

වර්ෂ 1942 දෙසැම්බර් 29 වන දින ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිට්සාර් හී ඉපදුණු 'ජටින් කන්නා,' සිනමාවට පැමිණියේ 'රාජේශ් කන්නා' ලෙසටය.
1965 වසරේදී ඔහු සමස්ත ඉන්දියා රංගන තරගයට ඉදිරිපත් විය. එයට දස දහසක් පමණ තරගකරුවෝ තරග කළහ. එහීදී රාජේශ් කන්නාට අවසන් 8 දෙනාට ස්ථාන ගත වීමට හැකි විය.
එම තරගය විනිශ්චය කරන්නට එකල ප්‍රසිද්ධ සිනමා නිෂ්පාදක , අධ්යක්ෂවරුන් වූ ශක්ති සාමන්තා, බී.ආර්.චොප්රා, බිමල් රෝයි, ජී.පී.සිප්පි, නසීර් හුසේන්, ජේ. ඕම් ප්‍රකාශ්, වැන්නෝ පැමිණ සිටියහ. මෙම තරගයේ දක්ෂ රංගන ශිල්පියා ලෙස රාජේශ් කන්නා පළමු තැනට පැමිණියේ ෆරිඩා ජලාල් සමඟය. පසු කලෙක ඔවුහු දෙදෙනා ශක්ති සාමන්තාගේ 'ආරාධනා' චිත්‍රපටයේ පෙම්වතුන් ලෙස රඟපෑහ.
රාජේශ් කන්නාගේ රඟපෑම් රැගත් මුල්ම චිත්‍රපටය වූයේ, චේතන් ආනන්ද අධ්‍යක්ෂණය කළ 1966 වසරේ තිර ගත කළ 'ආක්හාරි කාත්' චිත්‍රපටයයි. එහී ඔහු රඟපෑවේ ඉන්ද්‍රාණි මුඛර්ජි නම් නිළිය සමඟය. ඇය රාජේශ් කන්නාගේ ප්‍රථම සිනමා පෙම්වතිය වූවාය. 1967 දී රාජේශ් රඟපෑ 'රාස්' තිරගත විය.
'රාස්' ජී.පී.සිප්පිගේ නිෂ්පාදනයක් වූ අතර, රවින්ද්‍ර ඩේව් අධ්‍යක්ෂණය කළේය. බබිතා ඔහුගේ පෙම්වතිය ලෙස රඟපෑවාය. රාජේශ් එහී කුමාර් හා සුනිල් ලෙසින් ද්විත්ව චරිතයක් රඟපෑවේය. ඔහුගේ 'අවුරාත්' සහ 'බාරෝන් කී සප්නේ' තිර ගත වූයේ ද එම වසරේය. පිළිවලින් පද්මිණි සහ ආශා පරේක්, මෙම චිත්‍රපට යුගලේ ඔහුගේ පෙම්වතියන් ලෙස රඟපෑහ.
ඔහුගේ සිනමා ජීවිතයේ විශාලතම දෙදරුම වූයේ වර්ෂ1969 දී තිරගත කළ ශක්ති සාමන්තගේ 'ආරධනා' චිත්‍රපටයෙනි. එය විශාල ලෙස ජනප්‍රිය වූයේ ඉන්දියාවේ පමණක් නොව, ලොව රටවල් ගණනාවක එක ලෙසට ජනප්‍රිය විය. ලංකාවේ ද එය ලිඩෝ සිනමාහලේ පැල්බැදගෙන ප්‍රදර්ශනය විය. දින 200ක් පසු කරමින් ලිඩෝ සිනමා ශාලාවේ ප්‍රදර්ශනය විය. රාජේශ් එහීද ද්විත්ව චරිතයක් රඟපෑවේ පිය-පුතු ලෙසටය. ශර්මිලා තාගෝර් සහ ෆරිඩා ජලාල් එහී රාජේශ් කන්නාගේ පෙම්වතියන් වූහ. 'ආරාධනා' චිත්‍රපටය තුළින් ඔහු ලද ඉමහත් ජනප්‍රියත්වය ඔහු හින්දි සිනමාව තුළ ප්‍රථම 'සුපර් ස්ටාර්' කෙරීය.
එතැන් සිට ඔහුට චිත්‍රපට ගලා එන්නට විය. තිර රචකයෝ ඔහු මුල් කරගෙනම තිර රචනය ලියූහ. ඔහුගෙන් රඟපෑමට දින වෙන් කර ගැන්මට, නිෂ්පාදක, අධ්‍යක්ෂකවරු දිනපතාම ඔහුගේ නිවෙසට බඩ ගෑහ. ඇතැම් දිනවල ඔවුහු පැය ගණන් ඔහුගේ නිවෙස අද්දරට වී සිටියහ. ඒ රාජේශ් තම චිත්‍රපටවලට එකතු කර ගැන්මටය. එකී වකවානුවෙි රාජේශ් කන්නා යනු ධනය උපද්දවන මැෂිමක් වූ බව ඔවුහු දැන සිටියහ.
ඔහුගෙ සිනමා ගමන කිසිවකුටත් නැවැත්විය නොහැකි විය. ඒ ජනප්‍රියත්වයට ළංවන්නටවත් කිසිවකුටත් නොහැකි විය. 'ද ට්‍රේන්'(නන්දා), 'සච්චා ජූටා' (මුම්ටාස්), 'ආරාධනා', 'සෆර්' 'ඩාග්', 'රාජා රාණි'(ෂර්මිලා තාගෝර්), 'ආන් මිලෝ සජ්නා' 'කටී පතංග්', (ආශා පාරේක්), 'ආනන්ද්( සුමිතා සන්යාල්), 'අන්දාස්'(හේමා මාලනී), 'මර්යාදා ( මාලාසිං), 'හාති මෙරේ සාතී' 'මේරේ ජීවන් සාති' ( තනුජා), 'කාමෝෂි (වහිදා රෙහෙමන්), 'දිල් දවුලට් දුනියා' (සාධනා), ඔහු හිණිපෙත්තටම නංවන්නට උපකාර වූ චිත්‍රපටයන්ය. ඒවා සියල්ලම ලංකාවේද ප්‍රදර්ශනය වූ අතර,මෙම චිත්‍රපට විශාල ලෙස ලාංකීය හින්දි චිත්‍රපට රසික රසිකාවියන් අතර ජනප්‍රිය විය.
1973 වර්ෂයේදී රාජේශ් කන්නා විවාහ විය. ඒ ඩිම්පල් කපාඩියා සමඟය. ඒ වන විට රාජේශ් කන්නාගේ වයස 30 ක් විය. ඩිම්පල් ට 16 ක් විය. ඔවුනගේ වයස් පරතරය අව්රුදු 14 ක් විය. 'බොබි' චිත්‍රපටයේ රඟපා ලොව වටා විශාල ජනප්‍රියත්වයක් ලැබූ ඩිම්පල්ට චිත්‍රපට ගලා ආවද, රාජේශ් විසින් ඇයට රඟපෑම තහනම් කර තිබුණි. ඇය ප්‍රථම චිත්‍රපට යෙන්ම හොඳම රඟපෑමට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත්තාය.
රාජේශ්ට හා ඩිම්පල්ට දියණියෝ දෙදෙනෙක් සිටිති. ඒ ට්වින්කල් හා රින්කෙය. එහෙත් රාජේශ් හා ඩිම්පල්ගේ විවාහය පැවතුණේ අව්රුදු 9 යක් පමණි. 1982 වර්ෂයේ ඔවුන් වෙන්විය. 1984 වර්ෂයේදී එවකට නවක එහෙත් ජනප්‍රිය නිළියක් වූ ටීනා මුනිම් සමඟ රාජේශ් කන්නා ප්‍රේම සම්බන්ධයක් ගෙන ගියද, ඔහු ඇයව විවාහ කර නොගත්තේ ඔහුගේ දියණියන් දෙදෙනාට එයින් කැළලක් ඇතිවේ යැයි සිතු නිසාය.
රාජේශ් කන්නා, දේශපාලනයට යොමු විය. ඔහු ඉන්දීය පාර්ලිමේන්තු ව නියෝජනය කළේ ඉන්දියානු ජාතික කොංග්‍රසයෙනි. ඒ 1992 සිට 1996 දක්වාය.
රාජේශ් කන්නා 1969 සිට 1970 අතර තිබූ දශකයේ චිත්‍රපටවල රඟපාන විට ඉන්දියානු රුපියල් ලක්ෂ 10 ක් පමණ අය කර තිබූ අතර, එය ක්රමන් ක්‍රමයෙන් වැඩි කළේය. 1974 සිට 77 දක්වා ලක්20- 30 ක්ද, 1978 සිට 82 දක්වා ලක්ෂ 30- 57 ක්ද,1982 කත් 89 ත් අතර, ලක්ෂ 50-70ත් අතර ඉපැයීය.
එකල ඔහුගේ සමාකාලින නිළියන් වූයේ, ෂර්මිලා තාගෝර්, මුම්ටාස්, නන්දා, මාලසිංහ, සීනත් අමාන්, හේමා මාලනී, තනුජා, රේඛා ,රාඛි වැන්නන්ය.
ඔහු හොඳම නළුවා ලෙස තුන්වරක් ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනා ඇත. ඒ 1971 දී 'සච්චා ජූතා' හී ද්විත්ව රඟපෑම වෙනුවෙනුත්, 1972 වසරේ තිරගත කළ 'ආනන්ද්' චිත්‍රපටය වෙනුවෙනුත්, 1975 වසරේ තිරගතවූ 'අවිශ්කාර්' චිත්‍රපටය වෙනුවෙනුත්ය. ඒ හැරෙන්නට 1991 වසරේ විශේෂ ෆිල්ම්ෆෙයාර් සම්මානයක් දිනාගත් අතර, 2005 වසරේදී ෆිල්ම් ෆෙයාර් යාව ජීව සම්මානය (Life Time Achievement) ලැබුණි.
රාජේශ් කන්නා, වානිජ චිත්‍රපටවලට අමතරව කලාත්මක චිත්‍රපට කීපයකම රඟපා ඇත. 'ආනන්ද්', ' සෆර්', 'අවිශ්කාර්' එලෙස ඔහු රඟපෑ කලාත්මක චිත්‍රපටයන්ය.
ඔහුගේ ආගමනයෙන් කිසිදු නළුවකුට මුලින් බලපෑමක් ඇති නොවීය. එහෙත් 'ආරාධනා', 'සච්චා ජූටා', 'අප්නා දේශ්' 'හාති මෙරේ සාති' යන චිත්‍රපට නොසිතු ලෙස දැවැන්තව ජනප්‍රිය වූ පසු, ඔහු සුපර් ස්ටාර් විය. ඉන්පසු නම් බොහෝ නළුවන්ට පසුබසින්නට සිදු විය. එකල ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම සිටි ශමිමි කපූර්, ජීතෙන්ද්ර, ශෂි කපූර්, ධර්මේන්ද්‍ර, රාජේන්ද්‍ර කුමාර් වැනි අය දරා සිටි කිරුළු රාජේශ් කන්නාට බාර දෙන්නට සිදු විය. ජෝයි මුඛර්ජි, බිස්වජිත්, සංජේ, සන්ජීව් කුමාර්, මනෝජ් කුමාර්, ෆෙරෝස් ඛාන්, වැනි නළුවන්ට යන එනමන් නැති විය.
අමිතාබ් බච්චන්, මුලින්ම හින්දි සිනමාවට පැමිණියේ දෙවනි පෙලේ නළුවෙකුසේම, ක්ලැසිකල් නළුවෙකු සේය. ඔහු, රාජේශ් සමඟ කලාත්මක චිත්‍රපටයක් වූ 'ආනන්ද්' හී සහයක චරිතය රඟපෑවේය. අමිතාබ් 'සන්ජීර්' චිත්‍රපටයෙන් 'ඇක්ෂන් හීරෝ' ලෙස ජනප්‍රිය වූවද, ඔහුට රොමැන්ටික් නළුවකු ලෙස ඉදිරියට එන්නට නොහැකි විය. කොටින්ම රාජේශ් කන්නාගේ රොමැන්ටිකල් රඟපෑමට, අමිතාබ්ට කිට්ටු වන්නටවත් බැරි විය. එහෙයින් කිසිදිනයක අමිතාබ්ගේ ජනප්‍රියත්වය, රාජේශ් කන්නාට කුමන අයුරකින්වත් බලපෑවේ නැත.
රාජේශ් හා අමිතාබ් එකට රඟපෑවෙි චිත්‍රපට දෙකක පමණි. 'ආනන්ද්' හැරුණු විට, අනෙක් චිත්‍රපටය වූයේ 1974 තිර ගත කළ 'නමක් හරාම්' චිත්‍රපටයයි. ඉන්පසු ඔවුන්ට එකට රඟපෑමට අවස්ථාවක් ලැබුණේ නැත.
රාජේශ් කන්නා පසු කලෙක තදටම මත්පැනට යොමු විය. තමන්ගේ ජනප්රිටත්වය හීනවීම, වයස යනවිට තම සුපර්ස්ටාර් කිරුළ ගැලවීම මෙන්ම, ඔහු හා ඩිම්පල්ගේ විවාහයේ හැල හැප්පීම් තුළින් ඔහු දැඩි පීඩාවට පත්විය. ඔහු මත්පැනට ලොල් විය.එයින් ඔහුගේ අක්මාව නරක් විය.
2011 වසරේදී රාජේශ් කන්නා ට පිළිකාවක් වැළදුණි. අවුරුද්දක් ඇතුළත පිළිකාව වර්ධනය විය. එයින් බේරීමට ඔහුට නොහැකි විය.
2012 වසරේ ජුලි 18 වැනි දින ඔහු මිය ගියේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 70 ක් විය.
ඔහු මිය යෑමට හේතුව වූයේද මේ පිළිකාවමය.
පසු කලෙක ෂාරුක් ඛාන් පැමිණ හින්දි සිනමා කිරුළ තම අතට ගත්තද, 60-70 දශකය තුළ රාජේශ් කන්නා පෙන්වූ ඒ රොමැන්තික රංගනයට නම් ශාරුක් කාන්ටවත් ලංවීමට නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd