
නිල ඇඳුමක අභිමානයටත්, පපුවේ පැළඳි පදක්කම්වල දිලිසීමටත් පිටුපසින් ඇත්තේ ලෝකයට නොපෙනෙන කැපකිරීම්වල කතාවකි. සිහින සැබෑ කරගැනීමට වෙහෙසුණු දින, අභියෝග හමුවේ නොසැලී සිටි අවස්ථා මෙන්ම තමන් තැබූ විශ්වාසය කිසිදා අත්නොහැරිය ගමනකි. ඒ ගමන තුළ දක්ෂතාවයෙන් මෙන්ම විනයෙන්, ධෛර්යයෙන් සහ අප්‍රමාණ කැපවීමෙන් ද ජයග්‍රහණයේ මංපෙත් විවර කරගත් ඇය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් පියුමි මධුෂිකා කත්‍රිආරච්චිය. නාවික හමුදා පුහුණුවේදී හිමි වූ ගෞරවනීය අසිපතේ සිට ඇමරිකාවේදී ලැබූ උසස් අධ්‍යාපනික ඇගයීම් දක්වා ඇය පැමිණි මේ ගමන එක් කාන්තාවකගේ ජයග්‍රහණයක් පමණක් නොවේ. එය සිහින දකින, අභියෝග හමුවේ නොසැලෙන, තමන්ගේ හැකියාව පිළිබඳ විශ්වාසය තබන සෑම ශ්‍රී ලාංකික කාන්තාවකටම ආඩම්බරයෙන් කියවිය හැකි කතාවකි.
”මගේ ගම හොරණ ප්‍රදේශයට අයත් දොඹගොඩ. අපි ජීවත් වුණේ ගහකොළින් පිරුණු, ස්වභාවදහමේ සුන්දරත්වය හොඳින් විඳින්න පුළුවන් පරිසරයක. පුංචි කාලේ ඉඳන්ම අපි ගහකොළට ආදරය කළා. ඒ පරිසරයත් එක්ක ගෙවුණු මගේ ළමා කාලය හරිම සුන්දරයි.
මම පවුලේ බාලයා. අපේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි, මමයි හිටියා. ගැහැනු දරුවන් තුන්දෙනෙක් හිටපු අපේ ගෙදර හරිම ආදරණීය පරිසරයක් තිබුණේ. ඒ කාලේ මතක් වෙද්දී අදටත් හිතට දැනෙන්නේ ලොකු සතුටක්.
මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ හොරණ රාජකීය විද්‍යාලයෙන්. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න මට අවස්ථාව ලැබුණා. මගේ ජීවිතයේ බොහෝ දේවල් ඉගෙන ගත්තේත්, ඉදිරි ගමනට අවශ්‍ය පන්නරය ලබාගත්තේත් පාසලෙන්.
මගේ තාත්තා පෞද්ගලික ආයතනයක සේවය කළ අතර අම්මා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කළා.”
ලුතිනන් කමාන්ඩර් තම ළමා කාලය ගැන ‘ඉරිදා ලංකාදීප‘යට පැවසුවේ එලෙසිනි.
පාසල් දිවිය තුළ අධ්‍යාපනයට පමණක් සීමා නොවුණු පියුමි මධුෂිකා දක්ෂ ක්‍රීඩිකාවක ලෙස ද කැපී පෙනුණාය. විශේෂයෙන්ම වොලිබෝල් ක්‍රීඩාවට ඇය තුළ තිබුණේ සුවිශේෂී දක්ෂතාවකි. සමස්ත ලංකා පාසල් වොලිබෝල් ක්‍රීඩිකාවක ලෙස දස්කම් දැක්වීමට සමත් වූ ඇය, එම ක්‍රීඩාව වෙනුවෙන් ඉන්දියාවේ සංචාරයකට ද එක් වූවාය. ඊට අමතරව ටේබල් ටෙනිස්, නෙට්බෝල් සහ මලල ක්‍රීඩා සඳහා ද ඇය පාසලේ නිවාසාන්තර තරගවලදී සහභාගි වූවාය. මෙලෙස ක්‍රීඩා පිටියෙන් ලැබූ අත්දැකීම් ඇගේ දක්ෂතා ඔප්නැංවීමට මෙන්ම විනය, කණ්ඩායම් හැඟීම සහ අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යාමේ ශක්තිය වර්ධනය කරගැනීමට ද මඟපෑදීය. පාසල් කාලයේදී ශිෂ්‍ය නායිකාවක ද වූ ඇය, පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක් වූවාය.
පියුමි මධුෂිකාගේ නාවික හමුදා සිහිනයට මුල් අඩිතාලම වැටුණේ ඇගේ ඥාති සොහොයුරකු නාවික හමුදාවේ සේවය කිරීමත් සමඟය. ඔහුගේ සේවයත්, නාවික හමුදා නිල ඇඳුම කෙරෙහි ඇය තුළ ඇති වූ ආකර්ෂණයත් නිසා නාවික හමුදාවට එක්වීමේ සිහිනය ඇගේ සිතේ ක්‍රමයෙන් වර්ධනය විය. ඒ අනුව පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඇය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. එහි අධ්‍යාපනය ලබමින් අනාගත ගමනට අවශ්‍ය පන්නරය ලබාගත් ඇයට, අවසානයේ තමන් කාලයක් පුරා සිහින දුටු නාවික හමුදාවටම එක්වීමේ වරම් හිමි විය.
“නාවික හමුදාවට එක් වෙනවාට අම්මගෙන් තාත්තගෙන් අකැමැත්තක් තිබුණේ නැහැ. පුංචි කාලේ ඉඳන්ම අධ්‍යාපනයත්, ක්‍රීඩාවත්, බාහිර ක්‍රියාකාරකම් සියල්ලමත් කරපු නිසා මම ක්‍රියාශීලී දරුවෙක් කියලා එයාලා දැනගෙන හිටියා. 2009 අවුරුද්දේ මම කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ 27 වන බඳවා ගැනීමට ඇතුළත් වුණා. ඒ හරහා මම නාවික හමුදාවට එකතු වුණා. අපිට පුහුණුවීම් සඳහා ත්‍රිකුණාමලයේ නාවික හා සාගරික විද්‍යාපීඨයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතැනට ගියාට පස්සේ නිතර ගෙදර එන්න යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ගෙදරින් ඈත් වෙලා මුල් කාලයේ පුහුණුවීම් කරගෙන යද්දී හිතට පොඩි දුකක් දැනුණා. ඒත් ඒ පරිසරයට ටිකෙන් ටික හුරු වෙද්දී පුහුණුවීම් කටයුතුත් එක්ක ඉදිරියට යන්න අපිට පුළුවන් වුණා.
පාසල් කාලයේදී ක්‍රීඩාවෙන් ලැබූ පන්නරය මට ඒ සඳහා ලොකු ශක්තියක් වුණා. ඒ නිසා පුහුණුවීම් කටයුතු මට එතරම් අභියෝගයක් වුණේ නැහැ. ක්‍රීඩාව තුළින් මම ඉගෙනගෙන තිබුණු විනය, කැපවීම සහ කණ්ඩායමක් විදිහට වැඩ කිරීමේ හැකියාව කියන හැම දේම මට එතැනදී ප්‍රයෝජනවත් වුණා.”
“අපිට ඉතා හොඳ පුහුණුකරුවන් පිරිසක් හිටියා. ඔවුන් අපිට පුහුණුව ලබාදුන්නා විතරක් නෙවෙයි, ඒ පුහුණුවීම්වල වැදගත්කමත් පැහැදිලි කරලා දුන්නා. මේ පුහුණුවීම් අපේ අනාගත නාවික හමුදා ජීවිතයට කොයි තරම් වැදගත්ද කියන දේ ඔවුන් අපිට නිතරම අවබෝධ කරලා දුන්නා. ඒ දිරිගැන්වීමත් එක්ක අපිට පුහුණුවීම් ගැන හොඳ අවබෝධයක් ඇති වුණා. ඒ නිසාම අපි හරිම කැමැත්තෙන්, උනන්දුවෙන් ඒ කටයුතු කරගෙන ගියා.”
2013 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුව අවසන් කළ නිලධාරිනියන් අතරින් ගෞරවනීය අසිපත (Sword of Honour ) දිනාගත් පළමු නිලධාරිනිය බවට පත්වීමට ඇය සමත් වූවාය. එහෙත් පුහුණු කාලය පුරා ඇගේ එකම අරමුණ වූයේ මෙම සම්මානය දිනාගැනීම නොවේ. ඇය තමන්ට පැවරුණු වගකීම් උපරිමයෙන් ඉටු කරමින්, නොපසුබට උත්සාහයෙන් සහ කැපවීමෙන් පුහුණුවීම් කටයුතුවල නිරත වූවාය. ඇගේ එම කැපවීමේ ප්‍රතිඵලය හිමි වූයේ විසිරයාමේ පෙළපාළියේදීය. එහිදී ගෞරවනීය අසිපත හිමිවීම ඇගේ ජීවිතයේ අමතක නොවන සුවිශේෂී අවස්ථාවක් විය. තමන් කළ කැපවීම පිළිබඳ නිහතමානී ආඩම්බරයක් මෙන්ම ආත්ම අභිමානයක් ද ඇගේ සිත තුළ ඇති විය. එම ඇගයීමත් සමඟ නාවික හමුදා සේවය කෙරෙහි ඇගේ බැඳීම තව තවත් ශක්තිමත් විය.
“2013 වසරේදී නාවික හමුදාවට එක්වීමෙන් පස්සේ මම විවිධ අංශවල රාජකාරි කටයුතු කරගෙන ගියා. ඒ කාලය තුළ නාවික හමුදාවෙන් පැවැත්වූ පාඨමාලා කිහිපයක්ම සම්පූර්ණ කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ විදිහට රාජකාරි අත්දැකීම් ලබමින් ඉදිරියට යන අතරේ, ඇමරිකානු රජය මඟින් International Military Education and Training (IMET) වැඩසටහන යටතේ ලබාදෙන පුහුණු අවස්ථාවක් ගැන දැනගන්න ලැබුණා.
ඒ සඳහා නාවික හමුදාවෙන් නිලධාරීන් තෝරාගැනීමේ නිර්ණායක මාලාවක් තිබෙනවා. ඒ අනුව මමත් ඒ අවස්ථාවට අයදුම් කළා. නාවික හමුදාවේ තෝරාගැනීමේ ක්‍රියාවලියට මුහුණ දීලා ඒ සඳහා සුදුසුකම් ලබන්න මට පුළුවන් වුණා. ඉන් පසුව පැවැත්වුණු විභාගයෙන් ද සමත් වෙලා ඇමරිකාවේ පැවැත්වෙන පුහුණුවට සහභාගි වීමේ අවස්ථාව හිමි වුණා.”
“මම විවාහ වුණේ 2018 වසරේදීයි. මගේ සැමියා ලුතිනන් කමාන්ඩර් කල්හාර ගුණරත්න. අපිට දැන් අවුරුදු හතක පුංචි පුතෙක් ඉන්නවා. එයාගේ නම යහත් දෙව්රම්. මම ඇමරිකාවට පුහුණුවීම් සඳහා යද්දී පුතා ඉපදිලා හිටියේ. ඒ නිසා අම්මා කෙනෙක් විදිහට පුංචි පුතාව දාලා දුර රටකට යන එක මට ලොකු අභියෝගයක් වුණා. නමුත් ඒ වෙලාවේ මගේ සැමියාගෙන්, අම්මාගෙන්, තාත්තාගෙන්, සහෝදරියගෙන් වගේම සැමියාගේ පවුලේ අයගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හැමෝම පුතාගේ වගකීම භාරගෙන මට මගේ පුහුණුවීම් කටයුතු සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දුන්නා. ඒ අය පුතාව ආදරයෙන් බලාගත්තු නිසා තමයි මට මගේ රාජකාරි වගකීම් ගැන හිතලා පුහුණුවීම් කටයුතුවලට අවධානය යොමු කරන්න පුළුවන් වුණේ.”
“2024 ජූලි මාසයේදී ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවැත්වුණු එම පුහුණු වැඩසටහනට සහභාගි වූ මම, මාස 18ක පමණ කාලයක් එහි පුහුණුවීම් කටයුතුවල නිරත වුණා. ඒ කාලය තුළ මට තිබුණු ලොකුම අභියෝගය වුණේ මගේ පුතාගෙන් ඈත්වෙලා ඉන්න එක. මමත් අම්මා කෙනෙක්නේ. කොච්චර වැඩ තිබුණත්, කොච්චර කාර්යබහුල වුණත්, හැම මොහොතකම මට පුතාව මතක් වුණා. සමහර වෙලාවට එයාව ළඟට අරගෙන ආදරය කරන්න තිබුණා නම් කියලා හිතුණු අවස්ථාත් තිබුණා.
ඒත් ඇමරිකාවේදී මට ලැබුණු සහයෝගය ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. එහි සිටි ඉහළ නිලධාරීන්ගෙන්, මගේ මිතුරන්ගෙන් වගේම මාත් එක්ක පුහුණුව ලැබූ විදේශීය නිලධාරිනියන්ගෙන් මට පුදුමාකාර සහයෝගයක් ලැබුණා. පුහුණුව ලබන අපි වෙනුවෙන් වෙනම කමිටුවක් තිබුණා. ඔවුන් නිතරම අපි ගැන සොයා බැලුවා; අපිව දිරිමත් කළා. මානසිකව වැටෙන අවස්ථාවලදී අපේ හිත හදලා ඉදිරියට යන්න ශක්තිය ලබා දුන්නා. ඒ වගේම ඇමරිකාවේ සිටි ශ්‍රී ලාංකික කුඩා කමිටුවත් මට විශාල සහයෝගයක් ලබා දුන්නා. මට කිසිම අඩුපාඩුවක් දැනෙන්න නොදී හැම දේකදීම උදව් කළා. විශේෂයෙන්ම එහි සිටි මහාචාර්ය ගාමිණී සර්වත්, එතුමාගේ බිරිඳවත් මම ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා. මගේ පුහුණු කාලය තුළ ඔවුන් ලබාදුන් සහයෝගය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
එහෙම සහයෝගයක් ලැබුණත්, මුල් කාලයේ සමහර අවස්ථාවල පුතා ගැන හිතලා හැම දේම අතහැරලා ලංකාවට එන්න හිතුණු වාර තිබුණා. අම්මා කෙනෙක් විදිහට ඒ හැඟීම මට වළක්වාගන්න අමාරු වුණා. ඒත් ඒ හැම වෙලාවකම මම මටම දෙයක් මතක් කරගත්තා. මම වෙනුවෙන් මගේ සැමියා, පවුලේ අය වගේම එහි සිටි බොහෝ දෙනෙක් විශාල කැපකිරීමක් කරනවා. ඒ කැපකිරීමට මම සාධාරණයක් කරන්න ඕනේ. මට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියන හැඟීම නිතරම මගේ හිතේ තිබුණා.”
“ඒ නිසා පුතා ගැන තිබුණු හැම මතකයක්ම, හිතේ තිබුණු හැම දුකක්ම දරාගෙන මම පුහුණුවීම් කටයුතු වෙනුවෙන් උපරිම කැපවීමෙන් වැඩ කළා. මගේ රට වෙනුවෙන්, මගේ නාවික හමුදාව වෙනුවෙන් වටිනා යමක් කරන්න ඕනේ කියන අරමුණ මට තිබුණා.
මගේ හිත ඇතුළේ හැම වෙලාවකම පුතා ගැන හිතන සංවේදී අම්මා කෙනෙක් ජීවත් වුණා. ඒත් ඒ හැඟීම් අතරේ වුණත් මගේ වගකීම අමතක නොකර නාවික හමුදා නිලධාරිනියක් විදිහට මට පැවරුණු කාර්යය සාර්ථකව ඉටු කරන්න මම උත්සාහ කළා. ඒ ගමන සාර්ථක කරගන්න මගේ පවුලෙන් සහ නාවික හමුදාවෙන් ලැබුණු ආදරය, විශ්වාසය මෙන්ම සහයෝගය තමයි මට තිබුණු ලොකුම ශක්තිය වුණේ.”
ඒ නිල ඇඳුම තුළ සිටිනා සංවේදී මවගේ කතාවයි.
ඇමරිකාවේ අධ්‍යාපන හා පුහුණු කටයුතුවල නිරත වූ කාලය තුළ පියුමි මධුෂිකා සිය දක්ෂතාව සහ අධ්‍යයන කැපවීම මැනවින් ප්‍රදර්ශනය කිරීමට සමත් වූවාය. ආරක්ෂක සැපයුම් කළමනාකරණය (Defense Logistics Management ) පිළිබඳ පශ්චාත් උපාධිය සාර්ථකව සම්පූර්ණ කළ ඇය, විශ්වවිද්‍යාලයේ ඉහළම අධ්‍යයන ප්‍රතිඵල අතරට ද එක් වූවාය. විශේෂයෙන්ම, පරිපූර්ණත්වයට ඉතා ආසන්න අධ්‍යයන සාමාන්‍ය අගයක් (භැ්ර-චැරfැජඑ ඨඡ්) ලබාගැනීමට සමත් වූ ඇය, සිය අධ්‍යයන දක්ෂතාව මැනවින් තහවුරු කළාය.
එපමණක් නොව, ඇය ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනය වෙනුවෙන් පිරිනැමෙන Best Outstanding Thesis Award සම්මානය ද දිනාගැනීමට සමත් වූවාය. මේ අතර, ජාත්‍යන්තර සිසුන් අතරින් වසරකට නිලධාරීන් දෙදෙනකුට පමණක් පිරිනැමෙන Kiwanis Club of Monterey Award සම්මානය දිනාගැනීමට ද ඇයට අවස්ථාව හිමි විය. එම වසරේ එම සම්මානයෙන් පිදුම් ලැබූ අනෙක් නිලධාරියා බ්‍රසීල ජාතිකයෙකි. මෙලෙස අධ්‍යයන දක්ෂතා සහ විශිෂ්ට පර්යේෂණ කාර්යසාධනය වෙනුවෙන් ජාත්‍යන්තර ඇගයීම් රැසකට හිමිකම් කීමට ඇය සමත් වූයේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරිනියක ලෙස තම රට නියෝජනය කරමින් විදේශයකදී ලැබූ අත්දැකීම් සහ අවස්ථා උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමිනි.
”මම මේ වෙද්දී නාවික හමුදාවේ සැපයුම් අංශයේ රාජකාරි කරනවා. මම ඇමරිකාවේදී හැදෑරූ පාඨමාලාවත් මගේ රාජකාරි කටයුතුවලට සම්බන්ධයි. ඒ නිසා මම ලබාගත් දැනුමෙන් මගේ අංශයට, නාවික හමුදාවට වගේම මගේ රටටත් උපරිම සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. අද මම ලබාගෙන තියෙන හැම ජයග්රහණයක්ම මට ලැබුණේ නාවික හමුදාව නිසයි. ඒ වෙනුවෙන් මට කළ හැකි උපරිමය කරන්න මම නිතරම කැපවෙනවා. මේ ගමනේදී මට ආශීර්වාදයක් සහ ශක්තියක් වූ නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු සියලු දෙනාටම මම ගෞරවයෙන් ආචාර කරනවා.
මගේ ජීවිතයේ හැම ජයග්‍රහණයක් පිටුපසම විනය, ඉවසීම සහ කැපවීම තිබුණා. අපි බලාපොරොත්තු නොවුණු අභියෝගයක් ලැබුණාම මුලින්ම බයක් දැනෙන්න පුළුවන්. නමුත් තමන් ගැන විශ්වාසය තබා පළමු පියවර තියන්න පුළුවන් නම්, කැපවීමෙන් ඉදිරියට යන්නත් පුළුවන්. අපි කරන දේ හරියටම, අවංකව සහ කැපවීමෙන් කළොත් අපි බලාපොරොත්තු වන ඉලක්කය කරා යන්න පුළුවන් කියන එක මගේ ජීවිතයෙන් මම ඉගෙන ගත්තු ලොකුම පාඩමයි.”
2026 ඔක්තෝබර් 26 වැනිදා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මෙයර් මහතා විසින් ඇමරිකානු රජයේ ජාත්‍යන්තර හමුදා අධ්‍යාපන හා පුහුණු වැඩසටහන (International Military Education and Training – IMET ) යටතේ අධ්‍යාපනය හැදෑරූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් පියුමි මධුෂිකා කත්‍රිආරච්චි වෙත නිල වශයෙන් උපාධිය පිරිනමන ලදී.
නිල ඇඳුමට පෙම් බැඳි පුංචි සිතකින් ඇරඹුණු ගමන අද ජාත්‍යන්තර ඇගයීම් ලැබූ අභිමානවත් ගමනක් බවට පත්ව තිබේ. ඒ ගමනේ සෑම ජයග්‍රහණයක් පිටුපසම ඇත්තේ ඇගේ නොසැලෙන අධිෂ්ඨානයත්, පවුලේ ආදරයත්, නාවික හමුදාව වෙනුවෙන් කැපවුණු හදවතත්ය. ලුතිනන් කමාන්ඩර් පියුමි මධුෂිකා කත්රිආරච්චිගේ කතාව තවත් බොහෝ දියණියන්ට තමන්ගේ සිහින විශ්වාසයෙන් හඹා යන්නට මඟ පෙන්වන ආදරණීය ආදර්ශයක් වනු නොඅනුමානය.
විශේෂ ස්තුතිය: නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වළාකුළුගේ ඇතුළු නාවික හමුදා මාධ්‍ය අංශයට.
දිශානි ජයමාලි කරුණාරත්න (I J)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd