IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මිහිකත නැති වෙන දිනය ගැන අනාවැකි බෑ

2012 දෙසැම්බර් මස 21 අද හෝ ඒ ආසන්න දිනයක ලෝකය විනාශ වේයැයි යන මතයේ කිසිදු සත්‍යතාවක් නැතත් විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ පෘථිවිය බිහිවූ දා සිට පෘථිවියට මුහුණ පෑමට සිදුවූ ආකාරයේ ග‍්‍රහක ප‍්‍රහාරයකට කවර හෝ මොහොතක පෘථිවිය ගොදුරුවී යා හැකි බවයි. පෘථිවියට ඉලක්කවී පැමිණෙන ග‍්‍රහකයක ගමන් මාර්ගය නවීන තාක්ෂණයේ උපකාරයෙන් වෙනස් කළ නොහැකි වුවහොත් අතීතයේ වරින් වර ඩයිනොසරයන් ඇතුළු ජීවීන් වඳවී ගිය ආකාරයට පෘථිවියේ ජීවය යළිත් විනාශ වී නොයනු ඇතැයි කිසිවෙකුට ස්ථිරවම අනාවැකි පල කිරීමට හැකියාවක් නැතලෝකය විනාශ වන්නේ නැතැයි අප කියන්නේ නැත. කවර හෝ මොහොතක මේ ලෝකය වැනසී යාමේ අවදනාමක් තිබේ. එය විද්‍යාත්මක සත්‍යයකි. නමුත් 2012 දෙසැම්බර් මස 21 හෙවත් අද දිනයේ හෝ ආසන්න දිනයක ලෝකය විනාශ නොවන බවනම් ඉඳුරාම පැවසිය හැකි කරුණකි. මායාවරුන්ට ලෝක විනාශය කෙසේ වෙතත් කි‍්‍රස්තු වර්ෂ 1500 අග භාගයේ සිදුවූ තම පරපුරේ විනාශය පිළිබඳව හෝ අනාවැකි කීමට හැකියාවක් ලැබී නැත. ස්වභාවික ව්‍යසනයන් පිළිබඳ ලොව කිසිවෙකුට මෙතෙක් අනාවැකි කීමට නොහැකි බවට වන සත්‍යය එයින් නැවත වරක් සනාථ වේ. කි‍්‍රස්තු වර්ෂ 300 ත් 900 ත් අතර කාලයේ මායා ශිෂ්ඨාචාරයේ ස්වර්ණමය යුගයේදී එය වර්තමාන බෙලීසිය, එල් සැල්වදෝරය, ගෝතමාලාව, හොන්ඩුරාස් සහ මෙක්සිකෝව පුරා පැතිරී තිබිණි. කි‍්‍රස්තු වර්ෂ 1517 දී ස්පාඤ්ඤ ජාතිකන් විසින් මායා ශිෂ්ඨාචාරය ආක‍්‍රමණය කිරීමෙන් එහි අවසානය සිදුවූ බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. ටියෝටිවකාන් නමැති පැරණි මායා නගරයේ හිරු සහ සඳුගේ බව පැවසෙන යෝද පිරමීඩ දෙකක් ඉදිකැර තිබේ. ලෝකය විනාශ වූ අවස්ථාවකදී යෝධයන් විසින් මෙම පිරමීඩ ඉදිකළ බව පුරාවෘත වල සඳහන් වේ. එයින් පැහැදිලි වන්නේ මායා වරු ලෝක විනාශයක් පිළිබඳ විශ්වාසයකින් පසුවූ බවයි. මායාවරුන් හා පුරාණ ඇස්ටෙක්වරුන්ගේ පුරාවෘත වල දැක්වෙන්නේ සුළගින්, අයිස්වලින්, ගින්නෙන් සහ ජලයෙන් අවස්ථා හතරක් ලෝකය විනාශ වූ බවයි. මායා දින දර්ශනය යනු තවමත් භාවිතා වන්නකි. මෙක්සිකෝවේ සහ ගෝතමාලාවේ තවමත් භාවිතා වන්නේ මායා කැලැන්ඩරයෙන් සම්භවය වූ කැලැන්ඩර විහේෂයකි. ඉන් එක් කැලැන්ඩරයක් වන්නේ මාස 18 කින් සමන්විත සූර්ය කැලැන්ඩරයයි. හාබ් යනුවෙන් හඳුන්වන මෙ කැලැන්ඩරය දැනට අප රටේ භාවිතා කරන ග්‍රෙගරියාවේ කැලැන්ඩරයට සමාන වේ. හාබ් කැලැන්ඩරයේ බිංදුවේ සිට 19 දක්වා වූ දින 20 ක් වූ මාස 18 ක් ලෙස වර්ෂයකට දින 360 කි. අවසානයේ දින පහක් එකතු කිරීමෙන් වර්ෂයට දින 365 සම්පූර්ණ කැර ඇත. ඔවුන් එම දින පහ අනතුරුදායක දින වශයෙන් හඳුන්වන්නේ එය අසුබ යැයි ඇති මතයක් හේතුවෙනි. මායා වංශකතාවන්හි දැක්වෙන්නේ යක්ෂයා මෙම දින පහේදී මිනිසුන් විනාශ කිරීම සඳහා ගම් වදින බවයි. මායා ශිෂ්ඨාචාරයෙන් පැවතවිත් තවමත් භාවිතා වන සොල්කින් නමැති දින දර්ශනයක් ද තිබේ. එහි දින 20 බැගින් වූ මාස 13 ක් දැක්වේ . එහි වර්ෂයකට දින 260 කි. මේ දින දර්ශනය පිළිබඳ බොහෝ දෙනා විවිධ මත පළකරති. ඇතැම් පිරිස් පවසන්නේ මායා වරුන් බෝග වගාව සඳහා මේ දින දර්ශනය යොදා ගන්නට ඇති බවයි. ඵලදාව ලැබීමට ගතවන දින ගණන 260 ක් බැවින් එම මතය ගොඩනැගී ඇත. තවත් පිරිසකගේ මතය වන්නේ ගැහැණියකගේ ගැබ් කාලය දින 270 ක් බැවින් ආසන්න වශයෙන් වර්ෂයකට දින 260 ක් ලෙස ගණනය කරන්නට ඇති බවයි. තවත් පිරිසක් කියා සිටින්නේ 13 සහ 20 යන ඉලක්කම් දෙකම මායා වරුන්ගේ ගණිත ශාස්ත‍්‍රයේ ඉතාමත් වැදගත් ඉලක්කම් ලෙස සැලකූ බැවින් ඒ දෙක එකිනෙකට ගුණ කොට වර්ෂයකට දින 260 ක් ලෙස සළකන්නට ඇති බවකි. මායා වරුන්ගේ වැදගත්ම දින දර්ශනය වන්නේ අවුරුදු ලක්ෂ ගණනක් ගණනය කළ හැකි පරිදි ගොඩනගා ඇති දින දර්ශනයයි. එය කි‍්‍රස්තු පූර්ව 3113 අගෝස්තු මස 14 වැනි දිනයෙන් ආරම්භ වන්නකි. එය දින දර්ශනය නිර්මාණය කළ දිනය යනුවෙන් ද නැතිනම් ලෝක ආරම්භ වූ දිනය ලෙස ද පවසන දෙකොටසක් සිටිති. මේ දින දර්ශනයේ දිනයක් හඳුන්වන්නේ කින් යන නමිනි. කින් 20 ක් එකතු වී මාසයක් සාදයි. මාසයට මායා වරු දී ඇත්තේ විනල් යන නමයි. විනල් 18 ක් එක් වූ විට වර්ෂයක් සෑදේ වර්ෂයක් ටූන් එකක් යනුවෙන් හඳුන්වා ඇත. වර්ෂයකට දින 360 ක් ලෙස සළකන මෙම කැලැන්ඩරය එතැන් පටන් 20 හි ගුණාකාර ලෙසින් දක්වා ඇත. වර්ෂ 20 ක් හෙවත් දින 7200 ක් කටුන් යනුවෙන් ද කටුන් 20 ක් හෙවත් දින 144,000 ක් බක්ටුන් එකක් යනුවෙන් ද හැඳින්වේ. මේ ආකාරයට ගුණනය වී ගොස් අලවටුන් එකක් යන අගය විශාලතම ඒකකය ලෙස දක්වා ඇත. එයට දින කෝටි 2304 කි. එනම් වර්ෂ කෝටි 6.3 කි. මෙම දින ගණන පෘථිවිය මත අණසක පතුරුවාගෙන සිටි ඩයිනෝසරයන් වඳවී ගියායැයි සැළකෙන කාලයට ආසන්න වශයෙන් සමාන වී ඇත. මේ දින දර්ශනය ශිලා ඵලකයක සටහන් කැර තිබේ. එහි එක් කොටසක් කැඞී ගොස් ඇත. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ කි‍්‍රස්තු පූර්ව 3113 සිට වර්ෂ 5125 ක් හෙවත් වර්ෂ 2012 දක්වා සටහන්ව ඇති බවයි. කැඞී ගිය කොටසේ මායා ශිෂ්ඨාචාරයේ පාලකයකු වූ බහ්ලාම් අජව්ගේ අනාගත වාක්‍යයක් සටහන් වන බව ද ඔවුහු පෙන්වාදෙති. මේ පාලකයාට අවශ්‍ය වූයේ දෙවියන්ගේ ගමන් මග සැළසුම් කිරීමටයි. ඒ වෙනුවේන භූමියක් සකස් කිරීමට ද අවශ්‍යව තිබී ඇත. එමෙන්ම දෙවියන් ප‍්‍රවේශවන මොහොතේදී ආගන්තුක සත්කාර කිරීමේ කාර්යය බහ්ලාම් අජවු හට හිමිව තිබූ බවද මේ කැඞී ගිය කොටසේ දැක්වේ. මැවීමේ සහ යුද්ධයේ දෙවියන් ලෙස පිළිගැනෙන බොලොන් යොක්වේ ටෝටුගුරෝහි පූජ්‍යස්ථායක දී එම දිනයේ ජය හිමිකරගන්නා බව ද එම දිනයට ඇත්තේ සංකේතාත්මක අගයක් පමණක් බව ද මෙම ශිලා ලේඛණයේ දක්වා තිබේ. කෙසේ වෙතත් එය දෙවියන්ගේ මාර්ගය මිස මනුෂ්‍ය වර්ගයාගේ විශාල පිම්මක් ලෙස ද හැඳින්වීමේ හැකියාවක් නැත. මායාවරුන්ගේ පැරණි ශිෂ්ඨාචාරය ගොඩනැගූවන්ගෙන් පැවතෙන ගෝති‍්‍රක ජනතාවක් තවමත් මෙක්සිකෝවේ ජීවත්වෙති. ‘‘ පිලිප් ගෝමස් ’’ නමැති නායකයා යටතේ සංවිධානය වී සිටින මෙම ගෝති‍්‍රක ජනතාව තම අතීත මුතුන් මිත්තන් විසින් ගොඩනැගූ කැලැන්ඩරයට දෙසැම්බර් 21 වැනි දින අවසන් වන බව පැවසුව ද එදින ලෝක විනාශයක් වන බවක් පවසන්නේ නැත. වත්මන් මායා වරුන්ගේ මතය ද දෙසැසම්බර් 21 වැනි දිනට පසු නව වර්ෂයක් සමග නව යුගකට දොරගුළු විවරවන බවයි. ඔහු මෙසේ පවසයි. ‘‘ අපේ අතීත මුතුන් මිත්තන් විසින් නිර්මාණය කරන ලද කැලැන්ඩරයේ සඳහන්වන අවසන් දිනය 2012 දෙසැම්බර් 21 වුවත් එදින ලෝකය විනාශ වනවායැයි කිසිම ස්ථානයක සඳහන් කැර නැහැ. එදින නව වසරදක් උදාවනවා. මේ කරගෙන යන ප‍්‍රචාරය සම්පූර්ණයෙන්ම ලාබ ලැබීම සඳහා කරගෙන යන්නක් පමණයි. ඔවුන් තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ලෝකයම කළඹනවා. අපේ මියගිය මුතුන් මිත්තන්ට ඔවුන් කරන්නේ විශාල අපහාසයක්. ලෝකය විනාශ නොවූ විට ඇතැම් පිරිසක් කියා සිටීවි මායාවරුන් මිත්‍යා දෘෂ්ඨිකයන් කියා. මායාවරු වැරදි අනාවැකි කීවා කියා. මායාවරු මිත්‍යා දෘෂ්ඨිකයන් නොවේ. වැරදි අනාවැකි කරුවන් ද නොවේ. මායාවරු කවදාත් කිසිම අයුරකින් 2012 දෙසැම්බර් 21 හෝ වෙනත් ආසන්න දිනයක ලෝකය විනාශ වෙනවා කියා පවසා නැහැ. ’’ මායා පරපුරේ ඇත්තෝ එසේ පැවසුව ද ලෝකය විනාශවන බව පවසමින් ප‍්‍රචාරය ගෙන යන්නෝ බොහොමයකි. අන්තර්ජාලය එස්සේ ලෝක විනාශය ප‍්‍රචලිත කිරීමේ අරමුණින් ම බිහිවූ වෙබ් අඩවි සංඛයාව දහස් ගණනකි. ලෝකය විනාශවන අවස්ථාවේදී ඉන් බේරී සිටීමටනම් තම ආගම අදහන ලෙස බල කරමින් ආගම ප‍්‍රචාරය කරන පිරිසක් ද මේ අතර සිටිති. තවත් පිරිසක් ලෝක විනාශයෙන් ගැලවී සිටීම සඳහා සුදුසු ස්ථාන නම් කරති. ඒ සඳහා සුදුසු නිවාස ආකෘති හඳුන්වාදී තිබේ. භූගත බංකර ඉදිකරන ආකාර දැක්වෙන සැළසුම් ද ලක්ෂ ගණනට අළෙවි කැරුණි. ලෝක විනාශයෙන් වැළකී සිටීම සඳහාම විශේෂයෙන් ඉදිකරන ලද හිස් වැසුම්, මුඛ ආවරණ සහ පිරිසිදු වාතය ලබාගත හැකි විශේෂිත මුහුණු ආවරණ ද ඇමරිකාව ඇතුළු රටවල තොග ගණනේ අළෙවි වූයේ එය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්කරමිනි. තවත් තැනක ලෝක විනාශයේ ඇත්ත නැත්ත, ලෝක විනාශයෙන් ගැලවෙන මග, ලෝක විනාශය සැබෑවක් ද , මායා වරුන්ගේ අනාවැකිය වැනි විවිධ නම් වලින් යුතු විවිධ භාෂාවලින් ලියැවුණු පොත්පත් ලක්ෂ ගණනක් අළෙවි කැරුණි. මුළු ලෝකයාම ලෝක විනාශයක් කෙරෙහි අවධානයෙන් පසුවන තත්ත්වයට පත්කළ තවත් පිරිසක් වන්නේ නක්ෂත‍්‍ර කරුවන් සහ අනාගත වාක්‍ය කරුවන්ය. තමන්ගේ ජනපි‍්‍රයතාව වැඩිකැර ගැනීමේ පටු අරමුණින් යුතුව එකිනෙකා පරයමින් විවිධ ග‍්‍රහලෝක වල හැසිරීම් රටා සහ නැකැත් ශාස්ත‍්‍ර පිළිබඳ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ඔවුහු 2012 දෙසැම්බරයේදී අනිවාර්යයෙන්ම ලෝක විනාශය වන බවට අනාවැකි කිවූහ. පුවත්පතේ, රූපවාහිනියේ සහ ගුවන්විදුලියේ තම මතය ප‍්‍රකාශ කිරීම සඳහා ඉඩ වෙන්කැරගත් මේ විද්වතුන් ලෝක විනාශයක් සිදුනොවන බව පිළිගන්නට කැමැත්තක් දැක්වූයේ නැත. දෙසැම්බර් 21 ආසන්න වෙද්දී එයින් ඇතැම් පිරිසක් කියා සිටියේ ලෝක විනාශය දෙසැම්බර් 21 සිට දින තුන හතරක කාලයක් දක්වා වෙනස් විය හැකි බවයි. තවත් පිරිසක් පවසා සිටියේ ලෝක විනාශය සිදු නොවූව ද මුළු ලෝකයම කැළඹී යන ආකාරයේ ව්‍යසයක් සිදුවනු ඇතැයි ද ඔවුහු කීහ. ඇතැම් නක්ෂත‍්‍ර කරුවන් තාරකා විද්‍යාඥයන් ද උපුටා දක්වමින් පවසා සිටියේ දෙසැමබර් මස 21, 22 හා 23 යන දිනයන්හි හිරු, පෘතිවිය හා සඳු ක්ෂීරපථයේ මධ්‍යයේ එක එල්ලේ පිහිටන බැවින් දින ගණනක් ලෝකය අඳුරේ ගිලෙන බවයි. මේ මතය ප‍්‍රචාරය වීමත් සමගම නාසා ආයතනය එය අසත්‍යයක් බවත් සිදුවිය හැකි දෙයක් නොවන බවත් ප‍්‍රකාශ කිරීමත් සමගම එම මතය පිළිබඳ ජනතාවගේ තිබූ උනන්දුව අඩුවී ගියේය. ලෝකයේ වරින් වර ස්වභාවික ව්‍යසන සිදුවීම අරුමයක් නොවේ. එක් තැනක භූමි කම්පාවක් සිදුවේ. තවත් තැනක කුණාටුවකි. ගිනි කන්දක් හදිසියේ පුපුරා යාමට ඉඩ තිබේ. මේ ආකාරයෙන් ස්වභාවික ව්‍යසනයන් සිදුවන වේලාවක් හෝ සිදුවන ස්ථානයක් පිළිබඳ හෝ අනාවැකි කීමමට කිසිවෙකුටත් හැකියාවක් නැත. පසුගිය ද ශී‍්‍ර ලංකාවට වැටුණු රතු වැස්ස 2001 කේරළයටත් වැටිණි. ඊට පෙරාතුව ලොව බොහෝ රටවලින් මේ ආකාරයේ රතු වැසි වාර්තා වී තිබුණ ද එය නොදත් ශී‍්‍ර ලාංකිකයෝ පවසන්නේ රතු වැස්ස ලෝක විනාශයේ පෙරනිමිත්තක් බවයි. එහි කිසිදු සත්‍යතාවක් නැත. පසුගිය සතියේ ශී‍්‍ර ලංකාව පුරා දිස්ති‍්‍රක්ක ගණනාවවක් විශාල ගංවතුර තත්ත්වයක් දක්නට ලැබීමත් එයින් මිනිස් ජීවිත 20 ට අධික ප‍්‍රමාණයක් විනාශ වීමත් ලෝක විනාශය සිදුවන බවට පෙරනිමත්තකැයි බොහෝ දෙනකුගේ මතය වී තිබිණි. ලෝක විනාශ දිනය ලංවීමත් සමගම ශී‍්‍ර ලංකාවේ තැන තැන අද්භූත එළි දිස්වීම ද කෙළින්ම සම්බන්ධ වූයේ ලෝක විනාශ පුවතටයි. නමුත් එහි විද්‍යාත්මක සත්‍ය අසත්‍යතාව පිළිබඳ කිසිවෙකුත් පර්යේෂණ පවත්වා නැත. මනෝ වෛද්‍ය විශෙෂඥ ඞී.වී.ජේ.හරිස්චන්ද්‍ර මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය. ‘‘ ලෝක විනාශයක් වනවා කියා හැමතැනම ගෙන යන ප‍්‍රචාරයන් නිසා සාමාන්‍ය ජනතාව එහි ගොදුරක් බවට පත්වී එක්තරා මානසික පීඩනයකින් පෙළෙනවා. මෙය අපි මායා රෝගය ලෙස හඳුන්වනවා. මායා වරුන්ගේ කැලැන්ඩරය නිසා මායා රෝගයට පත්වූ මේ ජනතාව ලෝක විනාශය විශ්වාස කරමින් එයට දැඩි භියක් දක්වනවා. එය භ‍්‍රාන්ති තත්ත්වයක්. වෙනදා නොදකින එළි පෙනෙන්නේත් මේ මානසිකත්වයේ ප‍්‍රතිඵලයක් වශයෙන්. මෙය සෝචනීය තත්ත්වයක්. ලෝකය විනාශ නොවේ යැයි ස්ථිරවම කිව නොහැකියි. නමුත් දෙසැම්බර් 21 ලෝකය විනාශ නොවන බවනම් ස්ථිරයි. ’’ පෘතිවිය බිහිවී ගතවූ කාලයේදී අවස්ථා 60 දී පමණ පෘථිවියට අභ්‍යවකාශයෙන් දැවැන්ත ප‍්‍රහාර එල්ල වූ බවත් පස් වතාවකදී පෘථිවිය විනාශ වී ගිය බවත් වත්මන් විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. වසර කෝටි 450 ට පමණ පෙරාතුව පෘථිවිය බිහිවූ බවත් එහි ප‍්‍රථම ජීවී ආකාර ඇතිවූයේ වර්ෂ කෝටි 350 ට පමණ පෙරාතුව බවත් විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. එහි පළමු විනාශය සිදුවී ඇත්තේ අදින් වසර කෝටි 44 ට පමණ පෙරාතුව බව පෘථිවියේ පොසිල හා පාෂාණ සැකැස්ම පරීක්ෂා කිරීමේදී පෙනී යයි. පේලියෝසොයික යුගයේ ඕඩෝවිසීය අවධියේ මුහුදු දියේ ජීවත් වූ ජීවීන් අතරින් අති විශාල ප‍්‍රමාණයක් මිහිතලයෙන් තුරන් කළ මෙම වඳ වීම පෘථිවිය මත සිදුවූ ලෝක විනාශ අතරින් තුන්වැනි ස්ථානය ගන්නා බව විද්‍යාඥයන්ගේ මතයි. මහපොළොවේ දෙවැනි විනාශය සිදුව ඇත්තේ අදින් වසර කෝටි 37 ට පෙරාතුව පේලියෝසොයික යුගයේම ඩෙවෝනීය අවධියේ සිදුව ඇත. මේ විනාශයත් සමග සාගරයේ විසූ මත්ස්‍ය විශේෂ සදහටම තුරන්ව ගොස් තිබේ. නැවත ලෝක විනාශයක් සිදුව ඇත්තේ අදින් වසර මිලියන 25 ට පෙරාතුව පේලියෝසොයික යුගයේ පර්මියන් අවදියේදීය. පෘථිවි පෘෂ්ඨය මත සිදුවූ අති දැවැන්තම විනාශය වූ මෙහිදී මෙළොව සිටි ජීවීන් අතරින් සියයට 96 ට වැඩි ප‍්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අතුරුදන්ව ගිය බව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. පරිනාමය පිළිබඳ පර්යේෂකයන් පවසන්නේ එදා සිදුවූ විනාශයෙන් පසු ඉතිරිවූ ජීවීන් සියයට හතරක ප‍්‍රමාණයෙන් වර්තමානයේ සිටින ජීවීන් පරිනාමය වී ඇති බවයි. අදින් වසර කෝටි 21 ට පෙර තවත් මහා විනාශයක් මිහිතලය මත සිදුව ඇති බවට සාධක තිබේ. ඒ මිසොසොයික යුගයේ ට‍්‍රයාසික් අවදියයි. ඒ වනවිට මිහිතලය මත පරිනාමය වී සිටි කිරිබී වැඩෙන සතුන් සහ අපෘෂ්ඨවංශික සතුන් ද විශාල ප‍්‍රමාණයක් මිහිතලයෙන් සමුගෙන තිබේ. මේ දක්වා සිදුවූ අවසාන මහා විනාශය සහ වැඩිම කතාබහට ලක්වූ ලෝක විනාශය සිදුව ඇත්තේ අදින් වසර කෝටි හයහමාරකට පෙරාතුව බව පුරා පාරිසරික විද්‍යාඥයෝ පෙන්වාදෙති. ඒ කි‍්‍රටේසීය අවධියයි. ඒ වනවිට මිහිතලයේ අණසක පතුරුවාගෙන සිටි ඩයිනෝසරයන් ද උරග විශේෂ ද සාගරයේ ජීවත් වූ අපෘෂ්ඨවංශීන් අඩක් පමණ ද මේ විනාශයත් සමග විනාශ වී ගියේය. කවුරුන් කොසේ කීවද මිනිසාගේ පරිනාමය හේතුවූයේ මේ ලෝක විනාශයයි. එදා පස්වැනි වතාවටත් ලෝකය විනාශ වී නොගියේනම් තවමත් මිහිමත රජකරනු ඇත්තේ ඩයිනෝසරයන්ගේ නූතන විශේෂ විය යුතුයු. අද දක්නට ලැබෙනවාට වඩා ප‍්‍රමාණයෙන් විහාල බොහෝ සතුන් තවමත් මිහිතලය මත සිටිනු ඇත. ප‍්‍රයිමේටාවන් පරිනාමය වී වානර විශේෂ ඇති නොවනු ඇත. මෙතරම් තාක්ෂණයකින් යුතු පෘථිවි ගෝලයක් බිහි නොවනු ඇත. ලෝක විනාශය විසින් මිනිසාට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ලද බව අප තේරුම්ගත යුතුය. අනාගතයේදී සිදුවන ලෝක විනාශයකදී මිනිසා මිහිතලයෙන් වඳවී ගියහොත් එය තවත් සත්ත්ව විශේෂයක ඉස්මතුවීමකට හේතුකාරක වනු ඇත. ලෝක විනාශයක් සිදුවීමට ඇති පහසුම මාර්ගයවන්නේ ඇස්ටරොයිඩයක් පෘතිවියේ ගැටීමයි. දිනපතාම ලොකු කුඩා ප‍්‍රමාණයේ ඇස්ටරොයිඩ හා විවිධ පාෂාණ කැබලි පෘථිවිය වෙත ඇදී ආව ද ලෝකයේ ජීවීන්ගේ පැවැත්මට සුළු වශයෙන් හෝ බලපෑමක් කල හැකි එවැනි ආගන්තුක වස්තුවක් පෘථිවියේ ගැටීමට කිසිදු ඉඩක් නැති බව තාරකා විද්‍යාඥයෝ පවසති. ඔවුන් පෙන්වාදෙන්නේ ඉදිරි සියවසේ දී එවැනි ගැටුමකට ඇති ඉඩ මිලියයකින් එකකට ත් අඩු බවයි. තවත් පිරිසකගේ මතය වන්නේ පෘථිවියේ උතුරු හා දකුණු චුම්භක ක්ෂේත‍්‍ර දිශාව මාරුවීමෙන් ලෝක විනාශය වන බවයි. පෘථිවියේ චුම්බක ක්ෂේත‍්‍රය එහි ධ‍්‍රැව පරිවර්තනය වීම සාමාන්‍යයෙන් සිදුවී ඇති හා සිදුවීමට ඉඩ ඇති දෙයකි. නමුත් මෙය සිදුවන්නේ වසර ලක්ෂ දෙකකට හෝ තුනකට පමණ වරක් බව පර්යේෂකයෝ තහවුරු කැරගෙන ඇත. මෙවැනි අවස්ථාවකදී පක්ෂීන් ඇතුළු සතුන්ට සිය පර්යටනයේදී මාර්ග සොයා ගැනිමට අපහසු වන බව සොයාගෙන ඇතත් සමස්ථ පෘථිවියට ඇතිවන බලපෑම ගැන පූර්ව නිගමනයකට එළැඹීමේ හැකියාවක් නැත. කෙසේ වෙතත් මින් ඉහත සිදුවූ ඒ ආකාර ධ‍්‍රැව මාරුවීම් වලදී පෘතිවියේ සිටි ජීවීන් වඳවී ගිය බවට කිසිදු සාක්ෂියක් නැත. ලෝකය විනාශයට ඉවහල් වනු ඇතැයි පවසන තවත් සාධකයක් වන්නේ සුපිරි යමහල් කි‍්‍රයාකාරීත්වයයි. අති දැවැන්ත යමහලක් කි‍්‍රයාකාරී වීමෙන් සමස්ථ මහද්වීපයක්ම විනාශ වී යන බව පවසන ඇමරිකාවේ භූ ගර්භ විද්‍යාඥ එෆ්.එම්.බයර්ස් පවසන්නේ ඇරමරිකාවට එවැනි ඉරණමකට අතීතියේ මුහුණ දී ඇති බවට ඕනෑතරම් සාධක පවතින බවකි. විශ්වයේ යම් තැනක ඇතිවන පිපිරුමකින් පිටවන කිරණ මගින් ලෝකය විනාශ වීමට ඉඩ ඇතැයි යන්න විද්‍යාඥයන් පවසන තවත් එක් මාර්ගයකි. එහෙත් මෙවැනි පිපිරුමක් සිදුවන ග‍්‍රහ වස්තුවක් පෘතිවිය අසළකවත් නොමැත. ලෝකය විනාශ වී යා හැකි තවත් ක‍්‍රමයක් වන්නේ සූර්යයාගේ අවසානයත් සමගම සිදුවන මහා පිපිරීමකි. සූර්යයාගේ පැවැත්ම අවසන් වනවිට එය ප‍්‍රසාරණය වී ඉදිමෙන්නට පටන් ගන්නා බව තාරකා විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. ඉන් පසුව එය පෘතිවියට වඩාත් ආසන්නවේ. සූර්යයාගේ බලපෑමෙන් වැළකීගත නොහැකි පෘතිවියේ පාෂාණ කොටස් පවා වාෂ්ප බවට පත්වී විනාශ වී යනු ඇත. මේ ආකාරයට විනාශ වූ වෙනත් තාරකා සහ ඒ අසළ පිහිටි ග‍්‍රහලෝක නාසා ආයතනය විසින් නීරීක්ෂණය කැර තිබේ. එවැනි විනාශයක් සිදුවුවහොත් නම් යළි කිසි දිනක පෘථිවිය මත කිසිදු ආකාරයක ජීවයක් හටනොගනු ඇත. ග‍්‍රහකයක් ගැටීමෙන් ඇතිවන විශාල උදම් රළ සහිත සුනාමියකින් හෝ මුහුදු පත්ලේ සිදුවන අති ප‍්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් ඇතිවන සුනාමි තත්ත්වයක් හේතුවෙන් ලෝකයේ විශාල ප‍්‍රදේශයක් වැනසී යනු ඇතැයි යන්න තවත් විශ්වාසයකි. පිටසක්වල ජීවීන් පිළිබඳ දැඩි විශ්වාසයකින් පසුවන ඇතැම් පිරිස් පෙන්වාදෙන්නේ අනාගතයේ දී වඩාත් දියුණු පිටසක්වල ජීවීන් පැමිණ පෘථිවියේ ජීවය වනසා සිය අණසක මෙහි පතුරවනු ඇති බවයි. එමෙන්ම පිටසක්වල සිට වලාගාතරු හෝ ග‍්‍රහක කැබලි ඔස්සේ පෘථිවියට ඇතුළුවන ක්ෂුද්‍රජීවීන් විසින් පෘථිවි ජීවීන්ට විවිධ ලෙඩ රෝග බෝ කරනු ඇතැයි පැවසෙන තවත් මතයක් තිබේ. ලොව පුරා තාරකා විද්‍යාඥයන් සහ නාසා ආයතනය පවසන්නේ මේ කවර ආකාරයකින් හෝ ඕනෑම මොහොතක පෘතිවිය විනාශ වී යා හැකි වුව ද ඉදිරි සියවසේ දී එවැනි ලෝක විනාශයක් නොවනු ඇති බවයි. ලෝක විනාශයක් සිදුවේයැයි අනාවැකි කියූ බොහෝ දෙනකු ඉදිරි දිනවලදී කවරක් කියනු ඇත් ද යන්න ගැන අටුවා ටීකා ලිවීමට අවැසි නැත. නමුත් ලොවක් කැළඹූ ඔවුන් ඉදිරියේදී ද ඒ ආකාරයෙන්ම මිත්‍යා මත ගෙනහැර දැකවමින් ලෝකය කළඹනු නැතැයි කාටනම් කිව හැකි ද ? කියන්නා කෙසේ කීව ද අසන්නා සිහි බුද්ධියෙන් යුතුව ඇසිය යුතු බව අපි අවසන් වශයෙන් සටහන් කරන්නෙමු. නමුත් එදා පටන් අද දක්වා ගතවූ කාලයේ අවස්ථා 60 දී පමණ පෘථිවියට අභ්‍යාවාකාශයෙන් දැවැන්ත ප‍්‍රහාර එල්ලවූ බව ද විද්‍යාඥයෝ පවසති. 2012 දෙසැම්බර් 21 වැනි දින විශාල ග‍්‍රහකයක් පෘථිවිය හා ගැටීමෙන් ලෝකය විනාශවන බවට පැතිර ඇති කතාවේ සත්‍යතාවක් නැතත් එවැනි ගැටීම් සිදුවූ අවස්ථා ගණනාවක් අතීතයේ වාර්තා වී තිබේ. ඒ අතරින් කුඩාම ගැටීමේ දී පවා පොළොව පමත කිලෝ මීටර 95 ක් පමණ පුළුල් වූ ආවාටයක් ඇතිවූවේයැයි නූතන විද්‍යාඥයෝ පවසති. එය අධි බලැති පුරුරණ ද්‍රව්‍ය මෙගාටොන් කෝටියක් පුපුරවා දැමීමකට සමාන ගැටීමකි. එවැනි ගැටීම් හේතුවෙන් පෘථිවිය මත දැඩි බලපෑමක් සිදුවන්නට ඇති බවට සැකයක් නැත. පුරා පාරිසරික විද්‍යාව අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන්නේ පෘථිවියට විශ්වයෙන් එල්ලවූ ග‍්‍රහක ප‍්‍රහාර හේතුවෙන් සිදුවූ විනාශයන් පහක් පිළිබඳ පොසිල වාර්තා සාක්ෂි දරන බවයි. මේ පොසිල පරීක්ෂා කිරීමේදී එම ගැටුම් හේතුවෙන් පෘථිවියේ විසූ ජීවීන්ගෙන් හරි අඩකට වඩා විනාශවී ගොස් තිබේ. අදින් වසර කෝටි 25 ට පෙර පැවති පර්මියන් යුගයේ අවසානය සිදුවූයේ ග‍්‍රහකයක් පෘතිවිය හා ගැටීමෙන් බව පාෂාණමය සාක්ෂි අනුව තහවුරු කැරගත හැකිවී තිබේ. එම ගැටීමේදී පෘථිවියේ සිටි ජීවීන්ගෙන් සියයට 90 ක් පමණ විනෘශ වී ගොස් ඇත. වසර කෝටි හයහමාරකට පමණ පෙරාතුව ඩයිනෝසරයන් මිහිමතින් තුරන් කිරීමට හේතුවූයේ ද එවැනිම තවත් ග‍්‍රහක ගැටීමක් බව දැන් තහවුරු කැරගෙන තිබේ. මේ සාධක මතුකැර ගත හැක්කේ පෘථිවිය මත දක්නට ලැබෙන ආවාට, පිපිරීම් වලින් විසිරීගොස් ඇති සුන් බුන් සහ පිපිරීගිය පාෂාණ ආදියෙනි. මේ භෞතික සාධක බොහොමයක් ඝන පාෂාණ තට්ටු මත වැළලී ගොසිනි. පිපිරීම් වලින් උණු වී ගිය හා බිඳී ගිය ඛණිජ ස්ඵටික ද මෙවැනි පර්යේෂණ වලදී වැදගත් සාක්ෂියකි. පිපිරීමේදී ආගන්තුක ග‍්‍රහකය සමග පැමිණෙන පෘථිවියේ දක්නට නොමැති වෙනත් සංඝඨක ද එවැනි පිපිරීමක් පිළිබඳ අධ්‍යනයේදී වැදගත් සාක්ෂියකි. මෙවැනි පිපිරීම් පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන්නේ පිපිරීමෙන් ඇතිවූ ආවාට සහ අවසාදිත තට්ටු අභ්‍යන්තරයේ කාබන් අණු සමග රැදුණු ඈත විශ්වයෙන් පැමිණි වායු වර්ග තවමත් දක්නට ලැබෙන බවයි. පුරා පාරිසරික විද්‍යාව විෂය වඩාත් දියුණු වීමත් සමගම ඒ පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන්නේ පෘථිවිය මත වෘක්ෂලතාදිය විනාශ වූ අවස්ථා පිළිබඳ ඇති සාධක වලට සමගාමීව පරිසර පද්ධති සියල්ලේම දැඩි කැළඹීමක් පිළිබඳ සාධක මෙන්ම සාගරයේ ජීව නිෂ්පාදන වල ක්ෂණික පහළ බැසීමක් පිළිබඳව ද සාක්ෂි දක්නට ලැබෙන බවයි. ග‍්‍රහකයක් ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන්නේ ගල් කැබලි නැතහොත් ග‍්‍රහලෝක කැබලිය. අගහරු සහ බ‍්‍රහස්පති එවැනි ග‍්‍රහක රැුසක් පිහිටා තිබේ. මේවා වළල්ලක ආකාරයෙන් සූර්යයා වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරමින් තිබේ. ග‍්‍රහක ලක්ෂ දෙකක් පමණ දැනට සොයාගෙන ඇත. මෙවැනි ග‍්‍රහක බිලියනයක් පමණ සෞරග‍්‍රහ මණ්ඩලයේ පවතින බව විද්‍යාඥයන්ගේ මතයයි. 1996 දී නාසා ආයතනය විසින් අභ්‍යාවකාශ ගත කරන ලද ෂූමාර්කර් යානය 1997 දී මැතිල්ඞ් නම් ග‍්‍රහකයට කිලෝ මීටර 1212 ක් ආසන්නයෙන් ගමන් කර ඉන් පසු 2001 වර්ෂයේදී ඊරෝස් නම් ග‍්‍රහකයට ගොඩබැස්සේය. ග‍්‍රහක පටියේ ඇති ග‍්‍රහක වලට අමතරව සෞර ග‍්‍රහ මණ්ඩලයේත් විශ්වයේ වෙනත් ස්ථාන වලත් වරින් වර ග‍්‍රහක නිර්මාණය කරන්නේ වලාගතරු විසිනි. වල්ගාතරුවක් ගමන් ගන්නා අවස්ථාවේදී එහි වලිගයේ සිසිල් කොටස් වල්ගාතරුවෙන් වෙන් වී එම මාර්ගයේ අවශේෂ ලෙස ඒකරාශී වේ. ඒවා ග‍්‍රහක ලෙස ගමන් කරමින් තිබේ. ග‍්‍රහක පටියෙන් ගිලිහී ගිය ග‍්‍රහක කිහිපයක් ස්වාධීනව පෘථිවියට ආසන්නව සූර්යයා වටා පරිභ‍්‍රමණය වේ. එයින් ඇතැම් ඒවා පෘථිවි කක්ෂය හරහා ද ගමන් කරයි. මේ ආකාරයේ විශ්වයේ සැරිසරන ග‍්‍රහක, උල්කා හෝ වල්ගාතරු පෘතිවි ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වන ආකාරයෙන් ගැටේ ද යන්න පිලිබඳ තාරකා විද්‍යාඥයෝ නිරන්තරව අවධානය යොමුකැර සිටිති. අප ආසන්නයෙන් ගමන් කරන ග‍්‍රහකයක් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ එය පෘථිවිය පසුකැර යාමට දින හතරකට පමණ පෙරාතුවය. සාමාන්‍ය ගණනය කිරීම් අනුව කිලෝ මිටරයක පමණ විශ්කම්භයක් ඇති ග‍්‍රහකයක් පෘථිවිය හා ගැටුණහොත් ලෝක විනාශයක් විය හැකියැයි මතයක් තිබේ. එවැනි ග‍්‍රහකයක් පෘථිවියට පැමිණෙන්නේ නම් කළ හැකි විනාශයෙන් වැළකී සිටීමට ගත හැකි කි‍්‍රයාමාර්ගය වන්නේ අදාල ග‍්‍රහකය වෙත හැකිතරම් වේගයෙන් යානයක් යවා ඒ මත ප‍්‍රබල න්‍යෂ්ඨික අවි පිපිරිමක් සිදුකිරීම බව විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. එමගින් ග‍්‍රහකයේ ගමන් මග වෙනස් කළ හැකිය යන මතයේ ඔවුහු සිටිති. දැනට හඳුනාගෙන ඇති ග‍්‍රහක අතරින් 2004 එම්.එන්.4 ලෙස නම්කැරුණු ග‍්‍රහකයක් 2029 වර්ෂයේ අප්‍රේල් මාසයේදී පෘථිවියට කිලෝ මීටර 36,200 ක් පමණ දුරින් ඇදී යනු ඇතැයි නාසා ආයතනය පවසයි. මීටර 320 ක් විශාලත්වයෙන් යුතු මෙම ග‍්‍රහකය පෘථිවියේ සිට පියවි ඇසින් දකින්නට හැකි වීම ද විශේෂත්වයකි.



අදහස් (0)

මිහිකත නැති වෙන දිනය ගැන අනාවැකි බෑ

සිසිර Friday, 21 December 2012 06:09 PM

මෙයට හේතුව සිංහල අපේ ගණිතය අපි නොදැනීමයි.. මෙවන් දින අපි ‍හැදින් වූයේ විශ්නු පාදය දින හැටියටයි... විශ්වයේ දින නමින්ද දින තිබේ.. පැරණි ගණිත දන්න අපට මේ දින ගණිතමය වශයෙන් වැදගත් වූවා පමණයි..!(නු)

:       0       0

ලක්ෂාන් Tuesday, 25 December 2012 09:09 PM

මිහිකත වැනසෙන්නෙ නැහැ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 537 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 652 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 365 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 255 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1062 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 900 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site