අවි බිම දමා යටත් වෙන්න - නෙදන්යාහු


අවි බිම දමා යටත් වන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගෙන් ඉල්ලා ඇත.

“නුඹලාගේ අවසානයේ ආරම්භය දැන් උදා වී අවසන්. නුඹලට දිනන්න ලැබෙන්නේ නැහැ. නුඹල ට මැරෙන්න වෙනවා. පණ බේරාගෙන යටත් වෙන්න. අවි බිම දාන්න” යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු හමාස් සටන්කාමීන් අමතමින් පැහැදිලි කළේය.

හමාස් සංවිධානය ගාසා තීරයේ බලයේ සිටින්නේ 2017 වසරේ සිටය. හමාස් සංවිධානය, දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය සමඟ සටන් වදින්නේ, හමාස් සන්නද්ධ අංශ සාමාජිකයන්ය.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් ඉතා සැලැසුම්සහගතව, දේශසීමා හරහා ඊශ්‍රායලයට ප්‍රහාර මාලාවක් එල්ල කළේය. හමාස් සටන්කාමීන් ‘මුලිනුපුටා’ දැමීමේ අරමුණින්, ඊශ්‍රායලය, ගාසා තීරයට පහරදීම ආරම්භ කළේ ඉන්පසුවය.

ප්‍රහාර ආරම්භ වී, මාස දෙකකට වැඩි කාලයක් ගත වී ඇති අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට අනුව, හමාස් සටන්කාමීන් දැඩි පසුබැසීමකට ලක්වී සිටින බව පැවැසෙයි.

දිනපතා හමාස් සටන්කාමීන් පරාජය බාරගෙන, ඊශ්‍රායල හමුදාවට යටත් වෙනවා යැයි ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.