
ඇමෙරිකාව ඊශ්‍රායලය සමග එක් වී, ඉරානයට එරෙහි අනුගමනය කළ හමුදා ක්‍රියාමාර්ගය අවසන් යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇමෙරිකා ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා ‘සාධනීය ප්‍රගතියක්’ දකින්න ලැබෙන බැවින්, තව දුරටත් ඉරානය සමග ගැටුම් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
ඇමෙරිකා ඉරාන යුද්ධය අවසන් කිරීමෙහිලා මැදහත්කරුවකු ලෙස කටයුතු කළේ කටාර් රාජ්‍යයයි. කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල් තානි ධවල මන්දිරයට පැමිණියේය. ට්‍රම්ප් සහ අල් තානි අතර සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ රහසිතගතවය. ඊට අමතරව, ඇමෙරිකා ඉරාන යුද්ධය නැවැත්වීමට මැදහත් වුණු සාම නියෝජිතයෝ පිරිසක් ද ධවල මන්දිරයට පැමිණ සිටියහ.
ඇමෙරිකාව ඉරානයේ වරායවලට පනවා ඇති නාවික අවහිර කිරීම් සහ සම්බාධක දිගටම පවතිනු ඇති බවත්, ඉරානයට ගොඩබිමෙන් සහ කැස්පියන් මුහුද හරහා සිදුවන වෙළඳාම නතර කිරීමට ඇමෙරිකාව අලුතින් ක්‍රියාත්මක කළ ‘ටාස්ක් ෆෝස් අයන් ගේට්’ නමැති මෙහෙයුම දිගටම ක්‍රියාත්මක වනු ඇති බවත් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
කෙසේ නමුත් සාකච්ඡා අවසානයේ ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ, ඉරානය සමග දිගටම ගැටුම් ඇති කර ගැනීමෙන් පලක් නොවන බවත්, කටාර් රාජ්‍යය පමණක් නොව, සෞදි අරාබිය ද කලාපීය වශයෙන් සාමය අපෙක්ෂා කරන බවය.
සෞදිය මේ වනවිට යෙම්නයේ හූති සටන්කාමීන් සමග ගැටෙන්නේ ද, ඇමෙරිකා ඉරාන යුද්ධයේ දිගුවක් ලෙසය. හූති යනු ෂියා මුස්ලිම් සන්කාමීන් පිරිසකි. මොවුන්ට ඉරානයේ සහාය හිමිවෙයි.
ධවල මන්දිරයේ දී කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල් තානි හමුවීමට ඇමෙරිකන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද පැමිණ සිටියේය. ජේ.ඩී. වැන්ස් ද පෙන්වා දුන්නේ ඉරානය සමග තව දුරටත් ගැටුම් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවය.
ජේ.ඩී. වැන්ස් 2028 වසරේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින්, ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නියමිත යැයි ද පැවැසෙයි. පසුගිය දා පැවැත්වුණු ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණයෙන්, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට, ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්‍රසය) බහුතරය අහිමි විය.
බහුතරය දිනා ගැනීමට සමත් වූයේ ප්‍රතිවාදී ඩිමොක්රටික්වරුන්ය. නව කොංග්රස් මණ්ඩලයේ කටයුතු ආරම්භ වන්නේ ලබන වසරේ ජනවාරියේය. ඊට පෙර ට්‍රම්ප්, ඔහුගේ අභිමතය පරිදි, ඇමෙරිකන් හමුදාවට අණ දී, ඉරානයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd