නානා නැතිවෙලා දින තුනක් ගෙවිලා. ඔහු ගැන ගොඩක් ගුණ වැයුම් කියවන්නට ලැබෙනවා. මමත් ඔහුගේ සිනමාව දිහා ආපහු බලාගෙන නානාව ආයෙත් කියවන්න තේරුම් ගන්න ටිකක් උත්සාහ කළා. මට මුලින්ම මතක් වුණේ රත්නපුරේ අපිට හම්බවෙන ගෙවුඩ කියන මැණික් වර්ගය ගැන.
ගෙවුඩ වටින්නේ නැති මුක්කරු කාලයක් ගෙවිලා ගිහිං දැන් ගෙවුඩ වටිනා නිල් මැණික් වෙනවා. ඒකට කාල කෑල්ලක් අවශ්‍යයි. රශ්මිය අවශ්‍යයි. රස්නය එක්ක මෝරලා නිල්මැණිකක් වෙන ගෙවුඩයක් වගේ ජීවිතයක් තමයි නානාට මුලින් තිබුණේ. මම එහෙම කියන්නේ බොලිවුඩය නඩත්තු කරපු ‘සාම්ප්‍රදායික සිනමා වීරයා’ පිළිබඳ ඒ සුකුමාර රූපකය අස්සේ නානා නිකං දිලිසුම් නැති ඒ පැත්ත මේ පැත්ත හරවනකොට නිකං පණුවෙක් එහෙට මෙහෙට පෙරළෙනවා වගේ ගෙවුඩක් විතරක් නිසා. හැබැයි බොලිවුඩ් අභියෝගය ඔහු පිළිගත්තා. ඔහු බොලිවුඩ් රස්නය උරාගෙන අන්තිමට ලස්සන දිලිසෙන වටිනා නිල්මැණිකක් වුණා. අන්න ඒ කතාව මට හිතෙන්නේ මෙන්න මෙහෙම.
සාමාන්‍යයෙන් මිනිහෙක් අස්සේ කැකෑරෙන ආදරයේ සෞම්‍ය ඉමිහිර වගේම කෝපයේ ගිනි රස්නය, බිය, අසරණකම, අභිමානය වගේ හැඟීම් කලාපයන් වගේම සදාචාරාත්මක අර්බුද අස්සේ මිනිසා දක්වන රියැක්ෂන්ස් නැත්තං ප්‍රතිචාර මනෝමයන් අතිශය යථාර්ථවාදීව තිරය උඩ ජීවයෙන් තියන්න නානා දක්වපු අසමසම හැකියාව උඩ තමයි ඔහුගේ මේ නිල් මැණිකක් වීමේ රහස තිබෙන්නේ. ඉන්දීය වාටියේ මිනිහා විතරක් නෙවෙයි ඔහු හඳුනගෙන තිබුණේ ඔහු කේන්ද්‍රයත් හොඳටම ගවේෂණය කරගෙන තේරුම් අරගෙන ඒ රස්නය ආග්‍රහණය කරගෙන විඳගෙන තිබුණා. ඒ මිනිස් රශ්මියෙන් තමන්ට බොලිවුඩයේ නිල් මැණිකක් වෙන්න පුළුවන් කියලා ඔහු දැනගෙන හිටියා.
දශක පහකට ආසන්න කාලයක් පුරා විහිදුණු ඔහුගේ රංගන සැරිසැරීම අස්සේ හින්දි, මරාති සිනමාවට අයත් කලාත්මක චිත්‍රපට, සමාජ දේශපාලනික නාට්‍ය, අපරාධ කතා වගේම ජනප්‍රිය හාස්‍ය චිත්‍රපට ද තියෙනවා. මේ බහු විවිධත්වය රංග පෞරුෂය තමයි මට අනුව නම් වැඩේ. චරිතයක බාහිර අලංකාරයට වඩා ඔහු එහි අභ්‍යන්තර මනෝවිද්‍යාත්මක ගැටුම් සහ කැලඹීම් තමයි අල්ලගත්තේ. අන්න ඒ නාඩිය තමයි නාඩිය.

වේදිකාවෙන් සිනමාවට
1951 ජනවාරි 1 වැනිදා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලබන නානා පටේකාර්ගේ සැබෑ නම විශ්වනාත් පටේකාර් කියලා තමයි කියවෙන්නේ. සිනමාවට පායන්න කලින් ඔහු මුම්බායි හි සුප්‍රකට Sir J. J. Institute of Applied Art කලා ආයතනයේ අධ්‍යාපනය ගත්ත දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඒ කාලේ මුම්බායි පොලිසියට අපරාධකරුවන්ගේ මුහුණු සිතුවම් කිරීමට ඕනෑ වුණාම නානා ඒකට තමන්ගේ හැකියාව දීලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. මේ හැකියාව තිබුණට ඔහු රංගනයට වැටෙන්නේ මරාති වේදිකාව උඩ. විශේෂයෙන්ම ‘පුරුෂ්’ වගේ වේදිකා නාට්‍ය තමයි ඔහු අස්සේ ගෙවුඩයක් වගේ හිටිය නළුවා නිල් මැණික් නළුවෙක් කරන්නේ. 1978 වසරේ තිරයට ආ ‘Gaman’ චිත්‍රපටය ඔහුගේ සිනමා ගමනේ මූලික සන්ධිස්ථානයක් වුණා කියලා අන්තර් ජංජාලය කියනවා.
ඉතිං හින්දි වාණිජ සිනමාව ඈත මෑත අද ප්‍රධාන නළුවකුගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා ඇහුවොත් ඕනෑම කෙනෙක් කියන්නේ, කඩවසම් පෙනුම, ආකර්ෂණීය ශරීර භාෂාව, ප්‍රේමවන්තයෙක් වෙන්න කොච්චර උචිතද? සටන් ජවනිකාවල් අස්සේ මූට වීරත්වය ගේන්න පුළුවන් ද වගේ කතා. ඒත් මුල් කාලේ නානාගේ ස්වභාවයෙන් මේ කිසිවක් එළියට පෙනුනේ නෑ කියලා තමයි කියන්නේ. ඔහුගේ මුහුණේ රළු රැළි, තියුණු විනිවිද යන බැල්ම, ගොරහැඩි කටහඬ, කථනයේ අසාමාන්‍ය රිද්මය සහ ශරීරයේ නොසන්සුන් බව අන්තිමට ඔහුගේ රංගනයේ දිලිසෙන භාෂාව වෙනවා. අඩුපාඩු නැති අඩුපාඩු සඟවාගත්ත සාම්ප්‍රදායික වීරයා වෙනුවට නානා අඩුපාඩු තියෙන වීරයෙක් තිරය උඩට ගෙනල්ලා අතාරිනවා. අන්න ඒක තමයි වැඩේ.
Parinda සහ Salaam Bombay සහ ප්‍රතිවීරයා
නානා මොනවගේ බඩුවක් ද කියලා මුලින්ම සිනමාව දැනගත්තේ, 1988 ආපු මීරා නායර්ගේ ‘Salaam Bombay!’ වලින් කියලයි මට හිතෙන්නේ. මේ චිත්‍රපටියේ නානා කරන්නේ ‘බාබා’ කියන කුරිරු තැරැව්කරුවාගේ චරිතය. මේක අපිව කම්පනය කරපු චරිතයක්. මෙන්න මෙහෙම මැණිකක් බවට හැරෙන්න පුළුවන් කියලා කියපු නානා 1989 අවුරුද්දේ ආපු විධු විනෝද් චොප්රාගේ ‘Parinda’ චිත්‍රපටියේ ‘අන්නා සේත්’ කියන පාතාල නායකයා වේශයෙන් ඇවිත් අපිට කෑගහලා කියනවා නෑ මම ගෙවුඩයක් නෙවෙයි යකෝ මම නිල් මැණිකක් කියලා.
ගින්නට දැඩි ලෙස බිය වන, අනාරක්ෂිතභාවයෙන් සහ සැකයෙන් පෙළෙන අන්නාගේ ප්‍රචණ්ඩත්වය නානා ගොඩනැඟුවේ කොහොමද කියලා මට අද හිතෙනවා. ඒක හිච්කොක් බොලිවුඩයේ පදිංචි වුණා වගේ එකක්. මනෝකාලවල් කීපයක් උඩ තමයි නානා මේ චරිතය ගොඩදාන්නේ. ඒ මනස ඕනෑම වෙලාවක පුපුරන්න බලාගෙන හිටිය කාලයක් නැති කාලබෝම්බයක් වගේ. කච කචයට කියවගෙන යන බොලිවුඩයේ සිනමාවට දෙබස් වගේම නිහඬතාවයත් වැදගත් කියලා නානා මේක අස්සේ පෙන්වනවා. ඉතිං නානා අතිශය ප්‍රථම වතාවට මේ ෆිල්ම් එක නිසා හොඳම සහාය නළුවාට හිමි ජාතික චිත්‍රපට සම්මානය දිනාගන්නවා.
1994 අවුරුද්දේ තිරය උඩට ආපු ‘Krantiveer’ නානා නිල් මැණික් ලෝකයේ ඉහළටම අරගෙන ගිය චිත්‍රපටිය. ‘ප්‍රතාප් නාරායන් තිලක්’ කියන චරිතය අස්සේ ජීවත් වෙන නානා දූෂණය, සමාජ අසාධාරණය, ආගමික අන්තවාදයට එරෙහිව හඬ වගේ දේවල් සාමාන්‍ය මිනිහෙක් අස්සෙන් ඇවිත් අපිට පෙන්වනවා. ඉන්දියාවේ කුණු වුණ නග්න සමාජය මෙන්න මෙහෙමයි කියලා නානා මේ චරිතය අස්සට ගිහිං පෙන්වනවා.
කටහඬ උස් වීම, වේගවත් කථනය සහ තියුණු අංගචලන හරහා ප්‍රේක්ෂකයාට දැනුණේ සමාජ අසාධාරණය ඉදිරියේ තවදුරටත් නිහඬව සිටීමට නොහැකිව පුපුරා යන මිනිසකුගේ අභ්‍යන්තර කැලඹීම කියලයි මට නම් හිතෙන්නේ. චිත්‍රපටයේ අවසන් ජවනිකාවේ එන ඔහුගේ දීර්ඝ, හැඟීම්බර දෙබස් ඛණ්ඩය හින්දි සිනමා ඉතිහාසයේ එන විශිෂ්ටතම දෙබස් උච්චාරණයක් ලෙස අදටත් සැලකෙනවා. ඉතිං බලන්නකෝ මේ විස්මිත රංගනය වෙනුවෙන් නානාට හොඳම නළුවාට හිමි ජාතික සම්මානය දෙනවා.

කටහඬ, නිහඬතාව සහ අභිනය
නානා පටේකාර්ගේ රංගනය ගැන කතාකරන්න මට හැකියාවක් නෑ. ඒත් වාචික අභිනය, මුහුණේ ඉරියව් සහ ශරීර භාෂාව අස්සේ තමයි ඔහු තමන්ගේ තැන සලකුණු කරන්නේ. නානාගේ රළු ගොරහැඩි හඬ, චරිතයක සමාජ පන්තිය, මානසික ආතතිය සහ බලය ගැන ක්ෂණික හැඟීමක් අපිට දෙනවා. එක වාක්‍යයක් අතිශය වේගයෙන් ප්‍රකාශ කර හදිසියේම ගොළු වීම, නිශ්චිත වචනයක් පමණක් තීව්‍ර ලෙස අවධාරණය කිරීම ඔහුගේ අනන්‍යතාවක්. ඒක වේදිකාවෙන් ආපු දෙයක් වෙන්න පුළුවන්. තවටිකක් මේ රංගන විශ්වයේ දියවුණොත් අපිට පේනවා නානාගේ ඇස්වල කෝපාවිෂ්ට චලනය, නළලේ රැළි ගැන්වීම සහ තොල් තද කරගැනීම වැනි සූක්ෂ්ම ඉරියව්වලින් වචනවලින් කියන්න බැරි වචනයට වඩා එහාට යන්න පුළුවන් හැඟීම් දහර. නානා චරිතයක් අස්සේ ඇවිදින වේගය සහ අනෙකා ආක්‍රමණය කරන ශරීර භාෂාව වගේ දේවල් අස්සෙන් උනත් නානා බල සම්බන්ධතා අපූරුවට නිරූපණය කරනවා.
ගොඩක් අය නානාට කියනවා ඝෝෂාකාරී නළුවෙක් කියලා, ඒත් 1996 ආපු සංජේ ලීලා බන්සාලිගේ 'Khamoshi: The Musical' චිත්‍රපටයේ බිහිරි සහ ගොළු පියකු විදිහට ජෝසප් ගේ ශරීර කූඩුව ආක්‍රමණය කිරීම අර ලේබල් එක ගළවලා වීසිකරන තරම් එකක්. ඉතිං මේ ෆිල්ම් එක කරලා නානා අපිට කිව්වා කචකචේ නැතිව වුණත් දෑසින් අමතන බස් වැසුණු දොරවල් අරින්න පුළුවන් කියලා.
ඉතිං නානා 1991 අවුරුද්දේ ‘Prahaar – The Final Attack’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා කිව්වා තමන් අස්සේ ඩිරෙක්ටර් කෙනෙකුත් ඉන්නවා කියලා. මේ චිත්‍රපටියේ මේජර් චෞහාන්ගේ චරිතය වෙනුවෙන් නානා ඉන්දීය යුද හමුදාවේ වසර තුනක දැඩි පුහුණුවක් ලැබුවා කියලා කියවෙනවා. හමුදා විනය, ශාරීරික පුහුණුව වගේම ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු ලෝකයක සදාචාරාත්මක වගකීම කියන තේමාව නානා මේක අස්සේ හොඳටම ස්පර්ශ කරනවා. චරිතයක මනෝභාවය එළියට ප්‍රක්ෂේපණය කරන්න එහෙම ලේසියට බෑ කියලා ඒකට හෝම්වර්ක් ගොඩක් කරන්න ඕනෑ කියලා තමයි නානා මේකෙන් කියන්නේ.
Ab Tak Chhappan – වීරත්වයේ සදාචාරාත්මක අර්බුදය
2004 අවුරුද්දේ තිරගත වෙච්ච ‘Ab Tak Chhappan’ චිත්‍රපටයේ සාධු අගාෂේ කියන එන්කවුන්ටර් පොලිස් නිලධාරියාගේ චරිතය නානාගේ රංගන ජීවිතයේ තවත් සුවිශේෂී තැනක්. ඒකත් නිල් මැණිකක් වගේ දිලිසෙන රංගනයක්. සැබෑ පොලිස් නිලධාරියකු වුණ දයා නායක් පාදක කරගත් මෙම චරිතය අස්සේ කිමිදෙන නානා රාජ්‍ය බලය, නීතිය සහ ප්‍රචණ්ඩත්වයේ සීමාවන් තමයි ප්‍රශ්න කරන්නේ.
ඊටපස්සේ 2016 දී තිරය උඩට ආපු මරාති චිත්‍රපටයක් වුණ 'Natsamrat' තමයි ඉතිං නානාගේ රංගන ජීවිතයේ ඉහළම රංගනය. ඒක තමයි සමන් ගිර. මේ රංගනයට ෂේක්ස්පියර්ගේ 'කින් ලියර්' කියන පුදුම නාට්‍යයේ ආභාසය ලැබුවා කියලා කියනවා. රංගනයෙන් විශ්‍රාම ගත්ත ප්‍රවීණ නාට්‍ය ශිල්පියකු වෙච්ච ගන්පත්‍රාඕ බෙල්වල්කාර් තම දරුවන්ගෙන් ප්‍රතික්ෂේප වී, මහලු වියේදී මුහුණ දෙන අතිශය ඛේදජනක ඉරණම තමයි මේ චරිතය හරහා නානා නිරූපණය කරන්නේ.
වේදිකාව උඩ දෙවිවරුන් රජවරුන් මැවූ ඉන්ද්‍රජාලිකයකුට සැබෑ ජීවිතයේදී හිමිවන තනිකම, වේදනාව සහ අහිමිවීමේ හිස්බව තමයි නානා කතාකරවන්නේ. එහෙම කොහොමද රඟපාන්නේ..! ඒක තමයි ප්‍රශ්නය. කින් ලියර් අස්සේ තමයි උත්තරය තියෙන්නේ.
සමාජ මාධ්‍යයේ නිතර දකින ජනප්‍රිය මීම් එකක් තියෙනවා. ඒකෙන් පේනවා නේද නානාට හාස්‍ය කියන දේ නතින් කියලා. අපි රංගනය ඉගෙනගන්නකොට ඉගෙනගන්නවා හාස්‍ය තමයි අමාරුම කියලා අනේ ඒක මේ නානා. 2007 ආපු ‘Welcome’ චිත්‍රපටයේ උදය ෂෙට්ටි කියන පාතාල නායකයාගේ චරිතය තමයි හොඳම උදාහරණය. තමා අතිශය බරපතළ යැයි සිතාගෙන සිටින පාතාල නායකයකු සාමාන්‍ය පවුල් ප්‍රශ්න ඉදිරියේ අසරණ වන ආකාරය අතිශය අවංකව රඟපාලා තමයි මේ චිත්‍රපටිය අස්සේ නානා සිනහව උපද්දවන්නේ. ‘Taxi No. 9211’ චිත්‍රපටය ගත්තොත් රාඝව් ශාස්ත්‍රී කියන කුලී රථ රියැදුරා අස්සෙන් ගිහිං පීනලා ඇවිත් මධ්‍යම පාන්තික අභිමානය සහ ජීවන අරගලය අතර සිරගතවුණ මිනිසකුගේ මුරණ්ඩු ස්වභාවය හාස්‍යය එක්ක එකට අමුණලා මාර රංගනයක් තමයි ගොතන්නේ.

විචිත්‍ර නානා
ඉතිං මේ ගොඩක් කතා නිසා විචාරකයෝ කියන ජාතිය කියනවා නානා පටේකාර්ගේ රංගන ශෛලිය ඇතැම්විට නළුවාගේම පෞරුෂය ඉක්මවා යනවා කියලා. ඒත් මටනම් නානාගේ සාර්ථකම නිර්මාණ දිහා බැලුවාම එහෙම දෙයක් පේන්නේ නෑ. ඒක නියමිත ආකාරයකට පාලනය කරගත්ත නියමිත ඉලක්කයකට මෙහෙයවුණ රංගනයක්.
ඉතිං මේ අපි කතාකරන නානාගේ සිනමා උරුමය තවත් අර්ථවත් වන්නේ බොලිවුඩයේ මැජිකල් ලෝකයෙන් එළියේ ඔහු කරපු තවත් ගොඩක් වැඩ නිසා. සරල කුඩා නිවසක ජීවත්වුණා කියන නානා තමන් උපයන ධනයෙන් සැලකිය යුතු කොටසක් සමාජ සත්කාර වෙනුවෙන් පරිත්‍යාග කරයි කියනවා. 2015 දී මකරන්ද් අනාස්පුරේ එක්ක එක්කාසු වෙලා ගොඩනඟපු ‘Naam Foundation’ හරහා නියඟයෙන් පීඩිතව සියදිවි නසාගත් ගොවීන්ගේ වැන්දඹුවන් දහස් ගණනකට ඔහු රැකවරණය දුන්නා කියලා දැනගන්නට ලැබෙනවා.
ඉතිං නානා කියන්නේ සිනමාවේ සම්මත ‘තරුවකට’ වඩා බෙහෙවින් ගැඹුරු මිනිහෙක්. රංගන ශිල්පියෙක්. සාම්ප්‍රදායික වීරයාගේ ආකෘතිය වෙනස් කරපු නානා පරිපූර්ණ දෙවියකු වුණේ නෑ. මිනිස් ජීවිතයකට උරුම කරුම, දුර්වලතා, හැලහැප්පීම් එක්ක ඔහු අසම්පූර්ණ මිනිස් ජීවිතය තමයි තිරය උඩට ගෙනත් අතෑරියේ. මෙන්න මෙතන තමයි නානාගේ තැන.
නානා තමන්ගේ ජීවිත සිහිනය අස්සේ ජීවත් වුණ විදිහ මම දකින විදිහ තමයි ඔය. දැන් ඔහු ජීවිත සිහිනයෙන් ඇහැරිලා. සුබ දහවලක් නානා ඔබට..!



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd