
කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකුවූ 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නමැති තරුණයා පොලිස් භාරයේ සිටියදී මියයාමේ සිද්ධියත් සමග ශ්‍රී ලංකා පොලිසිය නැවත වරක් දැඩි මහජන දෝෂදර්ශනයට ලක්ව තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ ලියන මොහොත වනවිට හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු ගේ වැඩතහනම් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබා දීමෙන් අනතුරුව විමර්ශන කටයුතු විශේෂිත අපරාධ විමර්ශන ඒකකයට පවරනු ලැබ තිබේ.
කෙසේ වෙතත් පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් සහ සිරකරුවන් පොලිස් ආරක්ෂාව යටතේ සිටිය දී බරපතළ වදබන්ධනයට ලක්වීම, ඝාතනයවීම සහ අභිරහස් ලෙස මියයාම ශ්‍රී ලංකා පොලිසියත් සමග දීර්ඝ කාලයක් තිස්සේ බැඳී පවතින ශෝචනීය ඛේදවාචකයකි. දශක ගණනාවක් පුරා දිවෙන මෙම අඳුරු ඉතිහාසය දෙස බැලීමේ දී පැහැදිලි වන්නේ, මේවා හුදකලා සිදුවීම් නොව පද්ධතියේ පවතින ගැඹුරු ව්‍යුහාත්මක බිඳවැටීම් හි දිගුකාලීන ප්‍රතිඵල බවයි.
දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන කෲර වධබන්ධනයට ලක්කිරීමෙන් පසු 1988 දී කොළඹ මහ රෝහලේ දී මියගිය මානව හිමිකම් නීතිඥ විජේදාස ලියනාරච්චි; පුද්ගල අනන්‍යතාව වරදවා වටහාගැනීම නිසා 2002 දී වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදුකරන ලදැයි කියැවෙන වධබන්ධන හේතුවෙන් උගුරේ හා වකුගඩු අක්‍රියතාවයෙන් පෙළී සිටිය දී අදාළ නිලධාරීන්ට එරෙහිව අධිකරණයේ සාක්ෂි දීමට මෙහොතකට පෙර 2004 දී ඝාතනය කරන ලද ජෙරල්ඩ් මර්වින් පෙරේරා; රැහැන් රහිත දුරකථනයක් සොරාගත් බවට චෝදනා ලබා පෑලියගොඩ පොලිසියේ දී කළ පහරදීම්වලින් 2005 දී මියගිය චන්ද්‍රික ශ්‍රියන්ත ද සිල්වා; 2009 දී අඟුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් භාරයේ සිටියදී පැහැරගෙන ගොස් පහරදී වෙඩි තබා ඝාතනය කරන ලද දිනේෂ් තරංග ප්‍රනාන්දු සහ ධනුෂ්ක උදයකාන්ත අපොන්සු; 2010 දී දොම්පේ පොලිස් භාරයේ සිටියදී මියගිය 18 හැවිරිදි ගයාන් රසාංග; දැඩි පොලිස් ආරක්ෂාව මැද “ආයුධ පෙන්වීමට” ගිය අවස්ථාවලදී වෙඩි තබා ඝාතනය කෙරුණු “මාකඳුරේ මධුෂ්”(2020) සහ“කොස්ගොඩ තාරක”(2021); 2023 දී යාපනය වඩ්ඩුක්කොඩෙයි පොලිසියේ දරුණු වධබන්ධන හමුවේ මියගිය 26 හැවිරිදි නගරාසා ඇලෙක්ස්; 2025 අප්‍රේල් මාසයේදී කොළඹ පොලිස් භාරයේදී මියගිය 26 හැවිරිදි සත්සර නිමේෂ්; සහ 2025 ඔක්තෝබර් මාසයේදී මන්නාරම පේසාලේ පොලිස් භාරයේ සිටියදී මියගිය 34 හැවිරිදි රාජේන්ද්‍රන් කපිලන් යන සිදුවීම් මෙම ලේ බරිත ඉතිහාසයේ අංශු මාත්‍ර සිදුවීම් කීපයක් පමණි.
පොලිස් අත් අඩංගුවේ දී සිදුවන බොහෝ මරණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවී, වගකිවයුත්තන් නිදොස් කොට නිදහස් වන සංස්කෘතියක් පැවතුණද - මෙවැනි ඝාතනවලට වගකිවයුතු පොලිස් නිලධාරීන්ට අධිකරණය විසින් තදබල දඬුවම් නියම කළ අවස්ථා ද ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ සටහන්ව ඇත. 2009 අඟුලාන ද්විත්ව ඝාතන නඩුවේදී අඟුලාන පොලිස් ස්ථානාධිපති නිව්ටන් ඇතුළු නිලධාරීන් හතරදෙනෙකුට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මරණ දඬුවම නියම කළ අතර, එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද සම්පූර්ණයෙන්ම තහවුරු කරන ලදී. 2005 දී සිදුවූ චන්ද්‍රික ශ්‍රියන්ත ද සිල්වාගේ මරණය සම්බන්ධයෙන් 2024 මාර්තු මාසයේ දී කොළඹ මහාධිකරණය විසින් උප පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට මරණ දඬුවම නියමකර වින්දිතයාගේ පවුලට වන්දි ගෙවන ලෙස නියෝග කළේය. 2014 බදුල්ල කන්දකැටිය පොලිසියේ දී 17 හැවිරිදි සඳුන් මාලිංග නමැති තරුණයා වධ දී ඝාතනය කිරීමේ නඩුවේ දී බදුල්ල මහාධිකරණය පොලිස් නිලධාරීන් හයදෙනෙකුට වසර 20 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 2002 ජෙරල්ඩ් පෙරේරා නඩුවේ දී වධහිංසාවලට එරෙහි සම්මුති (CAT) පනත යටතේ අදාළ නිලධාරීන්ට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය. 2008 දී සුගති නිශාන්ත ප්‍රනාන්දු නමැති වින්දිතයා තමාට සිදුවූ වධහිංසනයට එරෙහිව නඩුවක් පවත්වාගෙන යද්දී ඔහුව ඝාතනය කිරීමේ නඩුවේදී ප්‍රධාන සැකකාර පොලිස් නිලධාරීන්ට මහාධිකරණය මරණ දඬුවම නියම කෙරිණි.
කෙසේ නමුත් මෙවැනි කවර ආකාරයක අධිකරණ තීන්දු හෝ නිර්දේශ පැවතුණද, පොලිස් පද්ධතියේ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ තවමත් ඉබි ගමනේ ය. උසස් පොලිස් නිලධාරීන් පවා මෙවැනි අමානුෂික ක්‍රියා අනුමත කරන බවට හෝ ඊට සෘජුවම සම්බන්ධ බවට නිරන්තරයෙන් චෝදනා එල්ල වේ.
SC/FR/10/2011 දරන ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩුව ඊට කදිම නිදසුනකි. එහිදී අදාළ සිදුවීම වන විට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සහ සෙසු නිලධාරීන් පිරිසක්, සැකකරුවෙකු ප්‍රශ්න කිරීමේ දී අමානුෂික ලෙස වධහිංසා පමුණුවමින්, ඔහුගේ ලිංගික අවයව වල සිද්ධාලේප ආලේප කිරීමට සැලැස්වීම ඇතුළු දැඩි වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම වරදකරුවන් කෙරිණි.
එවැනිම තවත් තීන්දුවක් 2026 අප්‍රේල් 2 වන දින ප්‍රකාශයට පත් කරමින්, වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් (උදය කුමාර වූට්ලර්) ට, මීගමුව පොලිස් ස්ථානයේ දී නීතිඥවරයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් එකී නීතිඥවරයාට පෞද්ගලිකවම වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මෙම නඩු දෙක පමණක්ම ගෙන සලකා බැලුව ද එය ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ සිට පහළටම දිවෙන ආයතනික අර්බුදයේ සහ නීතිවිරෝධීභාවයේ බරපතළකම මනාව පැහැදිලි කරන කැඩපතකි. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෞද්ගලිකවම වරදකරු වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාම, හෝමාගම සිද්ධිය වැනි පොලිස් භාරයේ සිදුවන මරණ පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සහ මහජනතාවට සහතික වෙමින් තවමත් පොලිස් සේවයේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස පෙනී සිටීම උපහාසජනක මෙන්ම ශෝචනීය තත්ත්වයකි.
ආයතනික ප්‍රධානීන් ව්‍යවස්ථාපිත අයිතීන් උල්ලංඝනයන් වෙනුවෙන් අධිකරණය හමුවේ ඍජුවම දෝෂ දර්ශනයට ලක්ව සිටිය දී පවා, ඔවුන් තම තනතුරු සහ ආයතනික බලය තවදුරටත් හොබවන්නේ නම්, ඉන් පහළ නිලධාරීන්ට ලැබෙන සංඥාව වන්නේ නීතිවිරෝධීභාවය පද්ධතිය තුළ “වක්‍රාකාරව අනුමත කර” ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස පහළ නිලධාරීන් ද වධහිංසනය සහ ක්ෂණික ප්රචණ්ඩත්වය යනු අපරාධමය වරදක් නොව, ඉහළින් අනුමත කරන ලද හෝ අනුමත විය හැකි ආකාරයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් ලෙස සැලකීමට පෙළඹීම වැළැක්විය නොහැක.
පොලිස් භාරයේ සිදුවන මරණ යනු ප්රජාතන්ත්රවාදී රාමුවක සහ සමාජ සම්මුතියක මූලික පදනම දෙදරා යවන බරපතළ තර්ජනයකි. පොලිස් සේවය යනු රජයක් සහ සාමාන්‍ය ජනතාව අතර පවතින සෘජු සහ ප්‍රධානතම සන්නිවේදන සහ සබඳතා පාලමයි. ප්රජාතන්ත්රවාදී දර්ශනයට අනුව, නිදහස් පුරවැසියන් තම පෞද්ගලික නිදහසේ යම් කොටසක් රාජ්‍යයට පවරනු ලබන්නේ සමූහ ආරක්ෂාව, නීතියේ ආධිපත්‍යය සහ මානව ගෞරවය සුරක්ෂිත කරගැනීමේ පරමාර්ථයෙනි. පොලිසියට බලය සහ අධිකාරිය පැවරී ඇත්තේ පුරවැසි අයිතිවාසිකම් සුරැකීමට සහ නිදහස ආරක්ෂා කිරීමට මිස ඒවා පාගා දැමීමට හෝ අත්තනෝමතික ලෙස ඒවායේ පාලනය අතට ගැනීමට නොවේ. මෙම වගකීම සමාජයේ අසරණ, දිළිඳු සහ අවවරප්රසාදිත ජනයා කෙරෙහි විශේෂයෙන් බලපායි. මන්ද, බලපුළුවන්කාරකම් නැති අසරණ මිනිසුන්ට අගතියක්, තර්ජනයක් වූ විට පිහිට පැතිය හැකි එකම සහ මුල්ම නෛතික යාන්ත්‍රණය පොලිසිය වන බැවිනි.
එසේම පුද්ගලයෙකු පොලිස් භාරයට ගත්පසු ඔහුගේ පෞද්ගලික නිදහස අහෝසි වන අතර, ඔහු සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ ආරක්ෂාව මත යැපෙන පුද්ගලයෙකු බවට පත්වේ. එබැවින් අත්අඩංගුවේ පසුවන ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතය සහ ශාරීරික යහපැවැත්ම වෙනුවෙන් රාජ්‍යය සහ පොලිසිය සම්පූර්ණ නීතිමය සහ භාරකාරාත්මක වගකීම දැරිය යුතුය. මෙම භාරකාරී වගකීම අහිංසක පුරවැසියෙකුට මෙන්ම, චෝදනා ලැබූ සැකකරුවෙකුට හෝ අපරාධකරුවෙකුට ද එක හා සමානව අදාළ වේ. පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයෙකුට පහරදීම හෝ ඝාතනය කිරීම යනු රාජ්‍යය විසින් මහජන විශ්වාසය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. නීතිය ක්‍රියාත්මක කරවන ආයතන වෙතින් පුරවැසියාට හිමිවිය යුතු ආරක්ෂාව එපරිද්දෙන්ම නොලැබේ නම්, රාජ්‍යයේ පැවැත්මේ පදනමම බිඳවැටී සමාජය භීෂණයට සහ අනාරක්ෂිතභාවයට ගොදුරුවීම වැලැක්විය නොහැක.
කෙසේ වෙතත් මෙවැනි බරපතළ තත්ත්වයක් හමුවේ පවා සමාජයේ ඇතැම් පිරිස් පොලිස් ප්රචණ්ඩත්වය සාධාරණීකරණය කිරීමට හෝ ඊට අනුබලදීමට පෙළඹීම කණගාටුදායකය. පොලිස් භාරයේ මියයන පුද්ගලයන්“අනිවාර්යයෙන්ම මහා අපරාධකරුවන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්” යැයි කියන ප්‍රචාරවලට රැවටෙන ඇතැම්හු, එවැනි අය මියයාම සමාජයට යහපතක් ලෙස සිතති. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදය, අධික නඩුවියදම් සහ අධිකරණ පද්ධතිය කෙරෙහි ඇති කලකිරීම නිසා, තැනින් තැන ක්‍රියාත්මක වන “ක්ෂණික යුක්තිය”(Instant Justice ) වඩාත් සුදුසු එකක් වශයෙන් අඥාන ලෙස අනුමත කරති.
නමුත් මෙම “ක්ෂණික යුක්තිය”නැමැති මිථ්‍යාව ප්‍රවර්ධනය කිරීම අවසානයේ මුළු මහත් සමාජයේම ආරක්ෂාව අනතුරේ හෙළන මාරාන්තික ක්‍රියාවකි. අධිකරණ ක්‍රියාවලියෙන් තොර ඝාතන සාමාන්‍යකරණයවීම සහ එසේවීමට ඉඩහැර ඇස් කන් පියාගෙන සිටීම- පොලිස් නිලධාරියා පරීක්ෂකවරයා, පැමිණිලිකාරයා, නීතිඥවරයා, විනිසුරුවරයා සහ වධකයා යන සියල්ලම බවට පත්වන ඒකාධිපති පොලිස් රාජ්‍යයකට මග පෑදීමකි.
වැසූ දොරවල් පිටුපස සිටින පොලිස් නිලධාරීන්ට මරණ දඬුවම් තීන්දු දීමේ බලය ලැබුණුවිට, නීතියේ සියලු ආරක්ෂාවන් පුරවැසියන්හට අහෝසි වේ. එවිට පෞද්ගලික කෝපයක්, මුදල් ආරවුලක් හෝ අල්ලස් දීම ප්‍රතික්ෂේප කිරීමක් වැනි හේතුවක් මත ඕනෑම සාමාන්‍ය පුරවැසියෙකුට පොලිස් හිරිහැරයට ලක්ව මියයාමට සිදුවිය හැකිය. මන්දයත් පුද්ගලයෙකු මරා දමා ඔහු “පාතාලයෙක්” හෝ “කුඩු ජාවාරම්කාරයෙක්” යැයි ලේබල් ඇලවීම පොලිසියට ඉතා පහසු වන බැවිනි.
මෙය හුදු මනඃකල්පිත බියක් හෝ මවාගත් සිද්ධාන්තයක් නොවන බව ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහත්මා හමුවේ පැවැති නඩු විභාග කීපයකින් පසුගියදා මනාව පැහැදිලි විය. ගම්පහ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් විසින් එකම සැකකරුවෙකුට එරෙහිව එකම දිනක දී අයිස් මිලිග්‍රෑම් 130 ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 500 ක් ළඟ තබාගැනීමේ වෙනම නඩු දෙකක් පවරමින්, පොදුජනයා පීඩාවට පත්වන අයුරින් අසත්‍ය හා ව්‍යාජ නඩු පැවරීමක් සිදුකෙරී ඇතිබැව් තහවුරුවීමත් සමග - මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු නිදොස් කොට නිදහස් කළේය. එමෙන්ම වින්දිත පුරවැසියාට රුපියල් 200,000ක වන්දියක් ගෙවන ලෙස ගම්පහ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට නියෝග කළේය.
මීළඟ මාසයේ නඩු ප්‍රමාණය වැඩිකර පෙන්වීමේ ඉහළ නිලධාරීන්ගේ ඉලක්ක සපුරාලීමට පොලිසිය මෙලෙස අත්තනෝමතික ලෙස ක්‍රියා කරන්නේ නම්, තව වසර පහකින් පොලිසියට නඩු පැවරීමට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය පවා මදිවනු ඇතැයි අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, එම නියෝගයේ පිටපතක් වහාම පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙස ද නියෝග කළේය.
නීතිය රකින නිලධාරීන්ම සංඛ්‍යාත්මක දත්ත පෙන්වීමට අසත්‍ය චෝදනා සහ සාක්ෂි නිර්මාණය කරමින් නිවැරදි පුද්ගලයන් නීතිය නැමති රාමුවේ සිරකරන්නේ නම් - නඩුවක් රහිතව මරණ වරෙන්තුදීමට පොලිසියට බලය ලබාදීම හා මොන යම්ම ආකාරයෙන් හෝ එය අනුමත කිරීම, සම්පූර්ණ ඒකාධිපති ම්ලේච්ඡත්වයකට පාරකැපීමකි.
තවද සැකකරුවන් අත්අඩංගුවේ සිටිය දී ඝාතනය කිරීම හේතුවෙන් අපරාධ පිටුපස සිටින මහමොළකරුවන් සහ දූෂිත දේශපාලනඥයන් ආරක්ෂා වන අතර, විමර්ශනවලට අත්‍යවශ්‍ය සාක්ෂි විනාශ වී යයි. පලායාමට තැත්කළ බවට හෝ ආයුධ පෙන්වීමට ගියබවට අටවාගත් කතාවලින් සැකකරුවන් ඝාතනය වූ විට, අපරාධ ජාලයන්හි සැබෑ මහමොළකරුවන් නිදැල්ලේ පසුවේ. එමගින් අපරාධ මර්දනයවීමක් සිදුනොවන අතර, සිදුවන්නේ අපරාධ සංවිධානවල රහස් ආරක්ෂාවීම සහ දූෂණය පද්ධතිය තුළ තවදුරටත් මුල්බැස ගැනීම පමණි.
ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක අධිකරණ සහ අධිකරණ ක්‍රියාවලියක් පවතින්නේ හේතුවක් සහිතවය. ඒ ස්වාධීනව සහ අපක්ෂපාතීව සාක්ෂි පරීක්ෂා කර, නෛතික රාමුව තුළ සිටිමින් සත්‍යය තහවුරු කරගැනීමටය. එහිදී ඕනෑම චූදිතයෙකුට තමන් වෙනුවෙන් කරුණු දැක්වීමට ඇති අයිතිය සුරැකීම රාජ්‍යයේ පරම යුතුකම් වලින් එකකි. පොලිසියේ කාර්යභාරය සීමා වන්නේ අපරාධ විමර්ශනයට, සාක්ෂි රැස්කිරීමට සහ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පමණි. ක්ෂණික සහන පතා පොලිස් ඝාතන සාධාරණීකරණය කිරීම යනු නීතියේ ආධිපත්‍යයේ මිනීපෙට්ටියට ඇණ ගැසීමකි. “ලබ්බට තැබූ අත පුහුලට නොතබාවි” යැයි කිසිවෙක්ට කිව නොහැක. එබැවින් පොලිස් භාරයේ සිදුවන සෑම ඝාතනයක්ම ඒකමතිකව හෙළාදකිමින්, නීතියට ඉහළින් කිසිදු නිලධාරියෙකුට හෝ ආයතනයකට සිටීමට ඉඩ නොදීම නිදහස සහ අයිතීන් අගයන ප්රජාතන්ත්රවාදී සමාජයක පැවැත්මට අත්‍යවශ්‍ය කරුණකි.

නිරෝෂන් පත්බේරිය
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ
(I J)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd