‘‘නන්දා මාලිනී රඳවාගෙන පැය තුනක් ප්‍රශ්න කරයි’’ ‘‘නන්දා මාලිනීට කුවේට්හි කරදරය ලාංකිකයකුගේ බොරු ඔත්තුවකින්’’ ‘‘තබ්ලා පලා කුඩු තිබෙනවාද කියා බැලූවා’’ මේ පසුගිය දින කිහිපය තුළ ජාතික පුවත්පත්වල පළවූ සිරිස්තල කිහිපයක්. හෙළයේ අග්‍රගන්‍ය ගායිකාවක වන , සංගීත විශාරද නන්දා මාලිනියට කුවේට් රටේදී සිදුවූ මේ අකරතැබ්බය කුමක්ද? ඇයට එහිදී මොනවාද සිදුවුණේ? කුවේට් රටට නන්දා මාලිනිය ගියේ කුමකටද? මෙවැනි ප්‍රශ්න ගණනාවක් අප කාගේත් සිත් තුළ ඇතිවන්නට පුළුවනි. ඒ නිසාවෙන්ම ඇයත් සමග කතාබහ කරන්නට අපි ඉඩ ප්‍රස්ථාව සලසා ගත්තෙමු. තවමත් මේ කලාකාරිනිය තුළ ඇතිවූ කම්පනය පහවී ගොස් නොමැති බව කතාබහේදී අපට වැටහුණි. ඇත්තටම ඔබ කණ්ඩායම කුවේට් රටට ගියේ ඇයි? කුවේට් රටට අපි ගියේ සංගීත ප්‍රසංගයක් සඳහායි. මගේ ‘‘ඔබයි රම්‍ය සඳ කිරණ’’ ප්‍රසංගය පහුගිය 2 වැනිදා කුවේට් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. එය ඒ රටේ සංවිධානය කළේ සුමිත් රංජන්. මේ ප්‍රසංගය මෙරට සම්බන්ධීකාරක ලෙස සිසිර අමරබන්දු කටයුතු කළා. මාත් සමග සුරේෂ් මාලියද්ද ඇතුළු පස්දෙනෙක් අපේ කණ්ඩායමට ඇතුළත් වුණා. ඇත්තටම මේ ප්‍රසංගය පැවැත්වීමේ ලොකු අරමුණු දෙකක් තිබුණා. පළමුවැන්න උතුරු නැගෙනහිර දිළිඳු විහාරස්ථානවලට පහසුකම් සැපයීම හා සාමනේර භික්ෂූන් වහන්සේලාට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමයි. දෙවැන්න කුවේට් රාජ්‍යයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මවුබිමට ගෙන ඒමට අවශ්‍ය මුදල් සම්පාදනය කරගැනීමයි. මේ උතුම් අරමුණු වෙනුවෙන් තමයි මා ඇතුළු කණ්ඩායම පසුගිය 01 වැනිදා කුවේට් රටට ගියේ, නමුත් සිදුවුණේ අපි කවදාවත් නොහිතපු සිදුවීමක්. ඒ කියන්නේ කුවේට් ගුවන් තොටුපොළේදීද මේ සිදුවීම සිදුවුණේ? ඇත්තෙන්ම ඔව්. ඒක විශාල කරදරයක්. 01 වැනිදා පස්වරු 2.00ට තමයි ලංකාවෙන් අපිට ගුවන්යානය තිබුණේ පිටත්වෙන්න. කුවේට් ගුවන් තොටුපොළේදී බහිනකොට පස්වරු 6.00ට විතර ඇති. බැස්සට පස්සේ අපට ගුවන්තොටුපොළේදී වෙනදාට සිදුවන කාර්යය සිදුනොවන බවක් දැනුණා. වීසා කොළ අපට දීලා, අපව වෙන තැනකට එක්කරගෙන ගියා. අපට බැගේජස් ගන්න දුන්නේ නෑ. පස්සේ අපි ඒ ගැන විමසුවාම සුරේෂ් මාලියද්දව විතරක් අරගෙන ගියා. එතකොටයි අපි දන්නේ සී.අයි.ඞී. එකෙන් මේ ඇවිත් ඉන්නේ කියලා. පැය භාගයකට පස්සේ සුරේෂ් අපේ බෑග් අරගෙන ආවා. ඊට පස්සේ මුල ඉඳලා චෙක් කළා. මුලින්ම නිහාල් කලූබෝවිලගේ තබ්ලාව පැලූවා. එකපාරට සුරේෂ් ‘අයියෝ’’ කිව්වාම සැරකළා. බෑග්වල කටවල් පවා ඇදලා දැම්මා. අන්තිම නූල දක්වා ඔවුන් චෙක් කළා. බටනළා 20 ක් විතර අපේ බෑග්වල තිබුණා. බටනළා ටික පොළොවේ ගහලා බැලූවා. එක එක ඒවා බටනළා ඇතුළට දාලා බැලූවා. එහෙම දානකොට එකක් පරණ හින්දා, පොඩි කුඩු වගයක් වැටුණා. ඔවුන් ඉක්මනට ගිනි තියලා බැලූවා. ඔවුන් බැලූවේ ඇත්තටම ඒවා කුඩුද කියලා. ඒ තියෙන්නේ මත් ද්‍රව්‍යද කියලා. ඊට පස්සේ මහේන්ද්‍ර පැස්කුවෙල්ගේ ගිටාර් එක ගලවන්න හැදුවා. මහේන්ද්‍ර එය බේරාගන්න හිතාගෙන අරාබි සිංදුවක් එයින් වාදනය කරලා පෙන්නුවා. ඒත් වැඩක් වුණේ නෑ. ඔවුන් මැෂින් එකට ගිටාර් එක දාලා බැලූවා. මැෂින් එකට දැම්මාම එහි වයර් විනාශ වෙනවා. රුක්ෂාන් ගුණවර්ධන ගාව තිබුණේ ඉලෙක්ටි්රක් වයලීන් එකක්. ඔහු පළමු වතාවට තමයි පිටරට සංගීත ප්‍රසංගයකට ගියේ. වයලීනයේ බෝ එක ටියුන් කරන්න හතරැස් ඊයම් කෑල්ලක් තිබෙන්නේ. ඔවුන් ඊයම් කොළය මොකටද තිබෙන්නේ කියලා ඇහුවා. ඒක ගලවන්න කිව්වා. නමුත් ඒක ගලවන්න බැහැ. අන්තිමේදී මගේ ඇඳුම් බෑග් එක අදින්න ගත්තා. මම අඳින ඇඳුම් විතරයි එහි තිබුණේ වෙනදාට නම් තෑගි දෙන්න සී.ඞී. පට, කෑම ජාති අරගෙන යනවා. මෙවර මම ගෙනගියේ නෑ. ඔවුන්ට මොකුත් හමුවුණේ නෑ. ඊට පස්සේ අපේ දෙන්නෙක්ව අරගෙන ගිහින් ඇදුම් ගලවලා චෙක්කරලා තිබෙනවා. ඔවුන්ගේ පර්ස් පවා ඇදලා චෙක් කරලා. මේ සියලූ දේ සිදුකරලා අපට යන්න දුන්නේ රාත්‍රී 10.00ට විතර. ඇත්තටම මෙහෙම සෝදිසි කරන්න හේතුව කුමක්ද? ඔබ මීට පෙර රටවල් ගණනාවකට සංගීත ප්‍රසංගවලට සහභාගි වූ ප්‍රවීණ ගායිකාවක්. ඇයි මෙහෙම දෙයක් වුණේ? අපටත් හිතාගන්න බැරිවුණා. මගේ ජීවිතේ පළමු වතාවට තමයි මෙවැනි අත්දැකීමකට මුහුණ දුන්නේ. එහේ ඉන්න කවුරුහරි අපි කුඩු ගේනවා (මත්ද්‍රව්‍ය) කියලා ඒ රටේ සී.අයි.ඞී. එකට ඔත්තුවක් දීලා. එහේ අයට මෙහේ අයත් එකතුවෙලා ද දන්නේ නෑ. අපි ඒ රටට යෑමට දවස් 2කට ඉස්සෙල්ලා එහේ එයාර් ලංකා ආයතනයෙන් සී.අයි.ඞී. එක අපේ තොරතුරු ලබාගෙන තිබෙනවා. පළමු වතාවට අපි මුහුණදුන් ඒ අත්දැකීම ඉතාම කටුකයි. පැය තුනක් විතර රඳවාගෙන අපෙන් ප්‍රශ්න කළා. වතුර උගුරක්වත් බොන්න ලැබුණේ නෑ. අපි ඔක්කොම දැඩි කම්පනයකින් හිටියේ. අපි ගොඩාක් අසරණ වුණා. ප්‍රසංගය සංවිධානය කළ සුමිත් රංජන් මහතාටවත් කරන්න දෙයක් තිබුණේ නෑ. මොකද එය සී.අයි.ඞී. එකේ වැඩක් හින්දා. එතකොට ඔබේ ‘‘ඔබයි රම්‍ය සඳ කිරණ’’ ප්‍රසංගය පවත්වන්න බැරිවුණාද? කොහොත්ම නෑ. පහුවෙනිදා, ඒ කියන්නේ 2 වැනිදා සුපුරුදු විදිහට අපේ ප්‍රසංගය පැවැත්වුවා. මම ජීවිතයේ විවිධ අයුරින් තැලී පොඩි වූ ගැහැනියක්. එයින් ලොකු පන්නරයක් ලබා තිබෙනවා. මගේ වාද්‍ය ශිල්පීන් ලොකු කම්පනයක හිටියේ. නමුත් මා සියල්ල අමතක කර, ඔවුන් දිරිගන්වා ප්‍රසංගය හොඳට පැවැත්වුවා. ප්‍රසංගය ආරම්භ කරද්දීම සුමිත් අපට සිදුවූ මේ සිද්ධිය සභාවට පැවසුවා. එහිදී පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් පුදුමයටත්, දුකටත් පත්වුණා. ඔවුන්ට එය දරාගන්න බැරිවුණා. ප්‍රසංගය බලන්න එරට ශ්‍රී ලංකා තානාපති සී.එච්.එම්. විජේරත්න මහත්මයාත් ඇවිත් හිටියා. ඔහු කතාවක් කරමින් අපෙන් සමාව ඉල්ලූවා. මම ගීත 25 ක් ගායනා කළා. ප්‍රසංගය අතරතුරේදී මම සිදුවූ සිද්ධීන් එකින් එක නැවත මතක් කළා. තබ්ලා පැලූව හැටි ශාලාවට ගෙනත් පෙන්නුවා. මමමයි නිවේදන කටයුතුකළේත්. ප්‍රසංගය ඉවර වෙලා පහුවෙනිදා (03) අපි ලංකාවට ආවා. ඒ ආ විටයි අපේ ශිල්පීන්ගේ යන්තම් හරි හිනාවක් දැක්කේ. ඔවුන් සියල්ලගේම සිනාව අතුරුදන් වෙලයි තිබුණේ. කොහොම වුණත් අපි ඔක්කොටම තවම ඒ කම්පනය තිබෙනවා. මටත් තවම ඒ කම්පනය තිබෙන හින්දා, දුරකතනයටවත් පිළිතුරු දෙන්න යන්නේ නෑ. ඔබ මත්ද්‍රව්‍ය ගෙනියනවා කියලා බොරු ඔත්තු දෙන්න තරම් ඔබට සතුරෝ ඉන්න බවයි පෙනෙන්නේ. එහෙම නේද? මා දැනුවත්ම නම් එහෙම සතුරෝ මට නෑ. මා හිතන්නේ ඒ රටේ විවිධ පුද්ගලයෝ විවිධ සංදර්ශන නිතරම පවත්වනවා. අප ගෙනැවිත් ගෘහස්ථ ප්‍රසංග පැවැත්වීම ගැන සමහරුන් කැමති නෑ. එයට විරුද්ධ අය වෙන්නැති මේ ඔස්තුව දෙන්න ඇත්තේ. මොකද මේ ෂෝ එකට විවිධ බාධා එල්ල වී තිබෙනවා. සමහරවිට මෙහේ ඉන්න අපට ඊර්ෂ්‍යා කරන අයත් මේවාට උල්පන්දම් දෙන්න ඇති. කවුරුන්ද කියා නම් මා දන්නේ නෑ. කොහොමහරි මොනවා හරි දෙයක් වුණා නම් දවස් 4 ක් යනතුරු අපට හිරේ තමයි ඉන්න වෙන්නේ. මොකද සිකුරාදා ඒ රටේ නිවාඩු දවසක්. එහෙම වුණානම් කවුරුවත් දන්නේ නෑ. අපට මොකද වුණේ කියලා. ඒ අත්දැකීම නම් අපට හොඳ පාඩමක් වුණා. මේ පිළිබඳව ජනාධිපතිතුමාත් ඔබෙන් තොරතුරු විමසූ බව දැනගන්නට ලැබුණා. ඇත්තද ඒ කතාව? ඔව් , පසුගිය බදාදා දුරකථනයෙන් එතුමා මගෙන් විස්තර ඇහුවා. මම සියලූම තොරතුරු එතුමාට කිව්වා. ඒ වෙලාවේ එතුමා පැවසුවේ ‘‘නන්දා අපි ඇත්තටම කනගාටුවෙනවා, මේ සිදුවීම ගැන. දැන්ම මා තානාපතිට කතා කරලා මේ පිළිබඳව ඉහළම පරීක්ෂණයක් පවත්වන්න කටයුතු යොදනවා” කියලයි. මගෙන් සැක කටයුතු කවුරුහරි ඉන්නවාද කියලත් ඇහුවා. මා කිව්වේ එහෙම කෙනෙක් මට නැති බවයි. ජනාධිපතිතුමා හැරෙන්න රජයේ කිසිම වගකිවයුතු කෙනෙක් මට කතා කළේ නෑ. ප්‍රවීණ, සම්මානනීය ගායිකාවක් ලෙස ඔබ මුහුණ දුන් මේ ඇත්දැකීම ගැන දැන් මොකද හිතන්නේ? මම රටවල් 30-40 ක විතර සංගීත ප්‍රසංගවලට ගිහින් තිබෙනවා. සමහර රටවල්වල තානාපති කාර්යාලවලින් ප්‍රසංග සංවිධානය කළේ. එවිට ගුවන් තොටුපොළේ ඪෂඡු පහසුකම් යටතේ අපි ගියේ. අනෙක් ප්‍රසංගවලට අපි ගියේ සාමාන්‍ය විදිහටයි. නමුත් ජීවිතේ පළමු වතාවට තමයි මෙවැනි මත්ද්‍රව්‍ය ප්‍රශ්නයකට අපි මැදිවුණේ. මා හිතන්නේ මෙය හොඳ පාඩමක්. අපේ සමහරුන්ගේ තිබෙන අප්‍රසන්න ගති ලක්ෂණ තමයි මෙයින් පෙන්නුම් කළේ. මට හිතෙන්නේ කුණුවෙලා තිබෙන සමාජයක කූටප්‍රාප්තිය තමයි මේ තියෙන්නේ. හරි අවංකව ඉන්න කෙනකුට ඉන්න නොදීමක්. මම දශක 5ක් තිස්සේ වටිනා චරිතයක් බවට හැරුණේ විශාල කැපවීමක් කරලයි. ඒ සඳහා ජීවිතයේ නොයෙක් දුක්කන්දරාවල් වින්ඳා. ඒ ගෞරවය කෙළෙසන්න තමයි සමහරු හදන්නේ. අපි හම්බ කළේ මිල මුදල් නොව ජනතාවයි. අපි හැමවිටම සරලව ජීවත්වුණේ. ඒක සමහරුන්ට දරාගන්න බැහැ. තවමත් අපට හොඳ පිළිගැනීමක් තිබෙනවා. මේ කුණුවෙලා තිබෙන සමාජ තත්ත්වයේ තිබෙන කම්පනය තමයි මේ තියෙන්නේ. මා එක එක දේවල් වලින් පන්නරය ලබාගත්තා. මෙයත් එක් අත්දැකීමක්. මෙයින් මා බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ රටේ බොහෝ දෙනා මේ සිද්ධිය අසා අඬන්න ගත්තා. ඔවුන් දුක්වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇත්තටම නන්දා මාලිනියට කුවේටයේදී මොකද වුණේ?