කාන්තා හා ළමා සුභසාධනය වෙනුවෙන් ආරම්භ කළ “සිරිලිය සවිය”‍ සමාජ සත්කාරක ආයතනයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ වික්‍රමසිංහ මහත්මිය ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය පසුගිය දා (07) නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, සැකකාරියට මරණාසන්න රෝගී තත්ත්වයන් හා හෘද රෝගී තත්ත්වයන් පවතින බවට විත්ති පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කළ ද, එම රෝගී තත්ත්වයන් තහවුරු කරන වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි. සැකකාරිය පොදු දේපොළ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බැවින් ඇප ලබාදීමට නම් සුවිශේෂී කරුණු අවශ්‍ය බව ද පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය, ඇයව පසුදින කොළඹ පෞද්ගලික රෝහලක සුපුරුදු අක්ෂි වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට ද නියෝග කළාය.

එමෙන්ම, සිරිලිය සවිය ගිණුමට මුදල් බැර කර රජයට පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ඇප මත මුදා හැරීමට ද නියෝග කෙරිණි. රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.

අල්ලස් කොමිසමේ කරුණු දැක්වීම 

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සිරිලිය සවිය සංවිධානයේ බැංකු ගිණුමට රජය ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් ලබාගත් මුදල් සැකකාර රාජපක්ෂ මහත්මියගේ පෞද්ගලික පරිහරණයට යොදවා ඇති බවයි.

දැනට කරන ලද පරීක්ෂණ අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක්, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 88ක්, හුවාවේ පෞද්ගලික ආයතනයෙන් රුපියල් මිලියන 22ක් ඇතුළු රජයේ හා පෞද්ගලික ආයතනවලින් විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවත්, සැකකාරිය එම මුදල්වලින් කොළඹ 07, ටොරින්ටන් ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගෙන ඇති බවත් අල්ලස් කොමිසම පැවසීය.

රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට යැයි පවසමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක් ලබාගෙන, අදාළ යන්ත්‍රය රෝහලට ලබා නොදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියට අදාළව, අංක 114, වලව්ව, මැදමුලන ලිපිනයේ ශිරන්ති මේරි ලු‍ඩස් වික්‍රමසිංහ රාජපක්ෂ සහ අංක 170, ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 ලිපිනයේ පදිංචි ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ යස්මදා ලොකුනාරන්ගොඩ මහත්මිය මෙසේ පැවසූවාය:

“අංක 100/19, වැලිකන්දවත්ත පාර, රාජගිරිය ලිපිනයේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණ විසින් 2015 ජනවාරි 20 දින යොමු කළ ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. තංගල්ල කාල්ටන් බංගලාවේ පවත්වාගෙන ගිය සිරිලිය සවිය සංවිධානය මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන යන අංක 143100146235069 දරන ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල කර තිබුණා. ඒ අනුව අල්ලස් කොමිසම, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 41, 42 හා 43 වගන්ති යටතේ විමර්ශනයක් ආරම්භ කළා.

එම පනතේ 61 වන වගන්තිය ප්‍රකාරව 2026 පෙබරවාරි 06 වන දින ආරම්භ කළ විමර්ශනයේදී, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක මුදලක් 2011 මැයි 09 වන දින ලංකා බැංකුවේ අංක 028445 දරන චෙක්පත යටතේ මහජන බැංකුවේ සිරිලිය ගිණුමට බැර කිරීම තුළින් සිදුවූ දූෂණ අක්‍රමිකතාවක් අනාවරණය වුණා.

දෙවැනි සැකකාරිය 2010 දෙසැම්බර් 08 වන දින එවකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති (පළමු සැකකරු) අමතමින් ලිපියක් යොමුකර මෙම මුදල් ඉල්ලා තිබෙනවා. කාල්ටන් සුව උදාන ව්‍යාපෘතිය යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට අරමුදලට දායක වන ලෙසත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ද ආධාර ඉල්ලා ඇති බවත් එහි සඳහන්. මෙම ඉල්ලීම බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කිරීමෙන් පසු, 2010 දෙසැම්බර් 17 දින එහි සාමාන්‍යාධිකාරීවරයා උපදෙස් දෙමින් අදාළ යන්ත්‍රයේ වටිනාකම දළ වශයෙන් මිලියන 50ක් පමණ වන බවත්, ශිරන්ති මහත්මියගේ ලිපියේ යන්ත්‍රයේ වටිනාකම මිලියන 140ක් ලෙස සඳහන් වී ඇත්තේ වැරදීමකින් බවත් දක්වා තිබෙනවා. එම සාමාන්‍යාධිකාරීවරයාගෙන් 2026.07.24 සහ 2026.08.03 දිනවල ලබාගත් ප්‍රකාශ සාක්ෂි ලෙස ඉදිරිපත් කරනවා.

මෙම මුදල් වෙන් කිරීමේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කර නෑ. සාමාන්‍ය ක්‍රමවේදය අනුව මුදල් යොමු කළ යුත්තේ අදාළ කාර්යය සිදු කළ පසුවයි. මෙහිදී අල්ලස් පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව දූෂණය නම් වරද සිදු කරමින් මුදල් බැහැර කර ඇති බැවින් පළමු සැකකරු අත්අඩංගුවට ගත්තා.

සාමූහික සමාජ වගකීම යටතේ මුදල් ඉල්ලා ලබාගෙන, වෙනත් පෞද්ගලික කාර්යයන් සඳහා යෙදවීම සම්බන්ධයෙන් දෙවැනි සැකකාරිය 1982 අංක 12 දරන පොදු දේපොළ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළා. කාල්ටන් සුව උදාන ව්‍යාපෘතිය ලියාපදිංචි සංවිධානයක් නොවන බව රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ සංවර්ධන නිලධාරිනිය ප්‍රකාශ කර තිබෙනවා. සැකකාරිය පොදු දේපොළ පනත යටතේ ඉදිරිපත් කරන බවට සහකාර පොලිස් අධිකාරීවරයකුගේ සහතිකයක් ද ගොනු කර ඇති බැවින්, දූෂණ විරෝධී පනතේ 41(ඈ) උප වගන්තිය යටතේ නඩුව අවසන් වන තෙක් ඇය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”‍

විමර්ශන නිලධාරියාගේ කරුණු දැක්වීම 

ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසීය:

“සිරිලිය ගිණුමට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 88ක්, හුවාවේ ආයතනයෙන් මිලියන 22ක් ඇතුළු විවිධ ආයතනවලින් මුදල් ලැබී තිබෙනවා. අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනතේ වගන්ති ප්‍රකාරව අදාළ ගිණුම තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. 

රැස් කළ මුදල්වලින් රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබාදී නැතත්, සැකකාරිය ටොරින්ටන් ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගෙන ඇති බව තහවුරු වෙනවා.

2011 මැයි 04 වන දින පළමු සැකකරු විසින් නිසි ක්‍රමවේදයකින් හා අධ්‍යක්ෂ මණ්ඩල අවසරයකින් තොරව මෙම මුදල් ගිණුමට තැන්පත් කර තිබෙනවා. රාජ්‍ය ආයතන සඳහා වන චක්‍රලේඛ අනුගමනය නොකර මෙලෙස මුදල් දීම අල්ලස් පනත යටතේ දූෂණය නම් වරදට යටත් වන බැවින්, පළමු සැකකරුට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත්, දෙවන සැකකාරිය විමර්ශන අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටිනවා.”‍

මහේස්ත්‍රාත්වරිය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ කාල සීමාවේදී සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් අවශ්‍ය බවට රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලීමක් ලැබී නොතිබූ බවත්, එවකට රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් තිබී ඇති බවත්ය. 

එමෙන්ම, රෝහලකට මෙවැනි යන්ත්‍රයක් මිලදී ගැනීමට විශේෂඥ ඉංජිනේරු වෛද්‍යවරුන්ගේ අවසරය තිබිය යුතු මුත් එවැන්නක් ද තිබී නැති බව පැවසීය. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා ලබාදුන් ප්‍රකාශයකට අනුව, මෙය රැකියාවේ අවදානම මත බලහත්කාරයෙන් ලබාගත් මුදලක් බව ද අනාවරණය කළේය.

විත්ති පාර්ශ්වයේ නීතිඥ තර්ක 

පළමු සැකකාර ප්‍රදීප් කාරියවසම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස:

”මගේ සේවාදායකයාට පොදු දේපොළ පනත යටතේ චෝදනා එල්ල වී නැහැ. ඇප පනතේ 14 වන වගන්තිය ප්‍රකාරව ඕනෑම කොන්දේසියක් යටතේ ඔහුට ඇප ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටිනවා.

මගේ සේවාදායකයා ‘ස්ලීප් ඇප්නියා‘ නමැති බරපතළ රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. නින්දේදී ශ්වසන ක්‍රියාවලිය අඩාළ වන බැවින් ඔහුට යන්ත්‍රයක් භාවිතා කිරීමට සිදුව තිබෙනවා. නින්දේදී පැය දෙකකට වරක් 17 වතාවක් පමණ අවදි වන අතර, එය ජීවිත අවදානමක්. එමෙන්ම ස්නායු පද්ධතිය දුර්වල වීම නිසා හිස පිටුපස ගෙඩි දෙකක් ද හටගෙන තිබෙනවා.”‍

දෙවන සැකකාර ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා:

”දෙවැනි සැකකාරිය පොදු දේපොළ පනත යටතේ වරදක් කර ඇති බවට කෙරෙන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ‘සිරිලිය සවිය‘ 2006 දෙසැම්බර් 08 දින ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි කළ ආයතනයක්. එහි වෙනම අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටින අතර දෙවන සැකකාරිය එහි භාණ්ඩාගාරික නෙවෙයි. 

චීන ආධාර යටතේ ළමා රෝහලට රුපියල් මිලියන 160ක් පමණ වටිනා එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක් ලබාදුන්නේ ද මෙම ආයතනයයි. ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාදී තිබුණේ මිලියන 10යි. 2015දී අදාළ ගිණුම තහනම් කළ අතර, එම මුදල් අප ප්‍රයෝජනයට ගෙන නැහැ.

73 හැවිරිදි මගේ සේවාදායිකාව 2019 සිට හෘද රෝග සඳහා ප්‍රතිකාර ලබනවා. ධමනි කිහිපයක් අවහිර වී ඇති බැවින් හෘදයාබාධයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට වෛද්‍ය වාර්තා තිබෙනවා. ඇය මෑතකදී අක්ෂි ශල්‍යකර්මයකට භාජනය වූ අතර, ඇසට දූවිලි ගියහොත් අන්ධ වීමේ බරපතළ අවදානමක් පවතිනවා. 

2021 දී කළ මොළයේ ස්කෑන් පරීක්ෂණයකින් හෙළි වූ තත්ත්වයක් නිසා කරකැවිල්ල හැදී ඇදවැටීමේ ප්‍රවණතාවක් ද, කොඳු ඇට පෙළේ ආබාධයක් සහ ‘වෙරිකෝස්‘ තත්ත්වය නිසා කකුල්වල ශිරා ඉදිමීමේ රෝගී තත්ත්වයක් ද පවතිනවා. දෛනික කටයුතු තනිවම කරගැනීමට අපහසු මෙම රෝගී තත්ත්වයන් සුවිශේෂී කරුණු ලෙස සලකා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”‍

මහේස්ත්‍රාත්වරියගේ තීන්දුව 

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ අතිරේක මහේත්‍රාත්වරිය පෙන්වා දුන්නේ, පළමු සැකකරු අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඇප පනතේ 14 වන වගන්තිය ප්‍රකාරව රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින බවත්, විදේශ ගමන් තහනම් කරන බවත්ය.

දෙවැනි සැකකාරියට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කර ඇති බැවින් ඇප ලබාදීමට සුවිශේෂී කරුණු අවශ්‍ය වන බවත්, මරණාසන්න විය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳ කරුණු දැක්වුව ද ඒවා තහවුරු කිරීමට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. ඒ අනුව සැකකාර ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

අක්ෂි රෝහලට 

රක්ෂිත බන්ධනාගාරගත ශිරන්තී රාජපක්ෂ  කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අක්ෂි සායනයට ඉදිරිපත් කළ බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න පසුගිය සිකුරදා (09දා) පැවසීය.

අක්ෂි රෝගයක් ඇති සැකකාරියව කොළඹ පෞද්ගලික රෝහලක ඇයට ප්‍රතිකාර කළ සුපුරුදු අක්ෂි විශේෂඥ වෛද්‍යවරයාට ඉදිරිපත් කරන ලෙසට ඇයගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළ තිබුණද බන්ධනාගාරයේ සාමාන්‍ය ක්‍රියාදාමය අනුව බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය මත මෙසේ අක්ෂි සායනයට යොමු කළ බව ඔහු පැවසීය.

බන්ධනාගාර අධිකාරීවරයා විසින් බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාට යොමු කිරීමෙන් පසුව අදාළ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සාමාන්‍ය ක්‍රියාදාමය අනුව ජාතික රෝහලේ අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සායනයට යොමු කර නැවත බන්ධනාගාරයට රැගෙන ආ බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

රෝෂන් තුෂාර