(අංජුල මහික වීරරත්න)

ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව හා කඩිනම්ව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව 'ඩෙංගු මදුරු මර්දන මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර අංශය (DPRD) කේන්ද්‍ර කරගනිමින් මෙම මධ්‍යස්ථානය ආරම්භ කර ඇත.

පවතින කාලගුණික වෙනස්වීම් හමුවේ මදුරු ඝණත්වය වැඩිවීම සහ රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින්, නොවැම්බර් 09 වනදා සිට 14 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි  විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. 

ඩෙංගු අවදානම පවතින දිස්ත්‍රික්ක 13ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක එම මර්දන සතියේ කටයුතු නව මෙහෙයුම් කාර්යාලය හරහා පාලනය කෙරේ.

නව කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සතිය තුළ සිදුකළ යුතු කාර්යයන් සහ අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද දී පැවැත්විණි.