• ඉන්ධන මිල තීරණය කිරීමේදී ස්වාධීන නියාමන ක්‍රමවේදයක් අවශ්‍යයි 
  • සංස්ථාවේ සහ විදේශීය සමාගම්වල ගොඩබෑමේ පිරිවැය අතර පුළුල් පරතරයක් ඇති බව අනාවරණය වෙයි 
  • පිරිවැය වෙනස්කම් නිසා වෙළෙඳපොළ තරගකාරීත්වයේ අසමතුලිතතා මතුවෙලා 
  • ඉන්ධන සහනාධාරය අවශ්‍යතාව ඇති ජනතාවට සහ පොදු ප්‍රවාහනයට දෙන ලෙස පවසයි 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් පිරිවැය, පෞද්ගලික සමාගම් සතු පිරිවැය මෙන්ම ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදය ඇතුළු කාරණා හේතුවෙන් ඉන්ධන වෙළෙඳපොළේ තරගකාරීත්වය සම්බන්ධයෙන් වන ගැටලු‍ පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානයට ලක්ව තිබේ. 

මෙරට ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදය, ඉන්ධන වෙළෙඳපොළේ සාධාරණ තරගකාරීත්වය තහවුරු කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම කරුණු අනාවරණය වී තිබේ. 

ඒ අනුව මැදපෙරදිග යුද තත්වයෙන් බලපෑමට ලක්වූ ජනතාවට තවදුරටත් සහන සැලසීම සඳහා 2026 වර්ෂයේ අංක 07 දරන පරිපූරක ඇස්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වැඩසටහන අනුව ඩීසල් ඉන්ධන මිල සහනාධාරයක් ලබාදීම පිළිබඳවද මෙහිදී වැඩි අවධානය යොමු වී ඇත. 

විශේෂයෙන්ම ඉන්ධන මිල තීරණය කිරීම සඳහා භාවිත කරන මිල සූත්‍රය, ආනයනික ගොඩබෑමේ පිරිවැය, බදු සහ බෙදාහැරීමේ වියදම් පිළිබඳව අදාළ සමාගම්වල නිලධාරීන් කරුණු පැහැදිලි කර තිබේ. 

අද වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව ලංකා අයිඕසී, සයිනොපෙක් සහ ආර්.එම්. පාර්ක්ස් (ෂෙල්) යන සමාගම් මෙරට තුළ ඉන්ධන ආනයනයේ සහ  අලෙවියේ නිරතව සිටියි. 

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සතු පිරිපහදුව මගින් මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් කොටසක් දේශීයව නිෂ්පාදනය කරන අතර, පෞද්ගලික ඉන්ධන සමාගම් පිරිපහදු කරන ලද ඉන්ධන සම්පූර්ණයෙන්ම ආනයනය කරන බව ද මෙහිදී අනාවරණය වී තිබේ. 

එම තත්වය හේතුවෙන් සංස්ථාව සහ පෞද්ගලික ඉන්ධන සමාගම් අතර පිරිවැය වෙනස්කම් සහ වෙළෙඳපොළ තරගකාරීත්වයේ අසමතුලිතතා මතුවන ආකාරය පිළිබඳවද අවධානය යොමු වී තිබේ. 

එසේම විදේශීය සමාගම්වල සහ සංස්ථාවේ ගොඩබෑමේ පිරිවැය අතර පුළුල් පරතරයක් ඇති බව කමිටුව නිරීක්ෂණය වී තිබේ. එහෙත් දැනට පවතින මිල සූත්‍රය යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කරන ඉන්ධන මිල පදනම් කරගෙන අනෙකුත් සමාගම්වලට ද මිල තීරණය කිරීමට සිදුවේ. 

ඒ අනුව ඉන්ධන වෙළෙඳපොළේ සියලු‍ සමාගම් සඳහා සාධාරණ තරගකාරීත්වයක් ඇති කිරීම, මිල තීරණය කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් පවත්වාගෙන යාම සහ ස්වාධීන නියාමන ක්‍රමවේදයක අවශ්‍යතාව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වී තිබේ. 

විශේෂයෙන්ම ඉන්ධන සඳහා වන පිරිවැය සහ අලෙවි මිල සම්බන්ධයෙන් පවතින මෙම පරස්පරතාව හේතුවෙන් මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නියම කරන සිල්ලර මිලට වඩා වැඩි මිලකට ඉන්ධන අලෙවි කිරීමට පෞද්ගලික සමාගම් පියවර ගෙන තිබේ. 

ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක් සංස්ථාවේ පිරවුම්හල් සහ පෞද්ගලික පිරවුම් හල් තුළ රුපියල් 424 ක මුදලකට අලෙවි වුවත්, පෙට්‍රල් 95 ලීටරයක් සංස්ථාවේ රුපියල් 490ක් වෙද්දී, ලංකා අයිඕසී සහ සයිනොපෙක් තුළ රුපියල් 515 ක් වී තිබේ. එසේම ඔටෝ ඩීසල් මිල සමාගම් තුනෙහිම රුපියල් 397 ක් ලෙස සටහන් වෙයි. කෙසේ වෙතත් සංස්ථාවේ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 570ක් වෙද්දී ලංකා අයිඕසී සහ සයිනොපෙක් මිල රුපියල් 600 කි. 

මේ අතර ඉන්ධන සහනාධාරය සියලු‍ පාරිභෝගිකයන්ට එක හා සමානව ලබාදීම වෙනුවට වඩාත් අවශ්‍යතාව ඇති ජනතාව (targeted subsidy) සහ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් ලබාදීමේ වැදගත්කම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරී තිබේ.