(ගයාන් සූරියආරච්චි)

පොලොන්නරු අධිකරණ ශාලාවේ තිබූ නඩු වාර්තා 12 ක් හා අධිකරණය භාරයේ තිබූ රියැදුරු බලපත්‍ර 13 ක් සොරකම් කළ බව කියන මහ ඔය පොලිසියේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

එම සිදුවීම ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ දිනෙක සිදුව ඇති අතර එම කාලය වන විට සැකකාර පොලිස් සැරයන්වරයා පොළොන්නරුව පොලිසියට අනුයුක්තව රාජකාරී කර ඇති බව පොලිසිය කීය.

පොළොන්නරුව අංක 2 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ තිබූ නඩු වාර්තා 12 ක් හා අධිකරණය භාරයේ තිබූ රියැදුරු බලපත්‍ර 13 ක් අස්ථානගතවී ඇති බවට අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් ඉකුත් වසරේ මැයි මාසයේ කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර පොලිස් සැරයන්වරයා මහඔය පොලිසියේ රාජකාරී කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.