(චමිලා අල්විස්)

හොරණ ඩිපෝවට අයත් ඉංගිරිය – කරදන ශ්‍රී ලංගම බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට කළු තෙල් මිශ්‍ර අසූචි සහ ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයක රියදුරකු සහ එහි හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය   කියයි.

ප්‍රහාරයට සම්බන්ධ බව කියන පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගැනීමෙන් පසු එම බස් රථයේ හිමිකරු ඉංගිරිය පොලිසිය අසලට පැමිණ ඇත.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණ සිටි ශ්‍රී ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා සමඟ පෞද්ගලික බස් රථයේ හිමිකරු ගැටුමක් ඇතිකරගෙන ඇති බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී මැදිහත් වූ පොලිස් නිලධාරියකුට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත බස් රථයේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන ඇත.

කළු තෙල් මිශ්‍ර අසූචි සහ ගල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ ශ්‍රී ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, කොන්දොස්තරවරයාගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (28) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.