• ඉන්ධන ඇතුළු අන්තර් භාණ්ඩ ආනයන වියදම ඩො.මි 9,334 ක් වෙයි 
  • පාරිභෝගික සහ ආයෝජන භාණ්ඩ ආනයන වියදමත් ඉහළට

මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගත වූ මුල් මාස අට තුළ මෙරට ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 16,557 ක් ලෙස සටහන් වන බව මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ ඩොලර් මිලියන 13,341 ක ආනයන වියදම හා සැසඳීමේදී සියයට 21.1 ක ඉහළ යෑමකි. එසේම 2024 වසරේ එම කාලසීමාව හා සැසඳීමේදී සියයට 37.1 ක ඉහළ යෑමකි. 

මෙහිදී මෙම වසරේ ගත වූ කාලය තුළ ඉන්ධන ආනයන වියදමද කැපී පෙනෙන ඉහළ යාම මෙලෙස ආනයන වියදම ඉහළ යෑමට මූලික වී තිබේ. විශේෂයෙන්ම 2025 වසරේ මුල් මාස අට තුළ ඩොලර් මිලියන 2,521ක් වූ ඉන්ධන ආනයන වියදම මේ වසරේ එම කාලසීමාව තුළදී ඩොලර් මිලියන 4,072ක් බවට පත්ව තිබේ.

ඒ අනුව ආනයන ක්‍රියාකාරීත්වය අනුව සැලකීමේදී මුල් මාස අට තුළ වැඩිම ආනයන වියදමක් දරා ඇත්තේ ඉන්ධන ඇතුළු අන්තර් භාණ්ඩ සඳහා වන අතර, එය ඩොලර් මිලියන 9,334 කි. මෙය 2025 වසරේ පැවැති ඩොලර් මිලියන 7,437 හා සැසඳීමේදී සියයට 25.5 ක ඉහළ යාමකි.

එසේම පාරිභෝගික භාණ්ඩ ආනයන වියදමත් ඩොලර් මිලියන 3,295 සිට ඩොලර් මිලියන 4,004 ක් දක්වා වසරින් වසර සියයට 21.5 කින් ඉහළ ගොස් තිබේ.

මීට අමතරව ආයෝජන භාණ්ඩ හා වෙනත් දෑ ආනයනය සඳහා වූ වියදම ඩොලර් මිලියන 2,609 සිට ඩොලර් මිලියන 3,218 ක් දක්වා වසරින් වසර සියයට 23.3 කින් ඉහළ ගොස් තිබේ. 

විශේෂයෙන්ම වසරේ ගත වූ කාලසීමාව තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදු වූ අවප්‍රමාණය වීමත් මෙලෙස පෙර වසරට සාපේක්ෂව මේ වසරේදී ආනයන වියදම ඉහළ යාමට හේතුවක් වී තිබේ.