මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින්, ඊශ්‍රායල හමාස් ගැටුම්වලට මැදි වී අසරණ වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ආරක්ෂිතව ගාසා තීරයෙන් පිටවී යෑමට ඉඩ ලබා දෙන්නැයි ඊශ්‍රායලයට බල කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට තවත් යෝජනාවක් ඉදිරිපත් විය.
සටන් විරාමයකට යන්නැයි ඊශ්‍රායලයට බල කිරීමක් එම යෝජනාව හරහා ද සිදු නොවුණු බව පැවැසෙයි. ඇමෙරිකාව, එක්සත් රාජධානිය පමණක් නොව, රුසියාව ද එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටි අතර, ඊශ්‍රායලය යෝජනාවට එකහෙලා විරෝධය දැක්වීය.
මේ වනවිට ගාසා තීරයේ විශාලතම රෝහල ලෙස සැලකෙන ‘අල් ෂිෆා’ රෝහලට ද ඊශ්‍රායල හමුදා කඩා වැදී පහර දෙයි. ඒ, හමාස් සටන්කාමීන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් රෝහල තුළ පිහිටුවා ඇති බැවිනි. හමාස් සටන්කාමීන් රෝහලේ රෝගීන් සහ පලස්තීන සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස රඳවා ගෙන ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර එල්ල කරන බව පැවැසෙයි.
‘අල් ෂිෆා’ රෝහලේ හමාස් සටන්කාමීන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති බව ඇමෙරිකන් බුද්ධි අංශ පවා තහවුරු කර තිබේ. හමාස් මෙහෙයුම් මධ්‍යස්ථානය පිළිබඳ තමන් ඊශ්‍රායලයට බුද්ධි තොරතුරු ලබා දුන් නමුත්, පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින් රෝහලට කඩා වැදී පහර දීමට ඊශ්‍රායලයට උපදෙස් නොදුන් බව ඇමෙරිකාව පැහැදිලි කර තිබේ.