(සුජිත් හේවාජුලිගේ)
රජයේ නිලධාරීන්ට ගෙවිය යුතු අප්‍රේල් මස වැටුප අද (10) ගෙවීමට කටයුතු කළ යුතු නමුත් කිසියම් පිළිගත හැකි හේතුවක් මත සංශෝධිත වැටුප ගෙවීමට අපොහොසත් වුවහොත් මෙතෙක් හිමිවූ වැටුප අද දින අනිවාර්යයෙන්ම ගෙවීමට කටයුතු කරන්නැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයකින් දැනුම් දී ඇත.
මේඅනුව නව වැටුප් සංශෝධනය අනුව අප්‍රේල් මාසය සඳහා ගෙවිය යුතු වැටුපෙහි හිඟ මුදල ලබන 25 දින ගෙවීමට කටයුතු කරන්නැයිද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.
2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීමට අදාළව මෙම චක්‍රලේඛය නිකුත් කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ යම් ආයතනයක නිලධාරීන්ට නව වැටුප අද ගෙවීමට යම් විදිහකින් හෝ නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම මැයි මාසය වෙන තෙක් නොසිට මේ මාසයේම 25 වෙනිදා එම හිඟ මුදල ගෙවන ලෙස සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවයි.
බොහෝ ආයතනවල නව වැටුප් සංශෝධනය අනුව වැටුප් දැනටමත් සකස් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.
යම් ආයතනයක නව සංශෝධනය අනුව වැටුප් සකස් කිරීමට තාක්ෂණික කාරණයක් හෝ වෙනයම් හේතුවක් මත හෝ නොහැකි වුවහොත් සේවකයන්ට අසාධාරණයක් නොවීම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කළ බවද චන්දන අබේරත්න මහතා පැවසීය.
රජයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 24250 සිට 40000ක් දක්වා රුපියල් 15759කින් වැඩි කිරීමට අයවැය යෝජනාවලියෙන් යෝජනා කෙරිණ. දැනට පවතින තාවකාලික අතුරුදීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කෙරෙන අතර රුපියල් 8250ක සුද්ද වැඩිවීමක් මූලික අවම වැටුපට අදාළව සිදු කිරීමට යෝජනා කර ඇත.
රුපියල් 15750ක අවම අවම මාසික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුපාර්තකයේ වටිනාකම සියයට අසූවකින් ඉහල නැංවෙනු ඇත. ඒ අනුව රුපියල් 25 250ක අවම වාර්ෂික වැටුප වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යන්නේය.
රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමටද කටයුතු කෙරේ රාජ්‍ය සේවකයන්ට මෙම වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 32500ක් වියදම් කිරීමට රජයේ අපේක්ෂා කරයි.