• නාගරික හා නගර ආසන්න,  වතුකරයේ සහ බටහිර හා උතුරු වෙරළබඩ ධීවර ප්‍රදේශ ප්‍රධානයි
  • අඩු ආදායම්ලාභී පවුල්වලට ආහාර අවශ්‍යතා සපුරාගැනීමට වෙළෙඳපොළ මත වැඩි වශයෙන් රඳා පවතින තත්වයක්
  • ඉහළ ආහාර මිලට අමතරව ඉන්ධන සහ ප්‍රවාහන වියදම්ද එම පවුල්වල මිලදී ගැනීමේ හැකියාව සීමා කරලා

විමුක්ති එස්. රුද්‍රිගු

ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය රටේ සහල් අවශ්‍යතාව සපුරාගැනීමට උපකාරී වී තිබුණද, ඉදිරියටත් අඩු ආදායම් ලබන පවුල්වලට ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේ අපහසුතා පවතිනු ඇතැයි සාගත පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය හෙවත් FEWS NET නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

එයට හේතුව වී ඇත්තේ මෙරට රැකියා සහ ව්‍යාපාරික අවස්ථා තිබුණද ජනතාව ලබන වැටුප ජීවන වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීම බවද එම ජාලය පවසයි. විශේෂයෙන් නාගරික හා නගර ආසන්න ප්‍රදේශවල, තෙත් කලාපයේ, වතුකරයේ සහ බටහිර හා උතුරු වෙරළබඩ ධීවර ප්‍රදේශවල අඩු ආදායම් ලබන පවුල් මෙම පීඩනයට මුහුණ දෙන බව එම වාර්තාවේ දැක්වේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට 2027 ජනවාරි දක්වා කාලය ආවරණය කරන එම වාර්තාවට අනුව අඩු ආදායම්ලාභී පවුල්වලට තමන්ගේම ආහාර නිෂ්පාදනය සීමිත බැවින් ඔවුන් ආහාර අවශ්‍යතා සපුරාගැනීම සඳහා වෙළෙඳපොළ මත වැඩි වශයෙන් රඳා පවතී. එම පවුල් බොහොමයක් ආදායම් උපයාගන්නේ අවිධිමත් රැකියා සහ කටයුතුවලින් බවද එහි සඳහන් වේ.

ඉහළ ආහාර මිලට අමතරව ඉන්ධන සහ ප්‍රවාහන වියදම්ද එම පවුල්වල මිලදී ගැනීමේ හැකියාව සීමා කරන බව එහි දැක්වේ. මේ අතර මහ කන්නයේ සාමාන්‍යයට වඩා වැඩි වී නිෂ්පාදනයක් ලැබීමත්, යල කන්නයේ අස්වැන්නද සාමාන්‍යයට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කිරීමත් රටේ සහල් සැපයුම සහ සහල්වලින් ස්වයංපෝෂිතභාවය පවත්වා ගැනීමට උපකාරී වනු ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

යල කන්නයේ වගා කළ බිම් ප්‍රමාණය සාමාන්‍යයට වඩා වැඩි වීම සහ වගාවට පොදුවේ හිතකර තත්ව පැවතීම හේතුවෙන් අස්වැන්න ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත්, කෙසේ වෙතත් අවසන් වී නිෂ්පාදන ඇස්තමේන්තු තවමත් ලැබී නොමැති බවත් එම වාර්තාව පෙන්වා දුන්නේය.

යල අස්වැන්න ලැබීමත් සමග පසුගිය අගෝස්තු මාසයේ සහල් මිල පෙර මාසයට සාපේක්ෂව සුළු වශයෙන් පහළ ගොස් තිබුණද, එම මිල ගණන් පසුගිය වසර පහේ සාමාන්‍යයට වඩා ඉහළ මට්ටමක පැවැති බවද සඳහන් වේ. නාඩු සහල් මිල පසුගිය වසර පහේ සාමාන්‍යයට වඩා සියයට 13කින්ද, සම්බා සහල් මිල සියයට 11කින්ද ඉහළ මට්ටමක පැවැති බව එහි දැක්වේ.

වී අස්වැන්න වැඩි වීමෙන් ඇතැම් ගොවීන්ට ලැබිය හැකි ආදායම් වාසිය ඉහළ නිෂ්පාදන වියදම් හේතුවෙන් සීමා විය හැකි බවද වාර්තාව පෙන්වා දෙයි. විශේෂයෙන් කුඩා ගොවීන්ට මෙම තත්වය බලපානු ඇතැයි එහි සඳහන් වේ.

පොහොර සහ ඉන්ධන සඳහා යන වියදම් මෙන්ම අස්වනු නෙළීම, සැකසීම සහ ප්‍රවාහනය සඳහා යන වියදම්ද ඉහළ මට්ටමක පවතින බවත්, ඒ හේතුවෙන් වගා කටයුතු සහ අස්වැන්න ලැබීමෙන් පසු සිදු කරන කටයුතු සඳහා ගොවීන්ට දැරීමට සිදුවන වියදම් වැඩි වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල මුලින් වෙන්කළ ප්‍රමාණය ඉක්මවා යෑම හේතුවෙන් රජය වී මිලදී ගැනීමේ වැඩසටහන පුළුල් කර තවත් රුපියල් බිලියන 2.5ක් හෙවත් රුපියල් කෝටි 250ක් අනුමත කර ඇති බවද එහි සඳහන් වේ.

වියළි සහ අතරමැදි කලාපවල ඇතැම් ප්‍රදේශවල දිගු කලක් පැවැති වියළි තත්ව සහ ජල හිඟය හේතුවෙන් බෝග හා පශු සම්පත් හානි වාර්තා වී තිබේ. එහෙත් සමස්ත යල නිෂ්පාදනය හිතකර මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව එම වාර්තාව පෙන්වා දුන්නේය. ඉහළ ඉන්ධන මිල සහ ධීවර කටයුතු සඳහා යන අනෙකුත් වියදම් හේතුවෙන් ධීවරයන්ට වියදම් පියවාගත් පසු ඉතිරි වන ආදායමද අඩුවෙමින් පවතින බව එම වාර්තාවේ දැක්වේ.

නිරිතදිග මෝසම් කාලයේ අවසානයේ රළු මුහුද සහ තද සුළං හේතුවෙන් මසුන් ඇල්ලීමට යා හැකි දින ගණනද අඩුවී තිබෙන බව එහි සඳහන් වේ. මේ අනුව ධීවර පවුල්වල ආදායම් උපයා ගැනීමේ අවස්ථා සීමා වන අතරතුර ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ඉහළ වියදමක් දැරීමටද සිදුවී ඇති බව එම වාර්තාව පෙන්වා දුන්නේය.

සැප්තැම්බර් මාසයේ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාව, ඇතැම් ප්‍රදේශවල ගංවතුර, තද සුළං සහ නායයෑම් හේතුවෙන් ජනතාවගේ ජීවනෝපාය කටයුතුවලට තාවකාලික බාධා ඇතිවූ බවද එහි සඳහන් වේ. විශේෂයෙන් උඩරට වතු ප්‍රදේශවල සහ වෙරළබඩ ජනතාවට එම බලපෑම් එල්ල වී තිබේ.

මෙවැනි කාලගුණික තත්ව හේතුවෙන් කම්කරු රැකියා අවස්ථා, භාණ්ඩ ප්‍රවාහනය සහ වෙළෙඳපොළ වෙත යෑමට බාධා ඇතිවිය හැකි බවත්, එමගින් අඩු ආදායම්ලාභී පවුල්වල ආහාර සපයාගැනීමේ අපහසුතා තවදුරටත් වැඩි විය හැකි බවත් වාර්තාව පෙන්වා දුන්නේය. වියළි කලාපයේ පවුල් සතුව ඇති අස්වැන්නෙන් ලබාගත් ආහාර තොග ක්‍රමයෙන් පරිභෝජනය කර අවසන් වන විට මෙම වසරේ අවසන් මාසවලදී වෙළෙඳපොළෙන් ආහාර මිලදී ගැනීමේ අවශ්‍යතාව වැඩි වනු ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මෙම මාසය ආරම්භයේ සිට ජනවාරි දක්වා වියළි කලාපයේ ආහාර සපයාගැනීමේ පීඩනය වැඩි වනු ඇතැයි වාර්තාව පුරෝකථනය කර ඇත. එම කාලයේ වැසි සහ ගංවතුර හේතුවෙන් රැකියා, ප්‍රවාහනය සහ වෙළෙඳපොළ කටයුතුවලට ඇතිවිය හැකි බාධාද මෙම තත්වයට බලපානු ඇතැයි වාර්තාව සඳහන් කරයි.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සාමාන්‍යයට වඩා වැඩි වැසි ලැබීමෙන් ජල සැපයුම සහ වගා කටයුතුවලට වාසි ලැබිය හැකි බවත්, එහෙත් තද වැසි නිසා ඇතැම් ප්‍රදේශවල ගංවතුර, වගා බිම්වල ජලය රැඳීම සහ නායයෑම් ඇතිවීමේ අවදානමක් ඇතිකළ හැකි බවත් එහි දැක්වේ.