ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයේ පානදුර උතුර, ගාලු පාර, හෝරේතුඩුව 13 කණුව ප්‍රදේශයේදී පාපැදිකරුවකු ගැටී මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ කුසල් මෙන්ඩිස් මහතා ඊයේ ඇප පිට මුදාහරිනු ලැබීය. අනතුරට පත් වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයකු වන නෙවිල් පීරිස් මහතා බරපතළ තුවාල ලබා වැටී සිටියදී කුසල් මෙන්ඩිස් මහතා සිය රිය නොනවත්වා ධාවනය කර පලාගොස් පැයකට පමණ පසුව පොලීසියට බාර වූ බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. පොලීසියට ලද තොරතුරක් මත 1990 සුවසැරිය ගිලන් රථයෙන් පානදුර රෝහලට පාපැදිකරු රැගෙන ගොස් ඇති බවත් එහිදී ඔහු මියගොස් ඇති බවත් අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
කුසල් මෙන්ඩිස් යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකි. දෙකෝටි විසිලක්ෂයක් ඉක්ම වූ පුරවැසියන් සිටින රටක ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 11 දෙනා අතරට ඒමට සමත් වූ තම ස්ථානය රැකගැනීමට සමත් වූ ක්‍රීඩකයෙකි. මෙරට ජාතික ක්‍රීඩාව නොවූවද ජාතික ක්‍රීඩාවද ඉක්මවා ජන ආකර්ශනය දිනා ගැනීමට ක්‍රිකට් ක්‍රීඩාව සමත් වී ඇති අතර එම ජනප්‍රියම ක්‍රීඩාවේ ජනප්‍රිය ක්‍රීඩකයකු ලෙස කුසල් මෙන්ඩිස් ඉදිරියෙන්ම සිටියේය.
ඉහත අර්ථයෙන් ගත් කල්හි කුසල් මෙන්ඩිස් යනු සුවිශේෂ චරිතයකි. වගකීමක් ඇති පුරවැසියෙකි. ඔහු කටයුතු කළ යුතුවන්නේ එම වගකීම එයට හිමි නිසි බරින්ම හඳුනාගනිමින් එයට යටත්වය. රිය අනතුරක් වූ විට එයට පසු ගතයුතු පියවර සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස්ට අමුතුවෙන් වටහාදිය යුතු නැත. එසේ තිබියදී තම රියේ ගැටුණු මිනිස් ප්‍රාණියා මහපාර මැද තනිකර පලායාම කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයකුගෙන් අපේක්ෂා කළ නොහැකි දෙයකි. වගවීමක් නැති අනීතික අශිෂ්ට මදාවියකුගේ හැසිරීමක් කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයකුගෙන් ප්‍රදර්ශනය වීම ක්‍රීඩාවෙන් දායාදවන බව කියන විනයද ඔහු තුළ නොමැති බව ඔප්පු කිරීමකි.
කිසිවකු කැමැත්තෙන් ආශාවෙන් තවත් මිනිසකු මහපාරේ යටකර දමන්නේ නැත. ඇතැම්විට අනපේක්ෂිතව රිය අනතුරු සිදුවෙයි. ඇතැම්විට නොසැලකිලිමත්කම නිසා රිය අනතුරු සිදුවෙයි. තාක්ෂණික දෝෂ ආදිය නිසාද රිය අනතුරු සිදුවෙයි. හේතුව කුමක් වුවද රිය අනතුරකින් පසුව කළයුතු බොහෝ දේ වෙයි. පළමුව තුවාලකරුවා ක්ෂණිකව රෝහල්ගත කිරීමට කටයුතු කළ යුතුය. අනතුරුව නීතියට අනුව ඊළඟ ක්‍රියාමාර්ග ගත යුතුය. එහෙත් කුසල් මෙන්ඩිස්ගෙන් එම වගකීම ඉටුවී නැත.
අප ප්‍රවෘත්තියට අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයකුගේ උත්සවයක් තලංගම ප්‍රදේශයේ පැවැති අතර කුසල් මෙන්ඩිස් එහි සිට සිය නිවෙස කරා යනවිට මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවී ඇත්තේ අලුයම 5 ට පමණය. මරණකරු සිය බිරියගෙන් ලැබුණු තේ කෝප්පය පානය කර සේවයට වාර්තා කිරීමට යන අතරතුර හා කුසල් මෙන්ඩිස් සාදය නිමවා නිවෙසට යන අතරතුර දී මෙම අනතුර සිදු වී තිබේ. කුසල් මෙන්ඩිස් බීමත්ව සිටියේද යන්න පරීක්ෂා කිරීම සඳහා පොලීසිය ඔහුගේ රුධිර සාම්පලයක් ලබාගත් බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
ක්‍රීඩකයන්ටද පෞද්ගලික ජීවිතයක් තිබේ. අපි එය පිළිගන්නෙමු. ක්‍රීඩාව කවරක් වුවද එම ක්‍රීඩාවේ ජාතික සංචිතය තුළ යම් ක්‍රීඩකයකු සිටිත්නම් ඔහු රට සතු වස්තුවකි. ඔහුගේ සියලු ඇවතුම් පැවතුම් එම තත්ත්වයට යටත්ය. යමකු එම තත්ත්වය නොසලකා කටයුතු කරන්නේ නම් එය තමන්ම නින්දාවට පත්කර ගැනීමකි. එමෙන්ම එම ක්‍රීඩාව හෑල්ලුවට ලක් කිරීමකි. ක්‍රීඩකයන් තමන්ගේ තරාතිරම වගකීම සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක අවබෝධයකින් කටයුතු කළ යුතුය.
රිය අනතුරක් වූ විට රිය අනතුර කළ පුද්ගලයා එතැනින් පලා යාමටද හේතුවක් තිබේ. යම් අනතුරක් සිදු වූ විට එතැනට රැස්වන ඇතැම් පිරිස් ආවේගශීලීව හැසිරීම එක් හේතුවකි. රිය අනතුර සිදු වූ ආකාරය පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව රියැදුරාට පහරදීම, වාහනයට අලාභහානි කිරීම බොහෝ විට සිදු වේ. එහිදී ඇතැම් රියැදුරන් බොහෝවිට සිදු කරන්නේ රිය අනතුර සිදු වූ ස්ථානයේ නොසිට ළඟම ඇති පොලිසියට වාර්තා කිරීමය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් රටේ ජනතාව අවධානය යොමු කළ යුතුය. තමන්ගේ ආවේගශීලීත්වය ඇතැම් විට වැරැදි ප්‍රතිඵල අත්කර දෙන බව තේරුම් ගත යුතුය.
සැලකිලිමත් ලෙස රිය පැදවීම සෑම රියැදුරකුගේම වගකීමකි. එසේ නොවුණහොත් වටිනා මිනිස් සම්පත් වැනසී යයි. කුසල්ගේ රිය අනතුරෙන් පවුලක් රක්ෂා කළ මිනිසකුට දිවි අහිමි විය. ඒ පවුලට ඒ අඩුව පුරවන්නේ කවුරුන්ද?