සජබ - එජාප දීග කතා උනන්දුව වැඩි වෙයි


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කරන සාකච්ඡා ලබන සතියේ සිට කඩිනම් කිරීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ලෙස තලතා අතුකෝරල මහත්මිය වැඩබාර ගැනීමත් සමග මේ වැඩ කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට යෝජනා වී ඇත.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් ජනතා බලවේගයක් ගොඩනැගීම සඳහා වන සාකච්ඡා එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ සහ තලතා අතු කෝරල මහත්මියගේ මූලිකත්වයෙන් ඉකුත් මහ මැතිවරණයට පෙර සිටම ආරම්භ කෙරුණු නමුත් එම සාකච්ඡා වල අවසන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි විය.

නමුත් වර්තමානයේ ඇති වී තිබෙන සමාජ ආර්ථික අර්බුද හමුවේ ප්‍රබල දක්‍ෂිණාංශික කඳවුරක එකතුවක් පිළිබඳව නැගෙන යෝජනා වලට පිළිතුරක් ලබා දෙමින් එජාප සජබ එකතුව සම්බන්ධ සාකච්ඡා නව මුහුණුවරකින් ඉදිරියට ගෙනයාමට අරඹන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකය සඳහන් කළේය.

එම සාකච්ඡා බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පූර්ණ නිදහස ලබා දී තිබේ.

සජබ, එජාප එකතුවක් වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකියාව තිබෙන බව සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම  බණ්ඩාර මහතා ද ඉකුත්දා ප්‍රකාශයට පත් කර තිබිණි.