■ ප්රශ්නය:
මේ ආණ්ඩුවේ ගෙවුණු වසර දෙක ගැන තියෙන තක්සේරුව කොයි වගේද?
■ පිළිතුර: ගෙවුණු අවුරුදු දෙකක විතර කාලය ඇතුළේ අපි සෑහෙන වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. රට ස්ථාවර වෙලා තියෙනවා. ආණ්ඩුව කෙරෙහි ජනතා ආදරය එලෙසම පවතිනවා. බංකොලොත් වෙලා තිබුණු ආර්ථිකයක් ස්ථාවර කරලා තියෙනවා. කුහක වෙන්නේ නැතුව බැලුවොත් පේනවා ඕනෑම අර්බුදයකට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයට අපි ආර්ථිකය ගෙනත් තියෙනවා කියලා. ඕනෑම කම්පනයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනගන්න අපි මේ අවුරුදු දෙකේ කටයුතු කළා. අනිත් පැත්තෙන් ජනතාවට සහන දීලා තියෙනවා. වැටුප් වැඩි කරලා තියෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය වගේ ක්ෂේත්රවල ශීඝ්‍ර වැඩ කොටසක් කරගෙන යනවා. විශේෂම කාරණය මේ රටේ වංචා දූෂණය නවත්තලා තියෙනවා. ඒ වගේම දූෂිතයන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය කෙරීගෙන යනවා. නීතිය කාටත් සමානයි කියලා අපි භාවිතාවෙන් ඔප්පු කරලා තියෙනවා. කොටින්ම අපිට මේ රටේ පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා සුභවාදී විදියට. රට හොඳ ගමනක් යමින් ඉන්නවා කියලා තමයි කියන්න තියෙන්නේ.
■ ප්රශ්නය:
හැබැයි ඔය අතරේ විපක්ෂයත් සටන් පාඨ ටිකක් අරගෙන පාරට බැහැලා තියෙනවා නේද?
■ පිළිතුර: විපක්ෂයට තියෙන්නේ ජනතාවගේ සටන් පාඨ නෙවෙයි, තමන්ගේ සටන් පාඨ. එක පාරක් ඒගොල්ලෝ පාරට බැස්සා සුරේෂ් සලේව බේරගන්න. තව පාරක් අනුරාධපුරේ රැස්වීමක් තිබ්බා නාමල්ව බේරගන්න කියලා. තව පාරක් ඒගොල්ලෝ මාධ්‍ය හමු තියලා කිව්වා ඒගොල්ලන්ගෙන් පලිගන්නවා කියලා. ඔය වගේ සටන් පාඨ තමයි විපක්ෂයට තියෙන්නේ. එහෙම නැතුව රටේ මහජනතාව වෙනුවෙන් සටන් පාඨ එයාලට නෑ. ඒ වගේම ඒගොල්ලෝ රටේ වෙච්ච දේශපාලන සංස්කෘතියේ වෙනස තේරුම් අරගෙනත් නෑ. ඒගොල්ලෝ ඔය කරපු උද්ඝෝෂණ ඔක්කොම දවසින් දෙකෙන් දියාරු වෙලා ගියා. ඒවා ජනතා සහභාගිත්වයෙන් සිද්ධ වුණු ඒවා නෙවෙයි. ඊයේ පෙරේදා ඔය විහාරමහාදේවී උද්‍යානයේ තිබිලා ඉවර වුණු උද්ඝෝෂණයත් ඒ වගේ එකක්. ඒකට පොදු භික්ෂූන් එකතු වුණේ නෑ. මහජනතාව වුණත් එකතු වුණේ නෑ. ඒක කුඩා කණ්ඩායමක වැඩක්. අපි දැක්කා ඒක ඉවර වෙලා ගිය විදිහ. දැන් ඔය අනුරාධපුරය පූජා භූමිය අල්ලගෙන කෑගහන්නෙත් ඒගොල්ලෝ තමයි. ජනතාවගෙන් දුරස් වෙච්ච බොරු සටන් පාඨ එක්ක පාරට බැහැලා විපක්ෂය දැන් පච වෙලා තියෙන්නේ. විපක්ෂයෙන් ආණ්ඩුවට නම් කිසිම බලපෑමක් නෑ.
■ ප්රශ්නය:
හැබැයි පහුගිය අවුරුදු දෙක ඇතුළේ මේ ආණ්ඩුවට එල්ලවුණු විවේචන කීපයක් තියෙනවා. ඇමතිවරුන්ට විශ්වාසභංග ආවා. කතානායකවරු මාරු වුණා. මේ වගේ දේවල් ඔබලා සැහැල්ලුවෙන් ගන්නවද?
■ පිළිතුර: නෑ, අපි ඒ දේවල් සැහැල්ලුවෙන් ගන්නේ නෑ. දේශපාලන පක්ෂයක් විදිහට අපේ කවුරු වැරැද්දක් කෙරුවත් ඒකට විධිමත් පරීක්ෂණයක් පවත්වලා හරි වැරැද්ද හොයලා බලනවා. වැරැද්දක් වෙලා තියෙනවා නම් අවශ්‍ය පියවර අපි ගන්නවා. අපි මීට කලිනුත් ඒක භාවිතාවෙන් ඔප්පු කරපු පක්ෂයක්. අපේ පක්ෂයේ ඉඳගෙන වැරදි කරපු සමහරුන් මීට කලින් අපි පක්ෂයෙන් නෙරපලත් තියෙනවා. අපි බලය නැති කාලෙත් එහෙම කරපු දේශපාලන ව්‍යාපාරයක්. අපි කිසිම කෙනෙක් පෞද්ගලිකව රකින්න යන්නේ නෑ. විපක්ෂය දැන් මොකක් හරි කියන්න ඕන නිසා ඕන දෙයක් බොරුවට කියනවා. පහුගිය කාලෙම ගල් අඟුරු ගැන කෑගැහුවා. ජනාධිපතිවරයා ඒ ගැන හොයා බලන්න ස්වාධීන පරීක්ෂණ කොමිසමක් පත් කළා. ඒකෙන් වැරැද්දක් වෙලා තියෙනවා නම් අවශ්‍ය නීතිමය පියවර ගනීවි. බොරුවට විශ්වාසභංග ගෙනාවා. හැබැයි ඒ ඔක්කොම පැරදුණා. හිටපු කතානායකවරයා සම්බන්ධයෙන් ඇතිවුණු ප්රශ්නයේදී යම් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න කියලා අපි කිව්වා එයාට ඉල්ලා අස්වෙන්න කියලා. ඒ අනුව එයා ඉල්ලා අස්වුණා. මීට කලින් එහෙම දේවල් අපේ රටේ වෙලා නෑ. කුමාර ජයකොඩිට ආපු ප්රශ්නයේදී වෙලා තියෙන්නේ ඒක එයා ඇමති වෙලා ඉන්න කාලේ වෙච්ච සිද්ධියක් නෙවෙයි, එයා කලින් වැඩ කරන අවස්ථාවේ වෙච්ච සිදුවීමකට අදාළ පරීක්ෂණයක් යන්නේ. ඇමතිවරයා විදිහට එයාට ඒකට වගකියන්න ඕන නෑ. ඒත් අපි කිව්වා ස්වාධීන පරීක්ෂණයක් යන නිසා ඒකට බාධාවක් නොවෙන්න ඉල්ලා අස්වෙන්න කියලා. ඒක සදාචාරාත්මක කාරණයක්. මීට කලින් එහෙම ආදර්ශ අපේ රටේ තිබුණේ නෑ. මේක වැරදි කරන අය රකින ආණ්ඩුවක් නෙවෙයි.
■ ප්රශ්නය:
මේ ආණ්ඩුවට විපක්ෂයෙන් එන ප්‍රධාන චෝදනාවක් තමයි මේක නිරාගමික ආණ්ඩුවක් කියන එක. මාලිමා ආණ්ඩුවෙන් බුදුදහමට නිසි තැන හම්බවෙන්නේ නෑ කියන එක. මේ වගේ චෝදනා දිගින් දිගටම එන්නේ ඇයි?
■ පිළිතුර: ආණ්ඩුවට එරෙහිව නඟන්න චෝදනාවක් නැතිවුණාම විපක්ෂය විසින් කියන ප්රලාපයක් විතරයි ඕක. ඡන්දෙට කලිනුත් විපක්ෂය ඔය වගේම බොරු ගොඩක් කිව්වා. අපි ආවොත් පෙරහැර නවත්තනවා කිව්වා, පන්සල් යන්න බැරි වෙනවා කිව්වා, පන්සලට දානේ හම්බවෙන්නේ නෑ කිව්වා, බුද්ධාගම විනාශ වෙනවා කිව්වා. ඔය කියපු එකක්වත් වුණාද පහුගිය අවුරුදු දෙකේ? ඒ ඔක්කොම බොරු බව ඔප්පු වුණා. ඇත්තටම සත්‍යය දකින ඕනෑම කෙනෙකුට පේනවා බුදුදහමට වැඩිම දේවල් කෙරුවේ පහුගිය අවුරුදු දෙක ඇතුළේ අපේ ආණ්ඩුව කියලා. විශාල වැඩ කොටසක් බෞද්ධ ආගම වෙනුවෙන් අපි කරලා තියෙනවා. එහෙම තියෙද්දී ඔය චෝදනාව කරන්නේ බලය ගිලිහිලා ගිය රාජපක්ෂලා, වික්‍රමසිංහලා ඇතුළු කල්ලිය විසින්. ඕක කිය කිය ආපහු එයාලට බලය ගන්න තමයි ඔය කුරුමානම් අල්ලන්නේ. ඒගොල්ලෝ හැමදාම තක්කඩි වැඩ කෙරුවේ ආගම ඉස්සරහට දාගෙන තමයි. බුදුදහමට ඇත්තටම තර්ජනය තියෙන්නේ කාගෙන්ද කියලා පහුගිය දවස්වලත් අපි දැක්කා. සිහි බුද්ධිය තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා බුදුදහමට අගෞරව කරන්නේ කවුද කියලා.
බුදුදහමේ කියන්නේ සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා කියලා. හැබැයි ඔය පහුගිය දවස්වල විහාරමහාදේවී එකේ කල්ලි ගැහිලා හිටපු සමහර හාමුදුරුවරුන් කෙරුවේ වස් කවි කිය කිය හදි හූනියම් කරපු එක. ඒවා බුදුදහමට අනුකූලද කියලා තමයි අපිට අහන්න වෙන්නේ. එතකොට බුදුදහමට සැබෑවටම අගෞරව කරන්නේ කවුද කියලා කාටත් පේනවා.
■ ප්රශ්නය:
විපක්ෂය නම් කියන්නේ ආණ්ඩුව වස් කවියකටත් බය වෙලා කියලා?
■ පිළිතුර: අපි වස් කවිවලට නෙවෙයි, උණ්ඩවලටත් බය නැතුව දේශපාලනය කරපු මිනිස්සු. ඔය චෝදනා කරන අය බලයේ ඉන්න කාලවලින් අපිව මර්දනය කරන්න හදපු හැටි කවුරුත් දන්නවා. ඒ කාලේ අපිට මේ අය සැලකුවේ වැඩිපුර උණ්ඩවලින්. අපි ඒවටත් බය නැතුව කටයුතු කරපු අය. අපි හිරගෙවල්වලටවත් බය වුණේ නැති මිනිස්සු. ඉතින් අපිව වස් කවියකින් බය කරන්න පුළුවන්ද?
■ ප්රශ්නය:
ත්‍රස්ත විරෝධී පනත ගැන ආපහු කතාබහක් ඇතිවෙලා තියෙනවා. සමහරු මේකටත් දොස් කියනවා?
■ පිළිතුර: අපි ඡන්දෙට කලිනුත් කිව්වා දැනට තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන පනත මානව හිමිකම් කඩන එකක්, ඒක නිසා අපි ඒක අහෝසි කරනවා කියලා. හැබැයි ලෝකය පුරා ත්‍රස්තවාදය තියෙන නිසා සහ අපි ලෝකයේ නොයෙක් රටවල් එක්ක ඒ පිළිබඳව ගිවිසුම් අත්සන් කරලා තියෙන නිසාත්, ජනතාවට අහිතකර නොවන අලුත් පනතක් ගේනවා කියලා අපි කිව්වා. ඒක තමයි මේ ගෙනත් තියෙන්නේ. මේකෙන් ජනතාවට කිසිම අහිතකර තත්ත්වයක් නෑ. විරෝධතා දක්වන්න හෝ උද්ඝෝෂණවලට හෝ මාධ්‍ය මර්දනයට හෝ මේ පනත කිසි ලෙසකින්වත් යොදා ගැනීමක් වෙන්නේ නෑ. සමහරු මේ ගැන බොරු බිල්ලෙක් මවනවා. එච්චරයි.
■ ප්රශ්නය:
ඒ ප්රශ්නය අහන්න සුදුසුම කෙනා ඔබ. මේ ආණ්ඩුවට ලොකු චෝදනාවක් තියෙනවා ජනාධිපතිවරයෙක් හිටියට, අගමැතිවරියක් හිටියට, කැබිනට් එකක් තිබුණට ඔක්කොම වැඩ සිද්ධ වෙන්නේ පැලවත්තට ඕන විදිහට කියලා. මොකක්ද මේ සමහරුන්ට තියෙන පැලවත්ත භීතිකාව? මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?
■ පිළිතුර: ඕකත් ඔය විපක්ෂයට කියන්න දෙයක් නැතුව කියන කතාවක්. සමාජය බිය වද්දන්න තමයි ඔය වගේ බොරු විලාප නගන්නේ. ආණ්ඩුව පැත්තක තියෙද්දී පැලවත්තේ අදෘශ්‍යමාන හස්තයකින් රට මෙහෙයවනවා වගේ එකක් තමයි පෙන්වන්න හදන්නේ. එහෙම කිසිම දෙයක් නෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. පැලවත්ත කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානය. ජාතික ජන බලවේගය ගොඩනැඟුණෙත් එතැන. ඒක නිසා ජාතික ජන බලවේගයේත් පක්ෂ මූලස්ථානය විදිහට තියෙන්නේ පැලවත්ත. ඉතින් දැන් තියෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. එතකොට මේ ආණ්ඩුව සම්බන්ධව තීරණ ගන්න, වැඩකටයුතු ගැන කතා කරන්න, සාකච්ඡා පවත්වන්න ජාතික ජන බලවේගයේ සියලු දෙනා එකතු වෙන්නේ පක්ෂ මූලස්ථානය විදිහට පැලවත්තට. ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුව රැස්වෙන්නේ පැලවත්තේ. ඒවට ජනාධිපතිවරයා එනවා. අගමැතිවරිය එනවා. කැබිනට් මණ්ඩලය එනවා. තව මැති ඇමතිවරු එනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එනවා. ආණ්ඩුවේ කිසිම තනතුරක් නොදරන, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවේ ඉන්න තවත් අය එනවා. ඒ අර්ථයෙන් ගත්තම පැලවත්ත කියන්නේ ආණ්ඩුකරණයේ කටයුතු සිද්ධවෙන තව එක තැනක් තමයි. නමුත් එහෙමයි කියලා පැලවත්තේ කිසිම අදෘශ්‍යමාන පුද්ගලයෙක් නෑ ආණ්ඩුව මෙහෙයවන.
ප්‍රියන්ත කොඩිප්පිලි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd