රාහුල්ට යළි මන්ත්‍රීවරයකු වීමේ අවස්ථාව ගිලිහෙයි


(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි හට නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.

ඒ අභියාචනය විභාග කිරීම අවසන් වන තුරු තමන් වරදකරුවකු ලෙස නම් කිරීම අත් හිටුවන ලෙස රාහුල් ගාන්ධි විසින් ගුජාරාත් මහාධිකරණයේ පෙත්සමක් ගොනු කරමින් කරන ලද ඉල්ලීම එම අධිකරණය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය පෙන්වා දී ඇත්තේ මෝදි වාසගමට අපහස කිරීම හේතුවෙන් රාහුල් ගාන්ධි වරදකරුවකු කිරීම සාධාරණ සහ නීත්‍යානුකූල ලෙස සිදු කර ඇති බවයි.

ගුජරාත් අධිකරණය එම ඉල්ලීම අනුමත කරනු ලැබුවේ නම් නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට රාහුල් ගාන්ධිට හැකියාව තිබිණ.

මහාධිකරණය රාහුල් ගාන්ධිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු මීළඟට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රකාශ කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ද  රාහුල් ගාන්ධිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් ඔහුට ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයට පෙනී සිටීමට හැකියාව නොලැබෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත.