දායකත්වයක් ලබාදෙන කෘෂි ව්‍යාපාර, ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික ක්ෂේත්‍රවලින් එකක් බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය. මෙම ක්ෂේත්‍රය සෘජුව සහ වක්‍රව මිලියන ගණනක ජනතාවගේ ජීවනෝපායට සහාය වන අතර, විදේශ විනිමය උපයාගැනීමේ වැදගත් මාර්ගයක්ද වන බව ලෝක බැංකුව සඳහන් කළේය.
විශේෂයෙන් බස්නාහිර පළාතෙන් පිටත ජීවත්වන දුප්පත් හා ආර්ථික දුෂ්කරතාවලට ගොදුරුවීමේ අවදානම ඇති පවුල් බොහොමයක් කෘෂිකර්මය සහ කෘෂි ව්‍යාපාර සමග සම්බන්ධ වී සිටින බැවින්, දරිද්‍රතාව අඩු කිරීම සඳහාද මෙම ක්ෂේත්‍රය වැදගත් බව එහි දැක්වේ. එහෙත් අපනයනය සඳහා නිෂ්පාදනය කරන ක්ෂේත්‍රවලට වඩා, ආනයනික භාණ්ඩ සමඟ දේශීය වෙළෙඳපොළේ තරග කරන බෝගවලට ප්‍රතිපත්තිමය වශයෙන් වැඩි ප්‍රමුඛත්වයක් ලැබී තිබීම කෘෂි ව්‍යාපාරවල වර්ධනයට එක් බාධාවක් බව ලෝක බැංකුව පෙන්වා දෙයි.
ව්‍යාපාර සහ වගා නවීකරණය සඳහා ප්‍රමාණවත් ලෙස නැවත ආයෝජනය නොකිරීම සහ ඵලදායිතාව පහත වැටීම තවත් ප්‍රධාන බාධාවක් බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
මෙරට දුප්පත්කමින් පෙළෙන වැඩිම ජනතාවක් ජීවත් වන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල බවද ලෝක බැංකුව සඳහන් කළේය. උතුරු පළාතේ සියයට 30 ක් දුප්පත්කමින් පෙළෙන බවත් නැගෙනහිර පළාතේ සියයට 28ක් දුප්පත්කමින් පෙළෙන බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය. අඩුම ජනතාවක් දුප්පත්කමින් පෙළෙන්නේ බස්නාහිර පළාතේ බවත් එම පළාතේ සියයට 9 ක ජනතාවක් දුප්පත්කමින් පෙළෙන බවත් ලෝක බැංකුව පැවැසුවේය.
එසේම ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවර වරායන්හි මසුන් අල්ලාගැනීමෙන් පසු සිදුවන අස්වනු හානිය සියයට 60ත් 70ත් අතර ඉහළ මට්ටමකට ළඟාවී ඇති බවත්, ප්‍රමාණවත් ශීතකරණ සහ තත්ව පාලන පහසුකම් නොමැතිවීම දේශීය වෙළෙඳපොළට හා අපනයනයට සැපයිය හැකි මත්ස්‍ය ප්‍රමාණය සීමා කරන බවත් ලෝක බැංකුව ඊයේ (06) නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දෙයි.
පසුගිය වසරේදී මෙරට මුහුදු ආහාර අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 240ක් පමණ වුවද, එම ක්ෂේත්‍රයෙන් වැඩි ආදායමක් උපයාගැනීමට පවතින යටිතල පහසුකම්වල අඩුපාඩු බාධාවක් වී ඇතැයි ලෝක බැංකුවේ නවතම ශ්‍රී ලංකා සංවර්ධන ඇගයීම් වාර්තාව සඳහන් කරයි.
ඉදිරි දශකය තුළ ශීතකරණ පහසුකම් සහිත ගබඩා හා ප්‍රවාහන පද්ධති සඳහා අවශ්‍ය අමතර ආයෝජනය ඩොලර් මිලියන 117ක් පමණ ලෙස වාර්තාව දක්වයි. එයින් ඩොලර් මිලියන 70ක් පමණ අවශ්‍ය වන්නේ මත්ස්‍ය හා ජලජීවී වගා ක්ෂේත්‍රයට බවද එහි සඳහන් වේ. මෙම පහසුකම්වල හිඟය, ශ්‍රී ලංකාවේ කෘෂි හා ආහාර නිෂ්පාදනවලින් වැඩි අපනයන ආදායමක් ලබාගැනීමට ඇති පුළුල් බාධකවලට එක් උදාහරණයක් බව වාර්තාව පෙන්වා දෙයි.
ඉහළ මිලක් ලැබෙන විදේශ වෙළෙඳපොළවලට පිවිසීම සඳහා නිෂ්පාදනවල තත්වය, ආහාර සුරක්ෂිතතාව සහ ඒවා නිපදවූ ස්ථානය තහවුරු කිරීමේ හැකියාව වඩ වඩාත් වැදගත් වී තිබෙන බව එම වාර්තාවේ සඳහන් වේ. එහෙත් ශ්‍රී ලංකාවේ එම පහසුකම් තවමත් ප්‍රමාණවත් ලෙස සංවර්ධනය වී නොමැති බව ලෝක බැංකුව සඳහන් කරයි.
තත්ව සහතික සහ ප්‍රමිතීන් පිළිබඳ වගකීම් ආයතන හතක් අතර බෙදී පවතින අතර, යුරෝපා සංගමයට අපනයනය කිරීම සඳහා අවශ්‍ය සහතික ලබාදීමට ඇති පරීක්ෂණාගාර පහසුකම්ද ප්‍රමාණවත් නොවන බව වාර්තාවේ දැක්වේ. එසේම ක්‍රියාකාරී කෘෂිකාර්මික වෙළෙඳපොළ තොරතුරු පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් ගොවීන්ට වෙළෙඳපොළ මිල පිළිබඳ පැහැදිලි තොරතුරු ලබාගැනීම අපහසු වී තිබේ. එම තත්වය ගොවීන් අතරමැදියන් මත යැපීමට හේතුවන බවද වාර්තාව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ මේ වසරේ ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 3.6 සිට සියයට 4.4 දක්වා ඉහළ නැංවීමට ලෝක බැංකුව පියවර ගෙන ඇතත්, ආයෝජන සහ කාර්මික නිෂ්පාදනය තවමත් අර්බුදයට පෙර පැවැති මට්ටම්වලට පැමිණ නොමැති බව එම බැංකුව පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd