හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ්ගේ හෙලි පහම ගුවන් යානයේදී දෙකට කැඩිලා


(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)

තමන් වෙනදා කටුනායක ගුවන් තොටුපොළට එන්නේ ඉතාම සතුටින් වුවත් , අද කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණියේ ඉතා කනගාටුවෙන් බව හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවති අල්ටිමේට් හෙල්ල විසි කිරීමේ ශූරතා තරගාවලිය ජයග්‍රහණය කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.

ඔහු එසේ පැවසූවේ සිය ජයග්‍රහණයන් සදහා භාවිතා කළ හෙල්ල 05 ම ඔහු පැමිණි ගුවන් යානය තුළ දී කැඩී තිබීමයි .

ඔහු ලෝක වාර්තා තැබූ එනම් හංගේරියාවේ බුඩාපේස්ට් නුවර දී මීටර් 91.09 ක් විසි කළ හෙල්ල , ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර දී මීටර් 92.07 ක් දුර විසි කල හෙල්ල ඇතුළු , ඔහු භාවිතා කරන හෙල්ල 05 ම කැඩී තිබීමයි .

ඔහු මෙම හෙල්ල මෙම වසරේ පැවැත්වෙන ආසියානූ ශූරතා තරගාවලියට එළඹෙන 2027 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලිය සහ 2028 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සදහා ද භාවිතා කිරීමටත් , ඉන්පසු ඒවා සිහිවටන ලෙස තමා සන්තකයෙහි තබා ගැනීමටත් රුමේෂ් තරංග සැළසුම් කර ගෙන තිබුණි .

මෙසේ කැඩී බිදී ගොස් තිබූ හෙල්ල පිළිබද , තුර්කි ගුවන් සේවයට එරෙහිව රුමේෂ් තරංග විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි .

ඔහු පිළිගැනීම සදහා රුමේෂ් තරංගගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් , ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරීන් සහ ඔහු සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .