ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වාගෙන යන ණය ගිවිසුම තවදුරටත් දිගු නොකිරීමට  ආණ්ඩුව මේ වනවිටත් තීන්දුවකට එළඹ ඇත. එම පුවත මෙයට සති කිහිපයක පෙර ඉරිදා ලංකාදීප පත්‍රයේ ප්‍රධාන පුවත ලෙස පළවූ අතර මේ වනවිට ජනාධිපතිවරයාගෙන් පසු ආණ්ඩු පක්ෂයේ බලවත්ම පුද්ගලයා වන බිමල් රත්නායක ඇමැතිවරයා විසින් එය තහවුරු  කර තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹි මෙම ගිවිසුම ලබන වසරේ මාර්තු අවසානයේදී ගිවිසුම්ගත කාලය අවසන් වෙයි.

මේ වනවිට රජය තීන්දු කර ඇත්තේ එම ගිවිසුමේ කාලය අවසන් වූ පසු යළිත් ගිවිසුමකට නොඑළඹීමටය. මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අවස්ථා කිහිපයකදීම රජය තුළ සාකච්ඡා සිදුවී ඇති අතර වත්මන් රජය අයි එම් එෆ් පදයට නටන බවට  විපක්ෂය නිරතුරුවම චෝදනා නගන්නේ යැයි මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ. ගොවීන්, ධීවරයන් ඇතුළු විවිධ අංශ සඳහා සහනාධාර ලබාදීමට මෙම ගිවිසුම බාධාවක් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහසය. මාලිමාවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් මෙහිදී කියා ඇත්තේ දැනට ක්‍රියාත්මක වන අයි එම් එෆ් ගිවිසුම නියමිත කාලසීමාවෙන් පසු ඉබේම අක්‍රියවීමට ඉඩ හරින බවත් යළිත් ගිවිසුමකට එළඹීමට අදහසක් නොමැති බවත්ය. මෙම ගිවිසුම ඉබේම අවසන් වීමෙන් පසු තමන්ගේම ක්‍රමයක් යටතේ ආර්ථිකය හැසිරවීමට රජය සලකා බලාගෙන යන බවද දැනගන්නට ඇත.

මෙම අයි එම් එෆ් ගිවිසුම පිළිබඳව වත්මන් රජය විපක්ෂයේ සිටියදී කතා කළේ චෝදනා මුඛයෙනි. තමන්ගේ රජයක් යටතේ එම ගිවිසුම වෙනස් කරන බව එදා පැවසුවද ජනාධිපතිවරයා බලයට පත්වූ පසු පැරණි ගිවිසුම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු ඉදිරියට ගෙන ගියේය. විවේචනාත්මකව සිටි පක්ෂයක් බලයට පැමිණීමෙන් පසු මේ තරම් කාලයක් හෝ එම අයි එම් එෆ් ගිවිසුම පවත්වාගෙන යාම පිළිබඳව රජයට ස්තුතිය පළකළ යුතුය.

පක්ෂය තුළින් විවිධ විරෝධතා මතුවුවද ජනාධිපතිවරයාගේ තීන්දුව වූයේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා එම ගිවිසුම අත්‍යවශ්‍ය බවය. හිටපු ජනාධිපතිවරයා සමග එම ගිවිසුමට උරදුන් රාජ්‍ය නිලධාරීන්ද මෙරට වාණිජ සංගමයේ නිලධාරීන්ද තම රජය යටතේද ස්ථාවරව තබා ගැනීමට ජනාධිපතිවරයා එදා පියවර ගත්තේය. එහෙත් දැන් රජයට තමන්ගේම ක්‍රමයකට ආර්ථිකය හැසිරවීමට  වුවමනා වී ඇති බවක් පෙනී යයි. ප්‍රශ්නය වන්නේ එවැනි හැකියාවක් වත්මන් රජයට තිබේද යන්නය.

වත්මන් රජය බලයට පැමිණි පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩ සටහනෙහි වාරික දෙකක් ලබාදීම නියමිත කාලයට වඩා ප්‍රමාද විය. පළමු අවස්ථාව වූ හතරවැනි වාරිකය ප්‍රමාද කෙරුණේ පළාත් පාලන මැතිවරණය අවසන්වූ අවස්ථාවේය. එම වාරිකය ලබාදීම සඳහා රාජ්‍ය ආයතන 527ක් තවදුරටත් රජයේ පාලනය යටතේ නොපවත්වා තම වියදම් තමාම සොයා ගන්නට කෙරෙන යෝජනා මාලාවක් මූල්‍ය අරමුදල ඉදිරිපත් කළේය. එම යෝජනාව අනුව තම වියදම් තමාම සොයා ගැනීම යනුවෙන් අර්ථගැන්වූයේ එම ආයතන රජයේ පාලනයෙන් ඉවත් කිරීම හැර අන් දෙයක් නොවේ. විදුලිබල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කරගැනීම මූල්‍ය අරමුදල නිතරම පෙන්වා  දෙන කරුණක් වන අතර මෙවර රජය ඩීසල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 400ක සුවිශාල සහනාධාරයක් ලබා දුන්නේද විදුලි බල මණ්ඩලයේ මෙම පිරිවැය  රජය මගින් දරමිනි. මෙරට ඩීසල් ඉන්ධනයක් ලෙස භාවිත වන ප්‍රමාණයෙන් අතිවිශාල කොටසක් වාහන සඳහා භාවිත නොවන අතර තාප විදුලි බලාගාර ක්‍රියාත්මක  වන්නේ මෙම ඩීසල් මගිනි. ඒ අනුව රජය ජනතාව හමුවේ කුමක් කීවද අතිවිශාල ඩීසල් ඉන්ධන සහනාධාරය විදුලි බල මණ්ඩලයේ පිරිවැය කළමනාකරණය සඳහා බව පැහැදිලිය. මෙය මූල්‍ය අරමුදල යෝජනා කරන ක්‍රමයට පරිබාහිර වූවකි. එම නිසා මේ වනවිට මූල්‍ය අරමුදලේ 7 වැනි වාරිකය සමාලෝචන කටයුතු සිදු වුවද එය ලබාදෙන දිනයක් ගැන මුල්‍ය අරමුදල ස්ථිරව පවසා නැත. රජය අනාගත ගිවිසුමක් පිළිබඳ අදහස අතහැර  දැමීමට ද දිගින් දිගටම විදුලි නිෂ්පාදනය සඳහා ඩීසල් ඉන්ධන භාවිත කිරීම සහ එම පිරිවැය විදුලි පාරිභෝගිකයන් මත නොපටවා රජය මගින්ම දැරීමේ ප්‍රතිපත්තියක රජය සිටීමේ හේතුව  බලපාන්නට ඇතැයි සිතිය හැකිය. දිගින් දිගටම විදුලි නිපදවන පිරිවැය සඳහා රජයේ සහනාධාර ලබාදීමට මූල්‍ය අරමුදල දැඩි විරෝධයක් දක්වයි. 

ලාංකිකයන් සෑම විටම ජාත්‍යන්තර ණය දෙන ආයතන දෙස බලන්නේ රජයෙන් තමන්ට ලැබෙන සහනාධාර කප්පාදු කරන්නට එන රකුසකු ලෙසය. එහෙත් එම මතය නිවැරදි නොවේ. පෞද්ගලික අංශය තම භාණ්ඩ පාඩු ලබමින් අලෙවි කරන්නේ නැති ආකාරයටම රජය ද පාඩු ලබමින්  යම් භාණ්ඩ  හා සේවාවක් ලබාදිය යුතු  නැත. 

වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ තමා බලයට පත්වුවහොත් විදුලි බිල වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට තිහකින් අඩු කරන බවය. බලයට පත්වී ඉතා කෙටි කලකින් සියයට20 කින් විදුලිබිල අඩුකිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. එදා මූල්‍ය අරමුදල තම ණය ගිවිසුමේ 4 වැනි වාරිකය ප්‍රමාද කිරීමට හේතුවක් කර ගත්තේද මෙම විදුලි බිල අඩුකිරීමය. මේ වන විට 7 වැනි වාරිකය ද ලබාදීම යම් කාලයකින් ප්‍රමාද වී ඇති අතර රජයේ ඉදිරි වැඩ කටයුතු සඳහා මුල්‍ය අරමුදලේ නියාමනය හා කොන්දේසි ගැටලුකාරී වී ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ලාංකිකයන් සෑම විටම ජාත්‍යන්තර ණය දෙන ආයතන දෙස බලන්නේ රජයෙන් තමන්ට ලැබෙන සහනාධාර කප්පාදු කරන්නට එන රකුසකු ලෙසය. එහෙත් එම මතය නිවැරදි නොවේ. පෞද්ගලික අංශය තම භාණ්ඩ පාඩු ලබමින් අලෙවි කරන්නේ නැති ආකාරයටම රජය ද පාඩු ලබමින්  යම් භාණ්ඩ  හා සේවාවක් ලබාදිය යුතු  නැත. 1972 පැවැති ශ්‍රී ලනිපය  ප්‍රමුඛ සමගි පෙරමුණ රජයද ලෝක බැංකුවේ උපදෙස් මත තම අයවැය ලේඛනය ඇතුළු ආර්ථික ක්‍රමය පවත්වාගෙන ගියේ ඔවුන්ගෙන් ලබාගන්නා ණය වෙනුවෙන් ඔවුන් ලබාදෙන නියෝග පිළිපැදිය යුතු බැවිනි.

ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සැලකෙනුයේ තුන්වැනි ලෝකයේ රටවල රෝගී ආර්ථිකය ගොඩනැගීමට ස්වේච්ඡාවෙන් උපදෙස් ලබාදෙන වෛද්‍යවරුන් දෙදෙනා හැටියටය. ණය ලබාගැනීමට ඔවුන් දෙන උපදෙස් පිළිපැදීම 1965 සිට දිගටම ලංකාවේ අත්දකින්නට ලැබිණි. 1972 න් පසු අය වැය ලේඛන සැකසුණේ නිතරම මූල්‍ය අරමුදලේ උපදෙස් මතය. එජාපය 1994 බලයෙන් ඇද වැටීමට පෙර 1992 හා 1993 අයවැය ලේඛන  දෙකම සැකසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සෘජු උපදෙස් මතය. එමගින් ණය ලබා නොගත් බොහෝ අවුරුදුවලත්  මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සැදි පැහැදී සිටියේ මුල්‍ය අරමුදලේ උපදෙස් මත ආර්ථිකය මෙහෙයවීමටය. එහෙත් ප්‍රශ්නය වන්නේ එම උපදෙස් පොදු ජනතාවට රුචි නොවීමය. මෙයට පෙරද අවස්ථා ගණනාවක්ම මුල්‍ය අරමුදල ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අනවශ්‍ය වියදම් සීමා කරන මාර්ගෝපදේශන නිකුත් කළේය. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මුල්‍ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා  මුල්‍ය අරමුදලේ පිහිට පැතූ අවස්ථාව ඉන් එකකි. මහවැලි සංවර්ධන කඩිනම් සැලැස්ම  ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපීය රටවල් ගණනාවක්ම ජයවර්ධන රජයට සහාය පළ කළ අතර ඔවුන්ගේ ඉල්ලීම වූයේ මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ලංකාවේ ආර්ථික කටයුතු ගැන සහතිකයක් ලබා දිය යුතු බවය. එම රටවලට අවශ්‍ය වූයේ තමන් ලබාදෙන ආධාර අපතේ නොයන බවට සහතිකයක් සහ ඉන්පසු ශ්‍රී ලංකා  රජයේ අනවශ්‍ය වියදම් නතර කිරීමේ සහතිකයකි. එම රජය මහවැලි, ගම් උදා වැඩපිළිවෙළ සහ කටුනායක  නිදහස් වෙළෙඳ කලාපය ඇරඹුයේ  ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍යායතන මගින් ලැබුණු ආධාර කළමනාකරණය කිරීමෙනි.

වර්තමානයේද මුල්‍ය අරමුදල ඉදිරිපත් කරන කොන්දේසි පිටුපස සිටින්නේ ලෝකයේ බලවත් රටවල් බව රහසක් නොවේ. ලබා දෙන ණය මුදලේ උපරිම කාර්යක්ෂමතාව සඳහා එම කොන්දේසි ඉදිරිපත් කරන අතර රජයේ සුබසාධන වියදම් සමග ගැළපීමේදී රජයට එම කොන්දේසි  අමතර බරක් බවට පත්වෙයි.

මේ වනවිට විපක්ෂය පෙන්වා දෙමින් සිටින්නේ රජය ආර්ථිකය ස්ථාවර කර ගැනීමට නම් තවදුරටත් මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළඹිය යුතු බවය. ආර්ථිකය අසීරුවෙන් යථාවත් කර ගනිමින් තමන් රට වැටී තිබූ බංකොලොත්භාවයෙන් රට මුදා ගත් බව පෙන්වා දෙන විපක්ෂය  කියා සිටින්නේ වත්මන් රජය වගකීම් විරහිතව මූල්‍ය අරමුදලේ ආර්ථික මග පෙන්වීමෙන් කර ඇරීමට උත්සාහ ගන්නා බවය. කෙසේ වෙතත් මූල්‍ය අරමුදල සමග පැවැති මෙම ගිවිසුම විපක්ෂය විසින් එළැඹුණු ගිවිසුමක් නිසා තමන් ගමන් ගත් මග නිවැරදි බවට විපක්ෂය මතයක් සමාජගත කරනවා වෙන්නට ද පුළුවන.

මූල්‍ය අරමුදල රටේ ආර්ථිකය ගොඩ දමන තුරු බලා සිටියාට  රට සංවර්ධනය වන්නේ නැත. ඒ සඳහා ජනතාවගේත් රජයේත් කැපවීම අත්‍යවශ්‍යය. ලෙඩකුට දොස්තර බෙහෙත් දුන් පමණින් ලෙඩය සුව නොවන්නේය. ලෙඩය සුවවීමට නම් ලෙඩා බෙහෙත් පානය කළ යුතුය. මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරවීමට මග පෙන්වූ පමණින් ආර්ථිකය ශක්තිමත් වන්නේ නැත. ඒ සඳහා රජයට ආදායම් උපදවන වැඩපිළිවෙළක් අවශ්‍යය. අද වනතුරුත් ශ්‍රී ලංකා රජය ආදායම් උපදවන කටයුතුවල නිරත නොවේ. ලබන එකම ආදායම ජනතාව සූරා ලබාගන්නා බදු පමණය. මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ඉවත් වුවද ආණ්ඩුව වඩාත් සැලකිලිමත් විය යුත්තේ  රටේ මූල්‍ය ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම පිළිබඳවය. එහිදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම පහළ බස්වා ගැනීමට රජය උනන්දු විය යුතුය. මේ වනවිට රුපියල්  තුන්සිය තිහක පවතින  ඩොලරයේ රුපියල් වටිනාකම ඉහළ නොයනු පිණිස රජය වගබලා ගත යුතු බව අපේ අදහසය. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ රුපියල් තුන්සිය හැට ඉක්මවා ඩොලරයේ රුපියල් වටිනාකම ඉහළ ගිය අවස්ථාවේ රට බංකොලොත් වූ ආකාරයත් එම තත්ත්වයෙන් ගැලවීම  සඳහා මූල්‍ය අරමුදල මග පෙන්වූ ආකාරයත් අනුව බලනවිට මූල්‍ය අරමුදලේ ගිවිසුම ප්‍රයෝජනවත් වූ බව අමතක කළ නොහැකිය. 

රජය මේ වනවිට මූල්‍ය අරමුදලේ ප්‍රධාන උපදෙස් වන රාජ්‍ය සේවකයන්  සංඛ්‍යාව  අඩුකිරීම, අස්වැසුම හා සමෘද්ධි වැනි සුබසාධක වියදම් අඩුකිරීම, විදුලි බිල ඉහළ නැංවීම වැනි යෝජනා සමග යම් අසීරු තත්ත්වයකට පත්වී සිටින බව පැහැදිලිය. රටක ආර්ථික ස්ථාවරභාවය සඳහා මෙම යෝජනා ඉතා සාධනීය හා ක්‍රියාත්මක  කළ යුතු යෝජනා බව පැහැදිලිය. එහෙත් එවැනි යෝජනා  ක්‍රියාත්මක කළ රජයට ජනතාව අතර පැවැත්ම ඉතා දුෂ්කරය. ජනතාවට ලැබෙන ප්‍රතිලාභ කපා හැරෙන විට මීළඟ මැතිවරණයට එය බලපායි. එවැනි දුෂ්කර අවස්ථාවකට පත්වීමට කිසිදු රජයක් සූදානම් නැත. රටේ ආර්ථිකය ස්ථාවරවම සුවපත් නැත. රටේ ආර්ථිකය ස්ථාරවම සුවපත් නොවුවත් මැතිවරණ සුරක්ෂිතභාවය පතා රජය අයි එම් එෆ් ගිවිසුමෙන් ඉවත්වීමට තීන්දු කර ඇතැයි අපට විශ්වාස කළ හැකිය.

ප්‍රේමකීර්ති රණතුංග