සෞදි අරාබියේ රැඳවුම් කඳවුරක සිටිය දී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
රියාද් හි පිහිටි ඔලෙයියා කාන්තා සුබසාධන රැඳවුම් මධ්‍යස්ථානයේ සිටිය දී මියගිය ලාංකික තරුණිය සුබ්‍රමනියම් පලනියණ්ඩි කට්බගවල්ලි ලෙස හදුනාගෙන ඇති අතර ඇය ගෘහ සේවිකාවක් වශයෙන් එරට සේවය කරමින් සිට ඇත. ඇය මස්කෙළිය, සාමිමිලේ ප්‍රදේශයේ පදිංචිකාරියක වේ.
මෙම තරුණියගේ මියයාම සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් මේ වනවිටත් රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගොස් තිබෙන බවද තානාපති කාර්යාලය කියයි.
එම කාන්තාව ගෘහ සේවය සඳහා සෞදි අරාබියට පිටත්ව ගොස් ඇත්තේ ඉකුත් වසරේ ඔක්තෝම්බර් 8 වැනිදා වන අතර නොවැම්බර් පළමු වෙනිදා සුබසාධන මධ්‍යස්ථානයේ දී ඇය මියගිය බව වාර්තා විය. මුල් සේවා ස්ථානයෙන් ඉවත්ව වෙනත් නිවසක රැකියාවට ගිය ද එම නිවැසියන් නිතර පහර දෙමින්, ගිනියම් යකඩ කූරුවලින් තමාව පුළුස්සන බවද එහි රැකියාව කළ නොහැකි බවද ඇය පවුලේ ඥාතීන් වෙත මීට පෙර දන්වා ඇත. මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මෘත දේහය මේ වනවිට එරට රෝහලක තැන්පත් කර තිබෙන අතර එය කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇයගේ ඥාතීන් ඉල්ලීමක් කරයි.
ගෘහසේවය ඇතුළු විවිධ රැකියාවන් සඳහා සෞදි අරාබියාවට ගිය පසු රැකියා ස්ථානවල දී මුහුණදීමට සිදුවන විවිධ හිංසා හේතුවෙන් රැකියා ස්ථානවලින් පළාගොස් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිට අපේක්ෂාවෙන් මෙම රැඳවුම් කඳවුර වෙත යොමුකරන අතර මේ වනවිට අදාළ කඳවුරේ ශ්‍රී ලාංකික කාන්තාවන් 80ක් පමණ රැඳී සිටින බවද ඔවුන් නිදහස් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය "රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පරීක්ෂණයක්" කළාම මියගිය කතට හිතන්න බැරිතරම් විශාල වන්දි මුදලකුත් ලැබෙයි. අනේ වාසනාවන්! (නි)
කීයක්හරි හම්බ කරගෙන ලංකාවේ ඉන්න පවුලේ උදවිය යහතින් තියන්න ගිය අයට වෙන දෙයක්!! ලංකාවේ සිට කාලා බිලා ජීවත්වෙන්න ඇත්තටම අමාරුද? ඇයි මෙහෙම ලංකාවේ මානව සම්පත විදේශයකට බැලමෙහෙවර කරන තත්වයකට වැටිලා තියෙන්නේ? මූනිච්චාවට මහා ලොකුවට කියනවා ලංකාවේ ගණිකා සේවය නීතිවිරෝධියි කියලා. පුද්ගලයෙක් හැටියට බැලුවම එහෙම වෙන්න පුළුවන්. රටක් හැටියට බැලුවම කාන්තාවන් රොත්ත පිටින් විදේශයට විකුණනවා වගෙයි මට නම් පෙනෙන්නේ. ලංකාව අනන්‍යතාව ඔය විදියට විකුණන්න එපා. (නි)