(අංජුල මහික වීරරත්න)

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රථම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුව කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී අද (10) ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවට සමගාමීව සංවිධානය කර ඇති මෙම හමුව, සාමාජික රටවල් අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්තිමය, තාක්ෂණික හා ක්‍රියාකාරී සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය යන සාමාජික රටවල් හත නියෝජනය කරමින් සෞඛ්‍ය ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වන මෙම සාකච්ඡාවලදී කලාපීය සෞඛ්‍ය අභියෝග හඳුනාගැනීම, ඒවාට සාමූහිකව මුහුණදීම මෙන්ම දැනුම, අත්දැකීම් සහ තාක්ෂණික විශේෂඥතාව හුවමාරු කරගැනීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කෙරේ.

ඒ අනුව, බෝවන රෝග හා වසංගත වැළැක්වීම සහ පාලනය, හදිසි සෞඛ්‍ය තත්ත්වයන්ට සූදානම් වීම හා ප්‍රතිචාර දැක්වීම, රෝග නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම, සෞඛ්‍ය සේවා පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම, ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධය අවම කිරීම, ඩිජිටල් සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය පර්යේෂණ ඇතුළු ප්‍රමුඛතාගත ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.

එමෙන්ම, දේශගුණික විපර්යාස සෞඛ්‍ය ක්ෂේත්‍රයට එල්ල කරන බලපෑම්, මානව හා සත්ව සෞඛ්‍යය අතර පවත්නා අන්තර් සම්බන්ධතාව පදනම් කරගත් 'එක් සෞඛ්‍ය' (One Health) ප්‍රවේශය සහ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරේ.

බිම්ස්ටෙක් මහලේකම් ඉන්ද්‍ර මනි පාණ්ඩේ (Indra Mani Pandey) මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ වූ මෙම හමුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත පිරිනමනු ලැබීය. ඒ අනුව, හමුවේ ඉදිරි සාකච්ඡා සහ සියලු කටයුතු විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සභාපතිත්වයෙන් මෙහෙයවීමට නියමිතය.