උපුල් වික්‍රමසිංහ

වසරකට රුපියල් බිලියන 03කට ආසන්න මුදලක් පාඩු ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ යටතේ ලබන වසර ඇතුළත ගුවන්තොටුපළ ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට සැලසුම් කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ඉරිදා ලංකාදීපයට පැවසීය.

මේ වෙනවිට සමාගම් 19 කින් අභිලාෂය පළකිරීමේ පත්‍ර ලැබී ඇතැයි ද ඒවායෙන් 17 ක් තොරා ගෙන ඇතැයි ද කී නියෝජ්‍ය අමාත්‍යවරයා සුදුසුකම් ලැබූ සමාගම්වලින් ඉදිරියේ දී යෝජනා (Requests for Proposals) ලබාගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළේ ය.

එසේ යෝජනා ලබාගැනීමෙන් පසු ඒවායෙන් තෝරා ගනු ලබන සමාගම සමග ඉදිරියට යන බව ද රජයේ හිමිකාරීත්වය යටතේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල මෙහෙයුම් කටයුතු පැවරීම සිදු බව බව ද හේ ප්‍රකාශ කළේය.

මත්තල ගුවන්තොටුපළ මේ වනවිට වාර්තා කර ඇති සමස්ත අලාභය රුපියල් බිලියන 60 ඉක්මවන බවත් මේ වෙද්දි සතියකට ගුවන් ගමන්වාර 11 ක් පමණ සිදුකරනු ලබන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේ ය.