- ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ උපවැඩසටහන 2 සඳහා ඩො.මි. 100ක්
- නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන සඳහා ඩො.මි. 100ක්
මෙරට තුළ ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහනේ උපවැඩසටහන 2 ක්‍රියාත්මක කිරීමට එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමගින් වන ණය ගිවිසුමකට එළැඹි බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩසටහනෙන් ජල සුරක්ෂිතතාව, දේශගුණික ප්‍රතිරෝධීතාව, පරිසර තිරසාරභාවය, සේවා ගුණාත්මකභාවය සහ ජල අංශයේ මූල්‍යමය ශක්තිමත්භාවය වැඩිදියුණු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් පවතින ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහාය දක්වන බව රජය සඳහන් කරයි.
මෙම උපවැඩසටහන 2 හරහා, එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ ආංශික ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීමෙන් තිරසාර, දේශගුණිකව ඔරොත්තු දෙන සහ සියලුදෙනාට ප්රතිලාභ සැලසෙන ජල හා සනීපාරක්ෂක සේවා පද්ධතියක් ගොඩනැගීම අපේක්ෂාවයි. මෙම පැකේජය, ADB සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ ලබාදෙන ඩොලර් මිලියන 50 ක සහනදායී ණය පහසුකමක් සහ ඩොලර් මිලියන 50 ක නිත්‍ය ණය පහසුකමක් යන කොටස් දෙකකින් සමන්විත වේ.
ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් සහ මෙහි උපවැඩසටහන 1 යටතේ ජල පාලනය, දේශගුණික ප්‍රතිරෝධීතාව, සේවා සැපයුම සහ මූල්‍ය තිරසාරභාවය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය, නියාමන සහ ආයතනික පදනම් ස්ථාපිත කළ අතර, එය 2024 වර්ෂයේ දී සාර්ථකව නිම කර තිබේ.
මේ අතර නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන සඳහාද ADB සමගින් වන තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් සඳහා වන එකඟතාවට පිවිසි බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම ණය මුදල් ද්වීතීයික අධ්‍යාපන මට්ටමේ නිපුණතා මාර්ග ශක්තිමත් කිරීම, ගුණාත්මක හා රැකියා කේන්ද්‍රීය වෘත්තීය නිපුණතා පුහුණුව පුළුල් කිරීම, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්රයේ කර්මාන්ත හා පෞද්ගලික අංශ සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ TVET ක්ෂේත්රයෙහි පාලනය ශක්තිමත් කිරීම සඳහා යොදා ගැනේ. මෙම වැඩසටහන 2027 සිට 2031 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
දැනට පවතින මෝටර් රථ ඉංජිනේරු පුහුණු ආයතනය මෝටර් රථ තාක්ෂණය සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් (Centre of Excellence) බවට උසස් කිරීම හා TVET මධ්‍යස්ථාන 09ක් කලාපීය මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ TVET ක්ෂේත්රය නවීකරණය කිරීම මෙම වැඩසටහන මගින් අරමුණු කරයි. මීට අමතරව, තවත් පුහුණු මධ්‍යස්ථාන 40ක පහසුකම් සංවර්ධනය කරමින් ඉගෙනුම් ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ගුණාත්මක පුහුණුව සඳහා ප්‍රවේශය පුළුල් කිරීම සිදු කෙරේ.
තවද, රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතා සමග ගැළපීම සහතික කිරීම සඳහා ජාතික නිපුණතා ප්‍රමිති 200 ක් (National Competency Standards), විෂයමාලා සහ ඉගෙනුම් ආදර්ශ යාවත්කාලීන කිරීම කරනු ඇත.
මෙම මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා වන ණය ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාද, ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් මහත්මියද පසුගිය නොවැම්බර් මස 06 දින කොළඹ, මහා භාණ්ඩාගාරයේ දී අත්සන් තබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd