
(සුජිත් හේවාජුලිගේ )
රට පුරා පසුගිය 17 වැනි දින සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාවක් ජාතික පද්ධති ක්රියාකරු සමාගම විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කරනු ලැබීය.
එදින පෙරවරු 11.43ට පමණ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් ලබාදෙමින් තිබූ මෙගාවොට් 187ක විදුලි බලයක් මිලි තත්ත්පර 450ක් ඇතුළත පද්ධතියෙන් අහිමි වූ බව එම වාර්තාවේ දැක්වේ.
ඒ සමග විදුලි පද්ධතියේ සංඛ්යාතය හර්ට්ස් 48.75 දක්වා වේගයෙන් පහත වැටී ඇති අතර අදාළ සිදුවීම ආරම්භ වී තත්ත්පර 4.1ක් ඇතුළත සමස්ත විදුලි පද්ධතිය බිඳවැටී ඇති බවද අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
විදුලි පද්ධතියේ සංඛ්යාතය පහත වැටෙන අවස්ථාවලදී එහි ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ක්රියාත්මක වන ස්වයංක්රීය විදුලි බර විසන්ධි කිරීමේ ක්රමවේදයේ ((Under Frequency Load Shedding – UFLS) අදියර 05ම එම අවස්ථාවේදී ක්රියාත්මක වී ඇති බවද ජාතික පද්ධති ක්රියාකරු සමාගම අදාළ වාර්තාව මගින් සඳහන් කර තිබේ.
ඒ අනුව මෙගාවොට් 449.2කට සමාන විදුලියක් විසන්ධි වී ඇති අතර එය බිඳ වැටීමට පෙර පැවැති මෙගාවොට් 1,135ක සමස්ත විදුලි ජනනයෙන් 39.6%කට සමාන බවද අදාළ වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වුවත් අදාළ සිදුවීමෙන් විදුලි පද්ධතියේ සම්පූර්ණ බිඳ වැටීම වැළැක්වීමට නොහැකි වී ඇති බව අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත.
මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ ජනන ඒකකවලට අමතරව වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, සමනලවැව, ලක්ෂපාන සහ තවත් ජල විදුලි බලාගාර කිහිපයක ජනන ඒකකද ආරක්ෂක පද්ධති ක්රියාත්මක වීම හේතුවෙන් අක්රීය වී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
විදුලි පද්ධතියේ බිඳ වැටීමෙන් අනතුරුව එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වහා ආරම්භ කිරීමට ජාතික පද්ධති ක්රියාකාරු සමාගම කටයුතු කර ඇති අතර ඒ අනුව සමස්ත සම්ප්රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පැය 05යි මිනිත්තු 15ක කාලයක් ගතවූ බවද එහි සඳහන් කර ඇත.
ඒ අනුව ප්රධාන පද්ධති 04ක් භාවිත කරමින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ජාතික පද්ධති ක්රියාකරු සමගාම කටයුතු කර ඇති අතර ඒ අනුව මහවැලි පද්ධතිය යටතේ කොත්මලේ සහ වික්ටෝරියා, ලක්ෂපාන පද්ධතිය යටතේ නව ලක්ෂපාන සහ විමලසුරේන්ද්ර ජලවිදුලි බලාගාරය, සමනලවැව/ දකුණු පද්ධතිය යටතේ සමනලවැව සහ කුකුලේගඟ, මෙන්ම කොළඹ පද්ධතිය යටතේ කැලණිතිස්ස පද්ධති 04 භාවිත කරමින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
එමෙන්ම වාර්තාවට අනුව සියලුම ප්රධාන උපපොළවල් පස්වරු 4:58 වන විට යථා තත්ත්වයට පත් කිරීමට සමත්වී ඇති අතර ඒ අනුව සමස්ත ජාතික සම්ප්රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පැය 05 මිනිත්තු 15ක් ගතවී ඇති බවද වාර්තාව මගින් අනාවරණය කර ඇත.
විදුලිය පද්ධතියට එක් කිරීමේදී ජනන බලාගාරවල තාක්ෂණික ගැටළු මෙම විදුලි පද්ධතිය නැවත ක්රියාත්මක කිරීමේදී ඇතැම් ජනන බලාගාරවල තාක්ෂණික ගැටලු සහ මෙහෙයුම් ප්රමාදයන්ද වාර්තා වී ඇති බවත් ජාතික පද්ධති ක්රියාකරු සමාගම අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
විශේෂයෙන් යුගදනවි විදුලි බලාගාරයේ ජනන ඒකකයක් නැවත ක්රියාත්මක කිරීමේදී එහි උපකාරක පද්ධතියක ඇතිවූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ප්රමාදයක් සිදුව ඇති බවද මෙහි සඳහන් වේ.
කෙසේ නමුත් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් විදුලි බලය හදිසියේ අහිමිවීමට බලපෑ නිශ්චිත මූලික හේතුව අදාළ වාර්තාව මගින් මෙතෙක් තහවුරු කර නොමැති අතර ජාතික පද්ධති ක්රියාකරු සමාගම සඳහන් කරනුයේ මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරියේදී මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd