විමල් CIDයට


(සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍ය  බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන්  කළ ප්‍රකාශයක් පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැවැත්වෙන  පරීක්ෂණයක්  සඳහා ප්‍රකාශයක් ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය හමුවේ අද (3)  පෙනී සිටියේය.

ඔහු වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නීතිඥවරයකු ලෙස එහි පෙනී සිටියේය.

තමා මීට පෙර කළ ප්‍රකාශයට අදාළ සියලුම ලිඛිත තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාර දුන් බවත්  බැසිල් රාජපක්ෂ මහතාගේ ඇමරිකානු දේපළ පිළිබඳ තොරතුරුද  එම ලිපි ගොනුවල අඩංගු වන බවත්   වීරවංශ මහතා මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

තමා  දුන්නේ ඔහුගේ වත්කම් වලින් කොටසක් බවත් සෙසු දේපළ පිළිබඳව  රජයට අවශ්‍ය  තොරතුරු ඇමරිකාවෙන් ඉතා ඉක්මනින් ගත හැකි බවත් මන්ත්‍රීවරයා කීවේය.

“ ආණ්ඩුව බොරුවට හාල්මැස්සන් අල්ලන්නේ නැතුව නියම හොරු අල්ලන්න කියලා මම කියනවා.  බැසිල් රාජපක්ෂ මහතාගේ දේපළ හොයන්න කියලත් මම ඉල්ලනවා.” වීරවංශ මහතා  කීය.