ප්‍රේමකීර්ති රණතුංග

දැනට ආන්දෝලනයට ලක්වී ඇති සංවිධානාත්මක අපරාධ මර්දන සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත් ඉදිරි අයවැය විවාදය අතරතුර දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල සඳහන් කරයි.

රජය මෙම පනත් කෙටුම්පත් හකුලාගත් බවට ඇතැම් පුද්ගලයන් ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසන නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරන්නේ - මහජන විරෝධතා සහ අධිකරණ කටයුතු සඳහා මෙම පනත් මේ වනවිට වෙන්කර ඇති බවය.

ඒ සඳහා අධිකරණ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර, එය අවසන් වූ වහාම මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන එන බව ද ඔහු සඳහන් කළේය.

“දැනටම ජනාධිපතිතුමා සංශෝධන කීපයකට එකඟ බව ප්‍රකාශයට පත් කර තියෙනවා. ඒ අනුව මෙම පනත් කෙටුම්පත් දෙකම අයවැය යෝජනා පිළිබඳ විවාදය අතරතුර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මතකර ගන්නවා.” යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.