(සුජිත් හේවාජුලිගේ)

වසර 2යි රටට සුබයි කිව්වට මුළු කොළඹටම ගැලූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනයේ පැවති සමගි තරුණ බල මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජනාධිපතිවරයා නව වැව් ඉදිකරන බව පැවසුවද, ඊයේ ඇති වූ වර්ෂාවත් සමඟ මුළු කොළඹ නගරයම ජලාශයක් බවට පත්වූ බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කොළඹ නගර සභාවේ බලය ගෙන මාස හයක් ඇතුළත මුළු කොළඹම බබළවන බවට පොරොන්දු වූවත්, නගරයේ කාණු පද්ධති පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම නිසි ලෙස සිදුකර නොමැති බව හෙළි වූ බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරියට, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනාට සහ නගරාධිපතිනියට පමණක් පුනරුදය ලැබී ඇති නමුත් ජනතාවට එය හිමි වී නොමැති බවත්, සුරපුරයක් නිර්මාණය කරන බව පවසා බලයට පැමිණි ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් එක් වැස්සකින් ජන ජීවිත රැසක් විනාශ වූ බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

කොළඹ නගරයේ කාණු පද්ධති පිළිසකර කර ගංවතුර කළමනාකරණ වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබුණත්, ආණ්ඩුව එය සිදුකර නොමැති බව සජිත් ප්‍රේමදාස කීය.