2023 මාර්තු මාසයේ දී ගිවිසුම්ගතව ආරම්භ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) 2027 මාර්තු මාසයේ දී අවසන් වීමට නියමිතව ඇත. එම වැඩසටහනේ හත්වැනි සමාලෝචනය පසුගිය මස 10-23 දිනයන් හී දී මෙරට සහ එම අරමුදලේ නියෝජිතයන්ගේ සාභාගීත්වයෙන් සිදු කළ අතර පෙරේදා දිනයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කරනු ලැබූ නිවේදනයට අනුව මේ වනවිට කාර්යමණ්ඩල මට්ටමේ තාක්ෂණික එකඟතාවට පැමිණ ඇත.

වත්මන් සමාලෝචනයට අදාළ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව තවත් ඩොලර් මිලියන 345ක් මෙරටට ලැබීමට නියමිතය. එම මුදල ද සැලකිල්ලට ගත්විට විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රි ලංකාවට ඩොලර් බිලියන 2.7 පමණ මුදලක් ලබා ගැනීමට හැකිව පවතී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය තුළ වැඩසටහන යටතේ මෙරට ආර්ථිකය ලබා ඇති ප්‍රගතිය කෙබදු ද යන්න මෙන්ම ඉදිරියේ මෙරට අර්ථිකය තුළ කුමන වෙනස්කම් සිදුවිය යුතුද යන්න පිළිබද අවධානය යොමුකර තිබිණ. මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ මාධ්‍ය නිවේදනය තුළ අවධානයට ලක්කළ අංශ කීපයක් පිළිබඳව කෙටි සමාලෝචනක් සිදු කිරීම වේ. 

මේ දක්වා ප්‍රගතිය 

විස්තීරණ අරමුදල් පහසුකම ක්‍රියාත්මකව පවතින කාලසීමාව තුළ මේ දක්වා මෙරට ආර්ථිකය අත්කර කරගෙන ඇති ප්‍රගතිය ඉතා යහපත් වූවක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත. විශේෂයෙන්ම, ආර්ථික අර්බුදය තුළ හැකිළෙමින් පැවති ආර්ථික කටයුතු ක්‍රමානුකූලව යථාවත් වෙමින් පවතින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාර්තු 11ක කාලය තුළ ධන ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට මෙරට ආර්ථිකයට හැකියාව ලැබී ඇති බවත්ය.

එමෙන්ම, ආර්ථික අර්බුදය මුල් සමයේ ඉතා පහළ මට්ටමක පැවති විදේශ සංචිත ක්‍රමයෙන් ඉහළනංවා ගැනීමට මෙරට ආර්ථිකයට හැකියාව ලැබුණ අතර මේ වනවිට සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළ ගොස් ඇත. ආර්ථික අර්බුදයත් සමග උද්ධමනය සියයට 70ක් පමණ මට්ටමක ඉහළ ගිය අතර ආර්ථිකය ස්ථාවර වීමත් සමග උද්ධමනය ක්‍රමානුකූලව පහත වැටිණි. මැදපෙරදිග යුද්ධයත් සමග තෙල් සහ අනෙකුත් ආනයන භාණ්ඩ මිල ඉහළයාමත් සමග කෙටිකාලීනව උද්ධමනය වර්තමානය වනවිට යම් ඉහළ මට්ටමක පැවතියත් එය බොහෝ දුර‌ට කෙටිකාලීන ප්‍රපංචයක් වීමට වැඩි ඉඩකඩක් පවතී. යම් හෙයකින් ඉහළ උද්ධමනය දිගින් දිගටම පැවතීමේ හැකියාවක් පවතී නම් එම තත්වය පාලනය සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය යොදා ගැනීමේ අවශ්‍යතාව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත. 

එමෙන්ම, ආර්ථික අර්බුදයත් සමග ඉතා දැඩි ලෙස අවප්‍රමාණයට ලක්වූ විනිමය අනුපාතය ක්‍රමානුකූලව ඊට අදාළව වෙළෙඳපොළ අගය වෙත හැඩ ගැසෙන හැඩක් දක්නට ලැබිණ. ඉතා අයහපත් මට්ටමක පැවති රාජ්‍ය මූල්‍ය තත්වය යහපත් වීම එක් පැත්තකින් බදු ආදායම ඉහළනැංවීම මෙන්ම රාජ්‍ය වියදම් නිසි කළමනාකරණයට ලක් කිරීම හේතුවෙන් යහපත් තත්වයක් දක්වා වැඩි දියුණු කිරීමට සමත්වීම ද ධනාත්මක තත්වයක් වේ. විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මෙන්ම දූෂණ විරෝධී පනත් හඳුන්වාදීමට පියවර ගැනීම මෙහිලා සඳහන් කළ යුතු වේ.

එමෙන්ම මහ බැංකුව ස්වාධීන කිරීමෙන් මූල්‍ය ප්‍රතිපත්තයට අදාළව පැවති රාජ්‍ය මූල්‍ය බලපෑම අත්හිටුවීම ද මෙහිලා සඳහන් කළ යුතුවේ. අවසාන වශයෙන් ණය පැහැර හැරීමත් සමග පහත වැටෙන ලද ණය ශ්‍රේණිය ක්‍රමානුකූලව ඉහළනංවා ගැනීමට මෙරට ආර්ථිකයට හැකියාව ලැබිණ. ඒ අනුව, මෑතක දී Fitch ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය මගින් මෙරට ණය ශ්‍රේණිය B- දක්වා ඉහළනංවන ලදී. ණය ශ්‍රේණිගත කිරීම් තුළ ඉහළට ගමන් කිරීමට හැකියාව ලැබීම සඳහා විශේෂ වශයෙන් බලපානු ලැබුයේ මෙරට විසින් ලබාගත් ණය සාර්ථකව ප්‍රතිව්‍යුගත කිරීමට හැකියාව ලැබීම සහ රාජ්‍ය ආදායම් තත්වය යහපත් අයුරින් වැඩි දියුණු කිරීමට හැකියාව ලැබීම හේතුවෙනි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ වැඩසටහන තුළ මෙරට අත්කරගත් ආර්ථික ප්‍රගතිය ඉතා කෙටියෙන් ඉහත දක්වන ලදී. මෙම ප්‍රගතිය දෙස අප අවධානය යොමු කළ යුත්තේ මන්ද යන්න විමසා බැලීම යහපත් වේ. පළමුව, ආර්ථික අර්බුදය පැවති අවස්ථාවේ මෙන්ම ඊට පෙරද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන්වල ආර්ථික බලපෑම පිළිබඳව සමාජය තුළ නොයෙකුත් වැරදි මත පැවතිණ. බොහෝ දේශපාලන පක්ෂ මෙන්ම ඇතැම් විද්වතුන්ගේ මතයට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් මගින් ගොඩගිය රටක් නොමැත. මේ නිසාම සමාජය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් සම්බන්ධයෙන් ඉතා ඝෘණාත්මක අදහසක් පැවතිණි. ඒ අනුව බලන කල දැනට ක්‍රියාත්මකවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ අත්කරගෙන ඇති ධනාත්මක සමාජ-ආර්ථික ප්‍රගතිය එවැනි වැඩසටහන් සම්බන්ධයෙන් දුර්මත දැරූ පාර්ශවවලට ලබාදෙන ලද නිසි පිළිතුරක් වනු ඇත. දෙවනුව, දැනට ක්‍රියාත්මක වැඩසටහන 2027 මාර්තු මාසයෙන් අවසන් වන අතර තවත් වැඩසටහනකට යා යුතුද යන්න මේ වනවිට සමාජයේ සාකච්ඡාවට බඳුන්ව පවතී. සමහරෙක්ට අනුව, මෙරට ආර්ථිකයට තවත් වැඩසටහනක අවශ්‍යතාව නොපවතී. ඊට හේතු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙලේ වැඩසටහන් මගින් මෙරටට ප්‍රතිපත්ති සම්පාදකයන්ට අහිමි වන ප්‍රතිපත්ති ස්වාධීනත්වය පෙන්වා දෙනු ලබයි.

මෙහිදී ප්‍රතිපත්ති ස්වාධීනත්වය කුමක් සඳහා ද යන්න විමසා බැලීම වටී. බොහෝ අවස්ථාවලදී ප්‍රතිපත්ති ස්වාධීනත්වයෙන් කිරීමට උත්සාහ කරනු ලබන්නේ කෙටිකාලීන දේශපාලන වාසී සඳහා ආර්ථික ප්‍රතිපත්තිය හැසිරවීම සඳහා බලය ලබා ගැනීම වේ. ඉතිහාසය අපට උගන්වා ඇත්තේ එවැනි පාඩමක් බව අප මතක තබා ගතයුතුව ඇත. කෙටි කාලීනව දේශපාලන වාසි ගෙනෙන බොහෝ තීන්දු තීරණ දිගුකාලීනව ආර්ථිකයට යහපත් නොවන බවද අප මැනවින් දන්නා කරුණකි. 

ඒ අනුව අද සමාජය හමුවේ ඇති තේරීම වන්නේ ජාත්‍යන්තර අරමුදලේ වැඩසටහන තුළ අත්කරගත් ප්‍රගතිය, මූල්‍ය විනය, ස්වාධීන ආයතනික ව්‍යුහය සහ දත්ත මත පදනම් වූ ප්‍රතිපත්තිකරණය ආරක්ෂා කරගනිමින් දිගුකාලීන තිරසර ඉහළ ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීම සහ පවත්වාගෙන යාම සඳහා වූ සමාජ - ආර්ථික - ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකරනවාද නැද්ද යන්න තේරීම වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් නව වැඩසටහනකට ඇතුළත්වීමෙන් අප ඉතිහාසය තුළ සිදු කරන ලද වැරදි යළිත්වරක් සිදු නොවීම සහතික කිරීමේ ඉහළ හැකියාවක් පවතින බව කිව යුතුව ඇත. 

 ආර්ථිකයට ඇති අවදානම් 

ආර්ථික අර්බුදයෙන් දැඩිලෙස අස්ථාවර වූ ආර්ථීකය තුළ මේ වනවිට යම් ධනාත්මක වර්ධනයක් සහ ස්ථාවරත්වයක් අත්කර ගෙන පැවතිය ද අභ්‍යන්තර සහ බාහිර කම්පන හේතුවෙන් යළිත් ආර්ථික අස්ථාවරත්වය ඇති වීමට ඉහළ ඉඩකඩක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශය තුළ දක්වා සිටී. විශේෂයෙන්ම, දැනට මැදපෙරදිග කලාපයේ පවතින යුදගැටුම්, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තියට අදාළ අවිනිශ්චිතතා සහ එල්නීනෝ පාරිසරික බලපෑම් ලබාගෙන ඇති ආර්ථික ස්ථාවරත්වයට සහ යළිගොඩනැගෙමින් පවතින ආර්ථිකයට අභියෝගයන් එල්ල කළහැකි බව දන්වා සිටී. මැදපෙරදිග කලාපයේ යුදගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ගෝලීය තෙල්මිල ඉහළගොස් ඇති පසුබිමක ඊට ප්‍රතිචාරිකව දේශීය මිල ගණන් ද හැඩගැස්වීමෙන් රාජ්‍ය මූල්‍යයට ඇතිවිය හැකි අහිතකර තත්වය වළක්වා ගැනීමට කටයුතු කළයුතු බව අවධාරණය කරනු ලබයි.

 එමෙන්ම, ආර්ථික අර්බුදය සහ ඉහළ මිල ගණන් හේතුවෙන් අවදානමට ලක්වන පිරිස් නිවැරදිව ඉලක්කගත කර නිශ්චිත කාලරාමුවකට අදාළව සහන සැලසීම සිදු කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇත. මෙහිදී විශේෂ වශයෙන්ම, ලබාදෙනු ලබන සහන රාජ්‍ය මූල්‍යයට දරාගත හැකි වන පරිදි ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දී තිබීම සුවිශේෂී වේ. විවිධ දේශපාලන සහ අනෙකුත් හේතුමත සත්‍ය වශයෙන්ම සහන ලැබිය යුතු කොටස් මගහැර සහ සහන ලබා නොදිය යුතු පිරිස් ඇතුළත් කරමින් අතීතයේ දී විවිධ සහනාධාර ක්‍රම ක්‍රියාත්මක කළ අතර ඒ හේතුවෙන් අයවැය මත දැඩි පීඩනයක් ගෙන දෙන ලදී. එවැනි පියවර වළක්වා ගැනීම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් දත්ත මත පදනම් ව ක්‍රියාත්මක කිරීම මෙහිලා වැදගත් වේ.

රාජ්‍ය ආදායම් සහ වියදම් කළමනාකරණය 

ආර්ථික අර්බුදයෙන් පසුව රාජ්‍ය ආදායම ඉහළනංවා ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබු ක්‍රියාමර්ග ඵලදරමින් පැවතිය ද වත්මන් බදු ක්‍රමය කාර්යක්ෂම සහ සාධාරණ වූවක් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශය මගින් දක්වා සිටී. ආයෝජන තීරණ සඳහා බදු ක්‍රමයට අදාළ ප්‍රතිපත්ති තුළ නිශ්චිත බව වැදගත් බව පෙන්වා දෙනු ලබන අතර බදු පදනම තවදුරටත් පුළුල් කිරීම, බදු පැහැර හැරීම් වළක්වාලීම සඳහා පියවර ගැනීම මෙන්ම බදු එකතු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි. විශේෂයෙන්ම, කාර්යක්ෂම සහ සාධාරණ බදු ක්‍රමයක් ඇතුළත් මැදි කාලීන රාජ්‍ය ආදායම් උපායමාර්ගික සැලස්මක් සකස්කර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි. වත්මන් බදු ක්‍රමය සාධරණ නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම ප්‍රකාශ කරනු ලබන්නක් වන අතර ඉහළ වත්කම් සහිත පිරිස් ඉලක්ක කර බදු ලබාගැනීම සඳහා දේපළ බද්ද වැනි බදු හඳුන්වාදීමේ වැදගත්කම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවස්ථා ගණනාවක දී පෙන්වා දෙන ලදී. 

අයවැය මගින් වාර්ෂිකව වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම් කිරීමට අදාළව ඇති බාධා ඉවත් කිරිම සඳහා පියවර ගැනීමේ වැදගත්කම පෙන්වා දී ඇති අතර මීට හේතුව වන්නේ රජය මගින් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කර ඇති අරමුදල් වර්ෂය තුළ නිසි පරිදි වියදම් නොකිරීම වේ. අතීතයේ පටන් ප්‍රාග්ධන වියදම් නිසි පරිදි සිදු නොවන තත්වයක් පැවතිය ද වර්තමානය වනවිට ඊට අදාළව ගැටලු‍කාරී තත්වයක් උද්ගතව පවතී. විශේෂයෙන්ම පසුගිය වසර සඳහා වෙන්කළ ප්‍රාග්ධන වියදම් ද සැලකිය යුතු ප්‍රමාණයක් වැය කිරීමට එම වසර තුළ නොහැකි විය. මෙම වසරට අදාළව ද එවැනිම තත්වයක් පැවතීමට වඩා වැඩි ඉඩකඩක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශය මගින් ගම්‍ය වේ.

ආර්ථිකයක රාජ්‍ය ප්‍රාග්ධන වියදම් නිෂ්පාදන ධාරිතාව ඉහළනැංවීම සඳහා අත්‍යවශ්‍ය වන්නක් වන අතර ප්‍රාග්ධන වියදම් සිදු නොකිරීම හෝ ඊට අදාළ ප්‍රමාදය පෞද්ගලික අංශයේ ආයෝජන පස්සට තල්ලු‍ කිරීමට හේතු වේ. මාධ්‍ය ප්‍රකාශයෙන් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානි වූ යටතල පහසුකම් ගොඩනැංවීමට අදාළව කෙරෙන ප්‍රාග්ධන වියදම්වලට අදාළව ද ප්‍රමාදය පවතින බවයි. මෙවැනි තත්ව මැදිකාලීන සහා දිගුකාලීන ආර්ථික වර්ධනයට යහපත් නොවන අතරම ආර්ථිකයේ නව රැකියා බිහිකිරීම සහ ආදායම් තත්ව ඉහළ නැංවීමට ද බාධාකාරී වේ. 

2023 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරනු ලැබූ දූෂණ විරෝධී පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණීක මගපෙන්වීම යටතේ සිදු වූවක් වන අතර ආසියානු රටවල් අතරින් මෙරට ඇති දූෂණ විරෝධී පනත වඩාත්ම ශක්තිමත් එකක් වේ. මෑතක දී රජය මගින් එම පනතට අදාළව යම් යම් සංශෝධන සිදු කිරීමට යෝජනා කරන ලදී. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනු ලබන කරුණක් වන්නේ එවන් සංශෝධන දූෂණ විරෝධී පනත දුර්වල කිරීමට මෙන්ම පනත පිළිබඳ මහජන විශ්වාස පළුදුකිරීමට හේතුවිය හැකි බවයි. 

 දිගුකාලීන වර්ධනයට මග 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මීට පෙර අවස්ථා ගණනාවක දී පෙන්වා දී ඇති නමුත් මෙවර ද යළිත් වරක් සිහිපත් කරනු ලබන කරුණක් වන්නේ දිගු කාලීන ඉහළ තිරසර ආර්ථික වර්ධනයක් සමග තිරසර ආර්ථික ස්ථායීතාවක් අත්කර ගැනීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවයි. මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ අතර විදේශ වෙළෙඳාම සහ ආයෝජන ලිහිල්කරණය, ව්‍යාපාරික සහ කම්කරු රෙගුලාසි යාවත්කාලීන කිරිම, සුළු සහ මධ්‍යපරිමාණ නිෂ්පාදකයන්ට මූල්‍ය පහසුකම් ලබාගැනීමේ ඉඩකඩ පුළුල් කිරීම, ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීම සහ අනෙකුත් අත්‍යවශ්‍ය වන ආර්ථික යටතල පහසුකම් ගොඩනැංවීම සඳහා අවශ්‍ය කඩිනම් රාජ්‍ය ආයෝජන සිදුකරීම වේ. 

කෙටිකාලීනව ආර්ථික ස්ථායිතාවක් අත්කර ගත්ත ද අප කොතෙක් දුරට ආර්ථික අර්බුදයට අදාළ මූල හේතු විසඳීම සඳහා පසුගිය කාලය තුළ පියවර ගෙන තිබේද යන්න ගැඹුරින් සළකා බැලිය යුත්තක් වේ. එමෙන්ම ආර්ථික අර්බුදය හේතුවෙන් දුප්පත්කමට හෝ ඊට ආසන්න තත්වයට ජන ජීවිතය ඇද වැටුණු පිරිස්වල ජීවන තත්වය මැදිකාලීනව හෝ ඉහළනැංවීමට අදාළ වන ක්‍රියාමාර්ග අප කොතෙක් දුරට ක්‍රියාත්මක කර ඇත් ද යන්න විමසා බැලිය යුතුවේ. වත්මන් කම්පන තුළ සත්‍ය වශයෙන්ම ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කිරීම සඳහා ආනයන පාලනය වෙත ගමන් කිරීමෙන් කියවෙන්නේ කුමක් දැයි ගැඹුරින් කල්පනා කළ යුතු වේ. සත්‍ය වශයෙන්ම අප තවමත් ආර්ථික අර්බුදයට මඟපෑදූ ප්‍රධානතම ගැටලු‍ව වන ගෙවුම් ශේෂ හිඟයට පිළියම් සෙවීමට කොතෙක් දුරට සමත්ව ඇද්ද යන්න විමසා බැලීම වටී.
විනිමය ඉපැයීම්වල යම් ඉහළයාමක් සංචාරක කර්මාන්තයේ ස්වංක්‍රිය පිබිදීම සහ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණය ඉහළයාමත් සමග සිදු වුවද, අපේක්ෂා කළ හැකි පරිදිම, මැදපෙරදිග සහ අනෙකුත් බාහිර කම්පන තුළ එම විනිමය ප්‍රවාහය බිඳ වැටුණු ආකාරය මෑතකාලීනව සිදුවන ආකාරයට දැකගැනීමට හැකිවිය. විදේශ විනිමය තිරසරව ඉහළනැංවීම සඳහා වූ යෝජනා 2024 අගෝස්තු මස පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනතේ ඇතුළත්විය. විශේෂයෙන්ම, විදේශ ආයෝජන තිරසරව ඉහළනැංවීම සඳහා ආයෝජන ප්‍රවර්ධනයට සහ නිදහස් වෙළෙඳ කලාප සහ කර්මාන්තපුර තුළ ආයෝජකයන්ට වඩාත් කාර්යක්ෂම සේවා ලබාදීම සඳහා අවශ්‍ය වන්නා වූ ආයතනික ව්‍යුහය ගොඩනැංවීමට යෝජනා කරන ලදී. එමෙන්ම, විදේශ වෙළෙඳාම සහ ආයෝජන ද්විපාර්ශවික සහ බහු පාර්ශවික ගිවිසුම් යටතේ ලිහිල්කරණය වේගවත් කිරීම සඳහා නව ආයතනික ව්‍යුහයක් යෝජනාව පැවතීම ද දැකගත හැකි විය. එමෙන්ම ආර්ථිකය තුළ කාන්තා ශ්‍රම සහාභාගීත්වය ඉහළනැංවීම සඳහා මෙන්ම ඵලදායීතාව වර්ධනය සඳහා අවශ්‍ය වන්නා වූ වැඩ සටහන් යෝජනාව පැවතිණ. මෙම අරමුණු කොතෙක් දුරට පසු කාලීනව ළඟාකර ගැනීමට සමත්ව ඇත්ද යන්න විමසා බැලිය යුතු කරුණක් වේ.

දැනට සති කීපයකට පෙර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙරට ආයෝජන පරිසරය පිළිබඳ වාර්තාවක් එළිදක්වන ලද අතර එම වාර්ථාව පෙන්වා දෙනු ලබන කරුණු කීපයක් ඉහත විස්තර කරනු ලැබූ සන්දර්භය තුළ ගෙන හැර දැක්වීම වැදගත් යැයි සිතේ. එම වාර්තාව මගින් පෙන්වා දී ඇති මූලික කරුණක් වන්නේ නැගී එන ආර්ථිකයන් සමග සැසදීමේ දී මෙරටට ගලාඑන එන සෘඡු විදේශ ආයෝජන ඉතා පහළ මට්ටමක පවතින බවයි. එම වාර්තාව සඳහන් කරන පරිදි 2025 වර්ෂයේ දී මෙරටට ලැබුණු සෘඡු විදේශ ආයෝජන ප්‍රමාණය දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස සියයට 1ට මදක් අඩු අගයක් වන අතර නැගී එන ආර්ථිකවල වාර්ෂික සෘජු විදේශ ආයෝජන ලැබීම් සාමාන්‍යයක් ලෙස එම රටවල දළ දේශීය නිමවුමෙන් සියයට 4-5ක අගයක් ගනී. 

මෙම තත්වයට මූලික හේතුව ලෙස කරුණු කීපයක් ගෙනහැර දක්වයි. ඒ අතරින්, විදේශ වෙළෙඳාම සහ ආයෝජන ලිහිල්කරණයට මෙරට විසින් ගෙන ඇති සීමිත පියවර එක් ප්‍රධානතම හේතුවක් වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල්, දකුණු ආසියානු කලාපයේ රටවල් ද ඇතුළුව, වෙළෙඳාම සහ ආයෝජන ලිහිල්කරණය සඳහා ද්විපාර්ශවික සහ බහුපාර්ශවික වෙළෙඳ සහ ආයෝජන ගිවිසුම්වලට එළැඹීම පසුගිය වසර කීපය තුළ වේගවත් කළ ද අප විසින් ඒ සඳහා දැනෙන පියවරක් ගැනීමට අපොහොසත්ව ඇත. 

දෙවනුව සඳහන් කරනු ලබන තවත් හේතුවක් වන්නේ විදේශ ආයෝජන සම්බන්ධයෙන් වූ රාජ්‍ය ප්‍රතිපත්තියේ අසංගතබව වේ. චීන සහ ඉන්දියානු ආයෝජන ව්‍යාපෘති කීපයකට අදාළව මෑතක දී ගනු ලැබූ උදාහරණ කීපයක් ගෙනහැර දක්වමින් අදාළ වාර්තාව පෙන්වා දෙන කරුණක් වන්නේ එවැනි අසංගත රාජ්‍ය ප්‍රතිපත්ති ආයෝජකයන්ට යහපත් වූ සංඥා ලබානොදෙන බවයි. මීට අමතරව තවත් හේතු ගණනාවක් ඉදිරිපත් කරනු ලබන ඉහත වාර්තාවෙන් අවධාරණය කරනු ලබන මූලික කරුණක් වන්නේ මෙරට ව්‍යාපාරික පරිසරය ආයෝජකයන්ට හිතකර එකක් නොවන බවයි.

 නිගමනය 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වසරක විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන අවසන් අදියරයට පැමිණෙමින් පවතින අතර ඒ යටතේ අත්කර ගත් ප්‍රගතිය අප අගය කළයුතුව ඇත. එම ප්‍රගතිය අත්කර ගැනීම සඳහා මෙරට ජනතාව විශාල කැපකිරීමක් සිදු කරන ලද අතර එවන් ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වූයේ නිවැරැදි තීන්දු බියකින් හෝ සැකයකින් තොරව ගනු ලැබීම මත වේ. මෙරට ජනතාවගෙන් සැලකිය පිරිසකගේ ජන ජීවිතය අර්ථික අර්බුදය තුළ බිද වැටුණු අතර එම ජීවිත තිරසරව යළි නගාසිටුවිය හැක්කේ සියලු‍ දෙනාම ඇතුළත්වන ඉහළ තිරසර ආර්ථික වර්ධනයක් ඇති කිරීමෙන් පමණි. ඒ සඳහා, මෙතෙක් අත්කරගත් ප්‍රගතිය ආරක්ෂාකර ගනිමින් පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඉදිරියට ගෙන යා යුතු වේ. අප හමුවේ ඇති අවදානම්කාරී වටපිටාවෙන් කියාපාන්නේ එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනමින් මෙන්ම වේගවත්ව සිදුකළ යුතු වන්නක් බවයි. එවැනි ප්‍රතිසංස්කරණ කෙටිකාලීනව ජනප්‍රිය නොවන නමුත් දිගු කාලීනව පොහොසත් රටක් තැනීම සඳහා උපකාරී වනු නොඅනුමානය.