(අංජුල මහික වීරරත්න)

මෙරට ඖෂධ  නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය පිළිබඳ ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇති බැවින් ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට දේශීය ඖෂධ  නිෂ්පාදකයන්ට විශාල අවස්ථාවක් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

ගෝලීය පාරිභෝගික සෞඛ්‍ය සන්නාම නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන හේලියන් ශ්‍රී ලංකා (Haleon Sri Lanka) සමාගම, මෙරට සිය සුවිශේෂී 70 වැනි සංවත්සරය සහ නිෂ්පාදන සන්නාමයන් හි 70 වැනි වසර සනිටුහන් කරමින් සංවිධානය කළ විශේෂ සැමරුම් වැඩසටහනක්  රත්මලාන/ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි Haleon ප්‍රධාන ඖෂධ නිෂ්පාදන ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම  අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහභාගී වූ අතර, එහිදී හේලියන් සමාගමේ රත්මලාන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඖෂධ නිෂ්පාදන කටයුතු ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ  නිරීක්ෂණයට ලක් විය.

සංවත්සර සැමරුම් අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පෙන්වා දුන්නේ, වසර 70ක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ සෞඛ්‍ය සහ ඖෂධ අවශ්‍යතා සපුරාලීමට සහ උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනයට හේලියන් සමාගම දක්වන දායකත්වය අතිශයින් අගය කළ යුත්තක් බවයි.

විශේෂයෙන්ම පැනඩෝල් වැනි සන්නාමයන් දශක හතක් පුරා ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනගාගෙන ඇති නොබිඳුණු විශ්වාසය පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී  සිහිපත් කළේය.

මෙරට ඖෂධ නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් පවතින බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, නිෂ්පාදන පිරිවැය අඩු කරගනිමින් අප්‍රිකානු කලාපය වැනි නැඟී එන ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට දේශීය නිෂ්පාදකයන්ට විශාල අවස්ථාවක් පවතින බවද සඳහන් කළේය.

රජයේ මූලිකම බලාපොරොත්තුව වන්නේ වඩාත් ගුණාත්මකභාවයෙන් උසස් ඖෂධ, ජනතාවට දරාගත හැකි මිලකට සහ නියමිත වේලාවට ලබාදීම බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ඖෂධ මිල නියාමනය කිරීම සහ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) ප්‍රවර්ධනය කරමින් ජාතික ආර්ථිකයට දායක වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නව සැලසුම් රැසක් දියත් කර ඇති බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.