පිරවුම්හල් අසළ තදබදය අඩු කරන්න තවත් ජංගම ඉන්ධන පිරවුම්හල් 20 ක්


petrol

වොකෝද් මහා මණ්ඩල රැස්වීමට සහභාගි වූ පිරිස (වමේ සිට): වොකෝද් ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු ඊබ්‍රහිම් ජාහාම් අල් කුවාරි, මොහොමඞ් නාසර් මුබාරක් අල් හජ්රි, උප සභාපති අහ්මඞ් සායිෆ් අල් සුලායිති, සභාපති ෂෙයික් සවුද් අබ්දුල්රහ්මන් අල් තානි, නාසර් සුල්තාන් නාසර් අල් හමායිඩි, මොහොමඞ් අබ්දුල්ලාසිස් රෂීඞ් අල් සාද් යන මහත්වරුන්.

 

 

රට පුරා තව තවත් ජංගම ඉන්ධන පිරවුම්හල් යෙදවීමටත්, ඉන් 20 ක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමටත් සැළසුම් කර ඇති බව කටාර් ෆුවල් (වොකෝද්) සමාගම පවසයි. දැනට පවතින ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම් අවම කිරීම ඉහත සැළසුමේ ප්‍රධානම අරමුණයි.


“අපි හැකි ඉක්මනින් ජංගම ඉන්ධන පිරවුම්හල් ජාලය පුළුල් කරනවා. ඉන්ධන නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත ජංගම ඉන්ධන පිරවුම්හල් යොදා ගැනීම සඳහා අපි දැනටමත් අදාළ බලධාරීන් සමඟ ගිවිසුම්වලට එළැඹිලා අවසානයි” වොකෝද් සමාගමේ විශේෂ මහා මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් එහි ප්‍රධාන විධායක නිලධාරී ඊබ්‍රාහිම් ජාහාම් අල් කුවාරි පැවැසීය.


“මේ වන රට පුරා උපාය මාර්ගිකව වැදගත් ස්ථාන 6 ක ජංගම ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කර තිබෙනවා. හැකි ඉක්මනින් අපි තවත් ඉන්ධන පිරවුම්හල් 20 ක් ව්‍යාප්ත කරනවා” යැයි ඔහු වැඩි දුරටත් පවසයි.


වොකෝද් සමාගම විසින් ජංගම ඉන්ධන පිරවුම්හල් 30 ක් සඳහා ඇණවුම් ලබාදී ඇති අතර තවත් මාස තුනකින් පමණ ඒවා ලැබුණු පසුව ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති  වුවහොත් යොදා ගැනීම සඳහා සූදානමින් තබන බවද ඔහු පවසයි.


රට පුරා ඇති වොකෝද් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බටවල දිග වැඩි කිරීමේ කටයුතු ජූනි 6 වැනිදා වනවිට අවසන් කරන බවද ඔහු කියයි.


එම කාර්යය අවසන් වූ පසුව ඉන්ධන නිකුත් කරන යන්ත්‍රයේ ඕනෑම පැත්තකින් පැමිණෙන වාහනයකට ඉන්ධන නිකුත් කිරීමට තරම් ඉන්ධන බට දිගුවනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.


“බොහෝවිට ඉන්ධන ටැංකියේ පියන විවෘත වන්නේ වාහනයේ වම් පැත්තෙන්. ඒ නිසා එක් පැත්තක දිගු පෝළිමකුත් තියෙන විට අනෙක් පැත්තේ එකම වාහනයක්වත් නැති වෙනවා. ඒත් ඉදිරියේදී ඉන්ධන ටැංකිය මොන පැත්තේ තිබ්බත් දෙපැත්තෙන්ම එන වාහනවල ඉන්ධන ලබාදීමට තරම් ඉන්ධන බටයේ දිග ප්‍රමාණවත් වේවි” යැයි අල් කුවාරි පවසයි. නව ක්‍රමය නිසා වොකෝද් ඉන්ධන පිරවුම්හලට පැමිණෙන වාහනවලට ඉන්ධන නිකුත් කිරීමේ කාලය සැළකිය යුතු ලෙසින් අඩුවනු ඇත.