බ්‍රිතාන්‍ය විදේශ ලේකම් හදිසියේම යුක්රේනයට


බ්‍රිතාන්‍ය නව විදේශ ලේකම් ඬේවිඞ් කැමරන් පෙර දැනුම්දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.

විදේශ ලේකම්වරයා පෙර දැනුම් දීමකින් තොරව, යුක්රේනයට පැමිණියේ, ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින් යැයි ද පැවැසෙයි.

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ද වන ඬේවිඞ් කැමරන්, විදේශ ලේකම් ධුරයට පත් කෙරුණේ වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ මැදිහත් වීමෙනි. කැමරක් යළි දේශපාලනයට පිවිසියේ වසර 7 කට පසුව වීම ද විශේෂත්වයකි.

රුසියන් ආක්‍රමණය හමුවේ, නොකඩවා යුක්රේනයට මහා බ්‍රිතාන්‍යයේ සහාය ලබා දෙන බව අවධාරණය කිරීම ඬේවිඞ් කැමරන්ගේ මෙම යුක්රේන සංචාරයේ අරමුණ විය. යුක්රේන ජනාධිපතිවරයාගෙන් කැමරන්ට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.