
(යොහාන් භාසුර)
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිවාරය සහ එමඟින් අවධානය යොමු කෙරුණු චීනයේ අනාගත දේශපාලන හා ආර්ථික දිශානතිය පිළිබඳ විද්වත් සංවාදයක් කොළඹදී පැවැත්විණ.
චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය විසින් සංවිධානය කරනු ලැබූ මෙම සංවාදයේදී චීනය ඉදිරියේදී දේශපාලනික හා ආර්ථික වශයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති පිළිබඳව මෙම සමුළුවේදී ලබාගත් තීන්දු තීරණ මෙන්ම මෙම සැසියට සමගාමීව, චීනයේ අනාගත දේශපාලන හා ආර්ථික දිශානතිය, සංවර්ධන උපායමාර්ග සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් ලෝකයට හා ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව විද්වත් අදහස් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.
චීනයේ සංවර්ධන අත්දැකීම් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට අදාළ කරගත හැකි ආකාරය සහ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී දේශකයෝ අදහස් දැක්වූහ.
පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාවේ සාමාජික හා ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී,විජේසිරි බස්නායක, කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු මෙම විද්වත් කතිකාවට එක්වූහ.
මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වීරසුමන වීරසිංහ මහතා පැවසුවේ චීනය මේ වන විට තම රටේ ජනගහනයෙන් මිලියන අටසීයක් දුප්පත්කමින් ගලවාගෙන දුප්පතුන් නැති රටක් බවට පත් කර තිබෙන්නේ දැවැන්ත ආර්ථික හා සමාජීය විප්ලවයක් හරහා බවයි. චීන ජනාධිපති ෂී ජන් පින් මහතා ඇතුළු රජය දිගුකාලීන සැලසුම් සකස් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීමත්, නිරන්තරයෙන් කරන පසු විපරමත් හරහා සමස්ත රටේ සංවර්ධනය වෙනුවෙන් දක්වන කැපවීම අප වැනි රටකට ආදර්ශයක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
විශාල භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති රටක සමස්ත ජනතාවගේ අදහස් ඒකරාශී කර ගනිමින් අනාගත සැලසුම් සකස් කිරීමට ඔවුන් උපයෝගී කරගන්නා ප්රජාතන්ත්රවාදී ක්‍රියා පිළිවෙත ලොව බොහෝ රටවල පුදුමයට හේතු වී ඇති බවත් වීරසුමන වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ "ගෝලීය තීරණ සම්බන්ධව මැදිහත්වීමට ලෝකයේ ලොකු කුඩා සෑම රටකටම අයිතිය තිබිය යුතුයි යන චීනයේ විශ්වාසය"ඉහලින්ම අගය කළ යුත්තක් බවයි. ලෝක භූ දේශපාලනය තුළ රටක් ලෙස නැගී සිටින්නට ඔවුන් ගන්නා වූ ඵලදායී තීරණ පටු තීරණයන්ගෙන් ඔබ්බට ගොස් දිගුකාලීන හා ස්ථීරසාර කාල පරාසයන් කරා වෙන් වෙන් වශයෙන් සකස් කිරීම තුළින් රාජ්‍ය පාලනයේ ඇති ශක්තිමත් බව පෙන්නුම් කර තිබෙන බවත් මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ජයවර්ධන පුරවිශ්වවිද්යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර මහත්මිය පැවසුවේ ලෝකයට බලපෑමක් කලහැකි වැදගත්ම රටක් ලෙස චීනය හඳුන්වා දිය හැකි බවයි. චීනයේ මධ්‍යස්ථ ප්‍රතිපත්ති නිසා ඔවුන් මේ වන විට පියවරෙන් පියවර ලෝකය දිනා ගනිමින් සිටින අතරම ලෝකයේ සමතුලිත බව රැකගැනීමට සැලකිය යුතු මැදිහත්වීමක් කිරීමටද සමත්ව තිබෙන බවයි විශාඛා සූරියබණ්ඩාර මහත්මිය පැවසුවාය.
නිල නොවන මට්ටමින් ගත් කල ලෝක ආර්ථිකයේ අංක එක හිමි රට බවට චීනය දැනටමත් පත්ව තිබෙන බවත් චීනය ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර ආර්ථික හා සාමාජීය වැඩපිළිවෙළ ඔස්සේ ඉදිරිපත් කර ඇති ලොව සියලු රටවල් වලට සහයෝගය දැක්වීමේ ඒකාබද්ධ වැඩපිළිවෙල මේ ජයග්‍රහණයට හේතු වී ඇති බවත් මහාචාර්යවරිය වැඩිදුරටත් අනාවරණය කළාය.
සංවාදයට එක් වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා පැවසුවේ චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් චීන ජනාධිපති ෂි ජින් පින් මහතා අනුගමනය කරන පක්ෂයේ විනය පිළිබඳ ප්‍රතිපත්ති ආදර්ශයට ගෙන වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජය රට පාලනය කරන අතර රටේ නීතියේ සර්ව සාධාරණත්වය වෙනුවෙන් උපරිමයෙන් කැපවන බවයි. දේශපාලනයේදී ලබා ගන්නා ඇතැම් තීන්දු තීරණ කෙටි කාලීනව ජනප්‍රිය නොවූවත් රටක ඉදිරි සංවර්ධනය හා මානව පැවැත්ම කෙරෙහි බලපාන දිගුකාලීන සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේදී චීනයේ අත්දැකීම් අපේ රටට වඩාත් වැදගත් බව ද විජේසිරි බස්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd