කරන්දෙණිය – එම්. සුසිල් ප්රියන්ත
සම වෘත්තික මිතුරන් තුන් කට්ටුවක් දුන් ලණුවක් එහෙම පිටින්ම ගිල අලි අමාරුවක වැටුණු මිතුරකු පිළිබඳව අපූරු කතාවක් ඇසෙන්නේ ඇල්පිටියෙනි.
ක්ෂේත්රයේ පැරැන්නෙකි. සේවා කාලය අඩ සියවසකටත් වැඩිය. කටේම පම්පෝරිය ඒ ගැනය. කෙනෙක් සමග කතා කළහොත් තමා වැඩකාරයකු යැයි හැඟවීමට ගන්නා උත්සාහය මෙතෙකැයි කියා විස්තර කළ නොහැකිය. ඒත් මිනිහා හිත හොඳ එකෙකි.
මේ මිතුරා තවත් මිතුරන් පිරිසක් සමග යනුයේ තෙදින නේවාසික වැඩමුළුවකටය. මේ වැඩමුළුවට සහභාගී වන අයට කෑම බීම ඉඳුම් හිටුම් මෙන්ම ගමන් ගාස්තුව සඳහා ද දීමනාවක් ලබා දීමට වැඩමුළුව සංවිධානය කළ අය තීරණය කර තිබුණි.
මිනිහා මේ වැඩමුළුවට සහභාගිවූවේ දෙනු ලබන පුහුණුවට වඩා පුහුණුව අවසානයේදී දෙනු ලබන ගමන් ගාස්තු ගැන සිතාය.
මේ වැඩමුළුව ආරම්භයේ සිටම ඒ සඳහා ලබා දෙන ගමන් ගාස්තුව පිළිබඳව ගියේ එක එක කතාය. සමහරු දිනකට රුපියල් දාහ බැගින් දින තුනට තුන්දාහක් ලැබෙන බව කීහ. රුපියල් පන්දහසකට වඩා වැඩි මුදලක් ඒ සඳහා ලැබෙන බවද තවත් අය කීහ. අපේ මිතුරා සිතුවේද ගමන් ගාස්තුව ලෙස රුපියල් පන්දහසක් හෝ ඊට වැඩි මුදලක් ලැබෙනු ඇති බවය.
මේ තෙදින වැඩමුළුව අවසන්ය. යෙදී තිබුණේ ඒ සඳහා සහභාගිවූවන්ට ගමන් ගාස්තු ප්රදානය කිරීමය. එය ලබාදුන්නේ බොහෝම වැදගත් විදිහටය. ලියුම් කවරයක දමාය. නාදලු වන් දෙතොලින් සිනාසී ළඳක දුන් ගමන් ගාස්තුව ඔහු ලබාගන්නා විට කිහිප දෙනකුම එය රැගෙන එළිමහනේය. එසේ එළිමහනේ සිටි මිතුරන් තුන් කට්ටුවක් තුන් පැත්තකය.
ඔහු ගමන් ගාස්තු දුන් ලිපි කවරය විවෘත කළේය. දෙවියනේ එහි සිටියේ මොනරුන් තිදෙනෙකි. අනෙක් අයටත් ලැබුණේ එම මොනරුන් සංබ්යාවදැයි බැලීමට ඔහු එක මිතුරකු ළඟට කිට්ටු වූවේය. ඔහු විස්තරය ඇසුවේය. ඒ අනුව මිතුරා තමාට ගමන් ගාස්තු දුන් කවරය විවෘත කළේය. එහි මොනරුන් පහකි. ඔහුගේ දැන් තුන් මුහුණේම දහඩියය. ඔහු තවත් මිතුරකු ළඟට ගියේද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමටය. ඒ මිතුරාත් ඔහුට ගමන් ගාස්තු සඳහා දුන් ලිපි කවරය විවෘත කළේය. එහිද මොනරුන් පහකි.
මේ ආකාරයට අනෙක් මිතුරා ළඟට ද ගියේය. ඔහුට ද මේ ගමන් ගාස්තු කතාව කීවේය. මේ මිතුරාද තමන්ට දුන් ගමන් ගාස්තු ලිපි කවරය කලිසම් සාක්කුවෙන් එළියට ඇද විවෘත කළේය. එහිද රුපියල් පන්දහසකි. ඔහුගේ දැන් මළ ඕවර්ය. දෙනෙතින් ගිනි දැල් පිටවෙමින් තිබුණේය. මේ ඊයේ පෙරේදා ක්ෂේත්රයට පැමිණි කිරි කජු කොල්ලන්ට රුපියල් පන්දාහයි. ක්ෂේත්රයේම කෘතහස්ත තමාට රුපියල් තුන්දහසයි. ඔහු කෙළින්ම ගියේ ගමන් ගාස්තු දුන් සුකුමාල ළඳුන් වෙතය. ගියා නොව ඔවුන්ගේ ඇඟට කඩා පැන්නේය.
ගමන් ගාස්තු හුටපටය පිළිබඳ ඔහු මේ ළඳුන්ට කීවේ මහා හයියෙනි. හඬ නගාය. ඒ ශබ්දය ඇසුණු අනෙක් අයගේ දෙනෙත් හා දෙකන් එතනය. ළඳුන්ට මෙය මහා ප්රහේළිකාවකි. ඔවුහු තමන් කාටවත් රුපියල් පන්දහසක ගමන් ගාස්තුවක් වැරදිලාවත් නොදුන් බව කීහ. “මොකද නැත්තේ අර එළියේ ඉන්නවා රුපියල් පන්දහස ගානේ ගත්ත තුන් දෙනෙක්ම” යැයි කී විට ඒ තුන්දෙනා කැඳවාගෙන එන ලෙස සංවිධායකයෝ කීහ. ඒ අනුව ඔහු එළියට ගියේ ඒ මිතුරන් තුන්දෙනා කැඳවාගෙන ඒමටය. ඔහු එළියට ඇවිත් විපරම් කර බලන විට ඔවුන් තුන්දෙනාම අතුරුදන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd