2025 වසරට සාපේක්ෂව 2026 පළමු මාස දහයේදී සියයට 6ක වර්ධනයක් 


මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 12,015ක් 


මුළු සේවා අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 3,267ක් 


තොරතුරු තාක්ෂණ අපනයන ආදායම තවදුරටත් තෙවැනි තැන 


ඔක්තෝබර් මාසයේදීත් භාණ්ඩ හා සේවා අපනයනයේ කැපී පෙනෙන වර්ධනයක්


2026 වසරේ මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 15,282ක් ලෙස සටහන් වන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 

ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 14,412 ට සාපේක්ෂව සියයට 6.03 ක ඉහළ යාමක් ලෙස සටහන්ව තිබේ. 

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද නවතම අපනයන කාර්යසාධන දත්ත ඉදිරිපත් කරමින් එම මණ්ඩලය මෙම කරුණු සඳහන් කර සිටියි. 

මෙහිදී මුල් මාස දහයේ ධනාත්මක කාර්ය සාධනය සඳහා වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයන යන අංශ දෙකෙහිම වර්ධනය සහාය වී ඇත. 

ඒ අනුව 2026 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 12,015ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ ඩොලර් මිලියන 11,365 ට සාපේක්ෂව සියයට 5.72ක වර්ධනයකි. 

මෙහිදී ඇගලු‍ම් සහ රෙදිපි අපනයන ආදායම වැඩිම දායකත්වයක් ලබාදී ඇති අතර, එය ඩොලර් මිලියන 4,197 කි. එසේම තේ අපනයනයෙන් ඩොලර් මිලියන 1,202ක්ද, පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 1,054ක ආදායමක්ද හිමිව තිබේ. මීට අමතරව ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය හරහා ලැබුණු ආදායම ඩොලර් මිලියන 1,204කි. 

මේ අතර 2026 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ වාර්තා වී ඇති මුළු සේවා අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 3,267කි. එය පෙර වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ ඩොලර් මිලියන 3,047 ට සාපේක්ෂව සියයට 7.20ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 

මෙහිදී ප්‍රවාහන සහ කාර්යෝපාය සේවා අපනයන ආදායම ඩොලර් මිලියන 1,731ක් ලෙසත්, තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ අපනයන ආදායම ඩොලර් මිලියන 1,415ක් ලෙසත් සටහන්ව තිබේ. 

 “සේවා අපනයනවල සතුටුදායක වර්ධනයෙන් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමට එහි දායකත්වය සහ රටේ අපනයන පදනම තවදුරටත් විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම පැහැදිලි වේ’’ යනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 

මෙම කාර්යසාධනයත් සමගින් වසරේ මුල් මාස දහයේදී ඉහළම අපනයන ආදායමක් හිමිකරගත් ක්ෂේත්‍ර අතර තෙවැනි ස්ථානයට පත්වීමට තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ආදායම් සමත්ව තිබේ. 

ඒ අනුව එම කාලසීමාව තුළ මෙරට ප්‍රධානතම අපනයන භෝග ලෙස සැලකෙන තේ, පොල් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම් සිව්වැනි, පස්වැනි සහ හයවැනි ස්ථාන බවට පත්ව තිබේ. 

 “2026 මුල් මාස දහය තුළ දක්නට ලැබුණු මෙම ධනාත්මක ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ පවතින නම්‍යශීලී බව සහ වර්ධන ශක්‍යතාව පෙන්නුම් කරනවා. 

මෙම වර්ධන වේගය පවත්වා ගැනීම සඳහා අපනයන තරගකාරීත්වය ඉහළ නැංවීම, වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, භාණ්ඩ හා සේවා විවිධාංගීකරණය කිරීම සහ නැගී එන සහ ඉහළ වටිනාකමකින් යුත් අපනයන ක්ෂේත්‍රවල දායකත්වය ශක්තිමත් කිරීමට අඛණ්ඩ උත්සාහයක් අවශ්‍ය වෙනවා” යනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සඳහන් කරයි. 

මේ අතර වසරේ මුල් මාස දහය තුළ මෙරටින් වැඩිම භා‍ණ්ඩ හා සේවා අපනයනයක් සිදු කළ රට වන්නේ එක්සත් ජනපදයයි. එහි වටිනාකම ඩොලර් මිලියන 2,518 කි. එසේම ඉන්දියාව වෙත එය ඩොලර් මිලියන 990ක් ලෙසත්, එක්සත් රාජධානිය වෙත එය ඩොලර් මිලියන 723ක් ලෙසත් සටහන්ව තිබේ. 

2026 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව ඉහළ අපනයන ක්‍රියාකාරීත්වයක් වාර්තා කිරීමට සමත්ව ඇති අතර, මාසය තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,621ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 ඔක්තෝබර් මාසයේ ලැබූ ඇමරිකානු ඩොලර් මිලියන 1,453 ට සාපේක්ෂව සියයට 11.57 ක කැපී පෙනෙන වර්ධනයකි. 

මෙහිදී 2025 ඔක්තෝබර් මාසයේ පැවැති ඩොලර් මිලියන 1,149 ට සාපේක්ෂව, 2026 ඔක්තෝබර් මාසයේදී භාණ්ඩ අපනයනය ඩොලර් මිලියන 1,260 ක් දක්වා සියයට 9.65 කින් ඉහළ ගොස් තිබේ. 

එසේම සේවා අපනයනය වඩාත් ඉහළ වර්ධනයක් වාර්තා කරමින්, පසුගිය වසරේ එම මාසයේ පැවැති ඇමරිකානු ඩොලර් මිලියන 303.03 සිට ඩොලර් මිලියන 360.21 ක් දක්වා සියයට 18.87 කින් ඉහළ ගොස් තිබේ. 

 “ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම උදෙසා අපනයන තරගකාරීත්වය ශක්තිමත් කිරීම, නිෂ්පාදන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම, අගය එකතු කිරීම ඉහළ නැංවීම සහ නවෝත්පාදන හා තාක්ෂණය අනුගමනය කිරීම වේගවත් කිරීම අපගේ ප්‍රමුඛතාව විය යුතුව තිබෙනවා” යනුවෙන්ද අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පවසයි. 

2025 වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 17.25ක් ලෙස සටහන් වූ අතර, 2026 වසරේදී එය ඩොලර් බිලියන 18 ක් දක්වා වර්ධනය කරගැනීම අපේක්ෂාව වී තිබේ. එසේම 2030 වන විට මෙම සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් බවට පත් කරගැනිම සැලසුම වී තිබේ.