ඖෂධ නියාමන අධිකාරිය ඇමතිගේ හදිසි නිරීක්ෂණයට


(අංජුල මහික වීරරත්න)

ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින  සියළුම සේවකයින් ධෛර්මත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය පෙනී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ජාවාරම්කරුවන්ගේ හෝ එම කණ්ඩායම්වල අභිලාෂයන් වෙනුවෙන් අමාත්‍යාංශය හෝ රජය කටයුතු නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ කොළඹ - 02 පිහිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හදිසි නිරීක්ෂණයකට එක්වෙමිනි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය රට තුළ පවතින ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ අදාළ ප්‍රමිතීන් සහතික කිරීම මගින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර,  ඖෂධ, සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන සහ රූපලාවන්‍ය ද්‍රව්‍යවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා නියාමනය,  අධීක්ෂණය සහ සාක්ෂි මත පදනම් වූ තීරණ ලබාදීම ද සිදු කරනු ලබන ආයතනයකි.