රාජකීය පණ්ඩිත සිරි තිලකසිරි වයස අවුරුදු අනූඑකක් ආයු වළඳා තම දිවිසැරිය අවසන් කළේ පසුගිය 10 වැනිදාය. ඔහු සිංහල භාෂාව සහ සම්භාව්‍ය සාහිත්‍යය පොහොසත් කළ විශිෂ්ට ශාස්ත්‍රවන්තයෙකි.

විශේෂයෙන් සම්භාව්‍ය සාහිත්‍යය නව පරම්පරාවට තම කෘති මගින් සරලව ඉගැන්වූ පඬිවරයෙකි. ගුත්තිල කාව්‍ය, ගිරා සංදේශය, මයුර සංදේශය, පරවි සංදේශය, හංස සංදේශය ආදී සම්භාව්‍ය කෘති සංස්කරණයෙන් ඔහු ශාස්ත්‍රීය ලෝකයට දුන් අලෝකය කිසිදා නොනිමෙනු ඇත. සිරි තිලකසිරි සූරීන් පිළිබඳ මේ සටහන ඔහු සුජීවත්ව සිටි සමයේ ළඟින් ඇසුරු කළ සාහිත්‍යවේදී කරුණාරත්න අමරසිංහයන්ගේ මතක ඇසුරින් සැකසුණකි.

සිරි තිලකසිරි සූරීන් මාගේ කුලුපග මිතුරාය. කුල යනු පවුලයි. උපග යනු සමීප බවයි. ඉදින් කුලුපග යනු පවුලේ මිත්‍රයා යන්නයි. සිරි මාගේ පවුලේ මිතුරෙකි. ඔහු ලියූ පොතපතින් මා ඔහු දැන සිටියද භෞතිකව හමුවූයේ ජාතික රූපවාහිනියේදීය. ඒ අනූව දශකයේ ජාතික රූපවාහිනියේ විකාශනය වූ සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ වැඩසටහන නිසාය. එම වැඩසටහනට මා හට ආරාධනා කළේ එය නිෂ්පාදනය කළ ප්‍රේමනායක මහතාය. සැබැවින්ම එම වැඩසටහනට සම්බන්ධවීම මා ජීවිතයේ ලද භාග්‍යයකි. ඒ හොරණ වජිරඥාන හිමියන් සමග සිරි තිලකසිරි සූරීන්ද එම වැඩසටහනට සම්බන්ධ වී සිටි නිසාය. සිරි තිලකසිරි නම් පඬිරුවන සහ මා අතර වූ කුලුපග මිතුදම ආරම්භ වූයේ එදවසය.

එතැන් සිට සිරි තිලකසිරි සූරිනගේ ඇසුර මා හට ඥාන සාගරයක් හිමිවීමක් බඳු විය. මම අද යම් ශාස්ත්‍රීය ලේඛනයක, කටයුත්තක නියැළෙන්නේ නම් එහි විශාල උරුමයක් සිරි තිලකසිරි සූරීනට හිමිය. පාලි, සංස්කෘත පිළිබඳ මා හට පැනනැගෙන ඕනෑම ගැටලුවක් විසඳා ගත්තේ ඔහු හමුවීමෙනි. එපමණක් නොව සුචරිත ගම්ලතුන්ද ඔහුට භාෂාව පිළිබඳ යම් ගැටලුවක් මතුවූ අවස්ථාවන්හි එය විසඳාගත්තේ සිරි තිලකසිරි හමුවීමෙනි. සැම දෙනාටම පඬිවරයෙක් යැයි කිව නොහැක. එහෙත් සිරි තිලකසිරි යනු වචනයේ පරිසමාප්ථයෙන්ම පඬිවරයෙකි. ඔහුගේ දැනුමේ කිසිදු අඩුවක් නොවිණි.

සිරි තිලකසිරි පිළිබඳ මාගේ මතක බොහොමයකි. වරක් සිරි තිලකසිරි, මුනිදාස සෙනරත් යාපා, සුචරිත ගම්ලත් සහ මා එක පෙරමුණක් ලෙසින් ජේ. බී. දිසානායක සමග පුවත්පත් වාදයකට පැටලුනෙමු. ඒ භාෂාවට ව්‍යාකරණයක් අවැසි නොවන බවට වූ ජේ. බී. මතයකට එරෙහිවය. එය එකල මෙරට ශාස්ත්‍ර ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ වාදයක් විය. ‘සිළුමිණ’ පුවත්පතින් අපි වාද කළ ද පෞද්ගලිකව හොඳ මිත්‍රයෝ වීමු. ජේ. බී. සහ අප අතර තිබුණේ මත ගැටුමක් පමණි. අපගේ මතය වෙනුවෙන් අපි සකාධකව සහ සකාරණව නැතිනම් සාධක හේතු විත්ති සහිතව වාද කළෙමු. නිර්දය ලෙස වාද කළෙමු. එවැනි ශාස්ත්‍රීය වාද අද නොමැතිවීම කනගාටුවට කරුණකි.

සිරි තිලකසිරි තම දැනුම අංශ දෙකකින් සමාජයට බෙදාහැරි විද්වතෙකි. පළමුව ඔහු එය කළේ ගුරුවරයෙක් ලෙසිනි. ඔහු පිරිවෙන් ගුරුවරයෙකි. පළමුව නුගේගොඩ සුභද්‍රාරාමයේ සහ පසුව පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙනේ බාහිර උපාධි සඳහා ඉගැන්වූ ගුරුවරයෙක් ලෙසින් කටයුතු කළේය. මහාචාර්ය සුනිල් ආරියරත්නද සිරි තිලකසිරිගෙන් සුභද්‍රාරාමයේ ඉගෙනගත් සිසුවෙකි. ඔහු තම ශාස්ත්‍ර ඥානය නොමසුරුව ප්‍රදානය කළ වැදගත් අංශය වන්නේ ඔහු ලියූ ග්‍රන්ථය. විශේෂයෙන් සංදේශ කාව්‍ය සංස්කරණයේදී ඔහු කළ මෙහෙවර වෙනත් කිසිදු පඬිවරයෙක් නොකළ එකකි. සිරි තිලකසිරිට පෙරද සංදේශ කාව්‍ය සංස්කරණයන් වූ අතර, ඒවා හුදු පදගතාන්ත සන්න විය.

කව්සිළුමිණ, සසදාවත, මුවදෙව්දාවත, තිසර සංදේශය, මයුර සංදේශය සහ කෝට්ටේ යුගයේ හංස සංදේශය, ගිරා සංදේශ, පරවි සංදේශය, පැරකුම්බා සිරිත, කුරුණෑගල යුගයට අයත් සඳකිඳුරුදාවත ඔහු සංස්කරණය කළ සම්භාව්‍ය කෘතිය. ඔහු තම සංස්කරණයන්හිදී සංදේශ කාව්‍යවල ඇති රසය උද්දීපනය වන අයුරින් විස්තර කරයි. මීට පෙර කළ සංදේශ කාව්‍ය සංස්කරණන්හි කවිය තේරුම්ගත්තද ඊට දී ඇති අරුත දුෂ්කර බන්ධනයකි. නමුත් සිරි තිලකසිරිගේ සංස්කරණයන් ආධුනිකයෙක්ට වුවද ගුරුවරයෙක් නොමැතිව තනිව තේරුගම්ත හැකිය. තනිව අධ්‍යයනය කළ හැකිය. ඒ සංස්කරණයන් එතරම් විශිෂ්ටය. ඔහුගේ සංදේශ කාව්‍ය සංස්කරණයන්හි ඇති විශේෂ දේ නම් ඔහු ඒ වෙනුවෙන් ලියන දීර්ඝ ප්‍රස්ථාවනාවයි. ඒ ප්‍රස්ථාවනාව ශාස්ත්‍ර සාගරයකි. උදාහරණයකට පැරකුම්බා සිරිත ගැන ලියන ප්‍රස්ථාවනාවේදී හමුවන කාව්‍යයන්හි වෙනත් කාව්‍යයන්ට ඇති සම්බන්ධකම් සංසන්දනය කරයි, තුලනය කරයි. ඒ වෙනුවෙන් දැඩි ශාස්ත්‍රීය වෙහෙසක් දරයි. අද විශ්වවිද්‍යාවල විද්‍යාර්ථීහු තම උපාධි නිබන්ධනවලට ඔහුගේ ප්‍රස්ථනාවන්හි ඇති කරුණු උපුටා ගනිමින් නිබන්ධන ලියති. ඒ එය තමන් සොයාගත් දෙයක් ලෙසිනි. ඒ ගෞරවය ඔවුහු සිරි තිලකසිරිට නොදෙති. එමෙන්ම ඔහු ත්‍රිපිටකය පිළිබඳ විශාරද දැනුමකින් හෙබි පඬිවරයෙකි. ඔහු බහුලව පරිශීලනය කළේ අටුවා සාහිත්‍යයයි. පාලි භාෂාව පිළිබඳ හසල දැනුමක් නැති නම් අටුවා පරිශීලනය කළ නොහැක. මාද සම්බන්ධ වූ කාණ්ඩ දහහතරකින් යුත් පන්සිය පනස් ජාතකය සරල භාෂාවෙන් ලිවීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන සංස්කාරක වූයේ වූයේ සිරි තිලකසිරිය. සිරිසුමන ගොඩගේ මහතා එයට මුදල් යෙදවූයේ අප කළ යෝජනාවක් අනුවය. ඔහු දෙදහස් හය වසරේ සිට දෙදහස් දහනවය දක්වා කාලය තුළ සිංහල ශබ්දකෝෂයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙක්ද විය. මේ සියල්ල කියනුයේ සිරි තිලකසිරි යනු මේ යුගයේ කෙතරම් උසස් පඬිවරයෙක් යන වගය. නිරුක්ති ශබ්ද කෝෂයක් ප්‍රකාශයට පත් කිරීමේ කටයුත්තකද අපි පසුගිය සමයේ නියැළී සිටියෙමු. නමුත් එය අවසන් කරගැනීමට නොහැකිවීම කනගාටුවට කරුණකි.

 

සිරි තිලකසිරි කෙතරම් ශාස්ත්‍රීය කෘති සම්පාදනය කළද නිර්මාණ සාහිත්‍ය අරබයා ඔහු ලියා ඇත්තේ එක් ග්‍රන්ථයක් පමණි. ‘නොනිදා දුටු සිහින’ නම් වූ එය නවකතාවකි. ගැඹුරු නවකතාවක් නොවූවද එය රමණීය භාෂාවකින් ලියැවුණ නවකතාවකි. අත්නොහැර නිර්මාණ සාහිත්‍යයේ නියැළුණා නම් ස්වතන්ත්‍ර නිර්මාණකරුවෙක් වීමේ උපනිශ්‍රයක් ඔහු තුළ තිබූ බවට එම නවකතාව මනා සාක්ෂ්‍යයකි.

සිරි තිලකසිරි රචනා කළ බොහෝ ග්‍රන්ථ ප්‍රකාශයට පත් කළේ ගොඩගේ පොත් මැදුරෙනි. ගොඩගේ මහතාට සිරි තිලකසිරි විශේෂ ලේඛකයෙකි. යම් කෘතියක් රචනා කර අවසන් වී මුද්‍රණය වීමට පෙර එම කෘතියට අදාළ සියලු මුදල් සිරි තිලකසිරිට දීමට ගොඩගේ මහතා නොමසුරු විය. එය වෙනත් ප්‍රකාශකයෙක් නොකරන දෙයකි.

පණ්ඩිතයන් කියූ සැණින් අපට සිහිපත් වනුයේ සිනහ නොවන, විහිළු තහළු නොකරන ගැඹුරු චරිත ලෙසිනි. නමුත් සිරි තිලකසිරි නම් පඬිවරයා ඉතා සොඳුරු විනෝදකාමී මිනිසෙකි.

සුචරිත ගම්ලතුන්, සිරි තිලකසිරි සහ මා එකතුව පළ කළ නව ව්‍යාකරණ ග්‍රන්ථය ඔහුගේ විනෝදකාමී බව සිහිපත් කරන ආස්වාදජනක මතකයකි. එම ග්‍රන්ථයේ මුල් පිටපත ලිවීමෙන් පසු එහි සංස්කරණයන් කිරීමට අපට අවශ්‍ය විය. ඒ කාර්යය නිස්කලංකව සිදුකළ යුතුවූ බැවින් ගම්ලතුන්ගේ යෝජනාවක් හා තෝරාගැනීමක් අනුව අපි ඒ සඳහා පොල්ගොල්ල ජලාශය අසල පිහිටි මහවැලි නිවාඩු නිකේතනයේ සතියක පමණ කාලයක් නැවතී සිටියෙමු. සිරිසුමන ගොඩගේ මහතාද එම ගමනට එක්විය. එය ඉතා වෙහෙසර ශාස්ත්‍රීය කටයුත්තක් විය. ඒ නිසා රාත්‍රි මධු සාද කිහිපයක් විය. ඒ සිරි තිලකසිරි නම් පඬිවරයා තුළ සැඟවී සිටින විනෝදකාමී කෙළිලොල් සරල මිනිසා මතුවූ රාත්‍රීන් කිහිපයකි. විස්කි, බ්‍රැන්ඩි පානය නොකරන බීර පමණක් පානය කරන තිලකසිරි සූරීන් එදා මධුවිත පානය කර අප ආස්වාදයට පත් කළ අයුරු, ඔහු නිසා ගම්ලතුන් සිනාසුනු අයුරු තවමත් මා හට මතකය.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනමන‘සාහිත්‍ය රත්න’ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ සිරි තිලකසිරි, සබරගමුව විශ්වවිද්‍යාලයෙන් පිරිනමන සාහිත්‍ය සූරී සම්මානයෙන් ද පිදුම් ලැබූවෙකි. එසේ වුවද ඔහු කිසි විටෙක ප්‍රතිරූප ගොඩනගාගැනීමේ ආසාවකින් පෙළුණු පඬිවරයකු නොවීය. මාධ්‍යයේ නිතර පෙනී සිටිමින් ජනප්‍රියවීමේ කිසිදු වුවමනාවක් ඔහුට නොතිබුණ ද, මාධ්‍යවේදීන් ඔහුගෙන් දැන උගත් දෑ බොහෝය. ඔහුගේ එකම අභිලාෂය වූයේ ශාස්ත්‍ර දානයම පමණි.

ඔහුගේ අභාවය මා කන වැකුණු සැනින් දැනුණේ මහා සාහිත්‍ය පාළුවකි. මා අනාථ වූ සෙයකි. මා නොදන්නා දෙයක් අසා දැනගැනීමට සිටි පඬිවරයා නැතිවිය. සැබවින්ම එය මට පමණක් නොව මෙරට ශාස්ත්‍රීය ලෝකයට සිදුවූ මහා සාහිත්‍ය පාළුවකි. විශේෂයෙන් සිරි තිලකසිරිගෙ ග්‍රන්ථවල ප්‍රස්ථාවනාවන් පිටපත් කරමින් උපාධි නිබන්ධ ලියූවන්ට මහත් පාඩුවකි.

මා මාගේ කුලුපග මිතුරාගේ සුවදුක් විමසීමට අවසන් වරට ඔහු වාසය කළ ඔහුගේ පුතුගේ නිවසට ගියේ මීට සති දෙකකට පමණ පෙරදීය. එදා ඔහු සිටියේ මඤ්චපරායනවය. ඇඳටම වැටී ඔත්පලවය. එහෙත් කල්පනාවේ අඩුවක් නොවීය. ‘කරූ... මං හිතන්නෙ මම තව සති දෙකක්වත් අල්ලන් ඉන්න එකක් නැහැ...” මා හා ඔහු අවසන් වරට පැවැසීය.