SLYCAN Trust  ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අනුර සතුරුසිංහ මහතා (වමේ) සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී.එම්.බී. ජයතිලක මහතා 2026 ඔක්තෝබර් 15 වැනිදා රජරට විශ්වවිද්‍යාලයේදී අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්.


දේශගුණික විපර්යාස සම්බන්ධ ක්‍රියාමාර්ග සහ තිරසර සංවර්ධනයට අදාළ පර්‌යේෂණ, දැනුම වර්ධනය කිරීම සහ ධාරිතා සංවර්ධනය සඳහා දෙපාර්ශ්වය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් SLYCAN Trust  ආයතනය සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.
මෙම අවබෝධතා ගිවිසුමට ඔක්තෝබර් 15 වැනිදා රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී, SLYCAN Trust ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අනුර සතුරුසිංහ මහතා සහ රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී.එම්.බී. ජයතිලක මහතා අත්සන් තැබූහ.
ආයතන දෙක අතර දැනට පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඒකාබද්ධ පර්‌යේෂණ, ප්‍රතිපත්ති සම්බන්ධ කටයුතු සහ දෙපාර්ශවයේ විශේෂඥ දැනුම හා සම්බන්ධතා ජාල උපයෝගී කරගනිමින් සිදුකළ හැකි අනෙකුත් ක්‍රීයාකාරකම් සඳහා මෙම ගිවිසුම මගින් පදනමක් සැපයේ.
තිරසර ආහාර පද්ධති සහ ශාකමය ප්‍රෝටීන, දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම, දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන හානි හා අලාභ මෙන්ම, තිරසාර සහ දේශගුණික හිතකාමී ව්‍යවසායකත්වය මෙම ගිවිසුම යටතේ සහයෝගීතාව ඇති කරගැනීමට අපේක්ෂිත ප්‍රධාන ක්ෂේත්‍ර අතර වේ. ආහාර පද්ධති පරිවර්තනයට සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ප්‍රජා මූලික ප්‍රවේශයට සහාය වන පර්‌යේෂණ, අදාළ ප්‍රතිපත්ති සම්බන්ධ කටයුතු සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් කෙරෙහි ද මෙම සහයෝගීතාවේදී අවධානය යොමු කෙරේ.
විශේෂයෙන් තිරසර ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රවල අධ්‍යාපනික පර්‌යේෂණ ප්‍රායෝගික භාවිතයන් සමඟ සම්බන්ධ කිරීම සඳහා සිසුන්ට, පර්‌යේෂකයන්ට සහ තරුණ ව්‍යවසායකයන්ට අවස්ථා උදා කිරීම ද මෙම සහයෝගීතාවේ තවත් අරමුණකි. ඒ සඳහා ආයතන දෙකේ දැනට ක්‍රියාත්මක වැඩසටහන් සහ සම්බන්ධතා ජාල යොදාගැනීමේ හැකියාව ද පවතී.
මෙම සහයෝගීතාව පිළිබඳ අදහස් දක්වමින් SLYCAN Trust  ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අනුර සතුරුසිංහ මහතා මෙසේ පැවසීය. “ආයතන දෙකෙහිම ශක්තීන් සහ අත්දැකීම් පදනම් කරගත් දිගුකාලීන සහයෝගීතාවක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් ලෙස අපි දකිනවා. අපගේ එකිනෙකට ගැළපෙන ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනාගැනීමටත්, එකිනෙකාගේ කටයුතුවලට දායක විය හැකි ආකාර පිළිබඳ පොදු අවබෝධයක් ඇති කරගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. කාලයත් සමග වර්ධනය කළ හැකි සහයෝගීතාවක් ගොඩනැගීම සඳහා මෙය වැදගත් ආරම්භයක්.”
රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී.එම්.බී. ජයතිලක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මෙම සහයෝගීතාවට දායක විය හැකි විශේෂඥ දැනුමක් අපගේ විශ්වවිද්‍යාලයේ පීඨ සහ අධ්‍යයන අංශ රැසක් සතුයි. දේශගුණික විපර්යාස අධ්‍යයනය පිළිබඳ අපගේ විශිෂ්ටතා මධ්‍යස්ථානයත් ඒ අතර වෙනවා. අපගේ ආචාර්යවරුන්ට සහ සිසුන්ට සක්‍රීයව දායක විය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනාගැනීමට අපි කැමැතියි. ඉදිරි වසර තුනේ සිට පහ දක්වා කාලය සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කරගැනීමෙන් විශ්වවිද්‍යාලයේ විවිධ අංශවල විශේෂඥ දැනුම එක්කරගෙන මෙම සහයෝගීතාව වඩාත් සැලසුම්සහගතව සහ ඵලදායීව ඉදිරියට ගෙන යා හැකියි.”
ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවේදී රජරට විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි ලේඛකාධිකාරී එස්.සී. හේරත් මහත්මිය සහ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එච්.ජේ.පී. ගුණරත්න මහතා සාක්ෂිකරුවන් ලෙස අත්සන් තැබූහ. SLYCAN Trust  ආයතනය වෙනුවෙන් සන්නිවේදන හා මහජන සම්බන්ධතා කළමනාකරු ඉන්දික සකලසූරිය මහතා සහ පර්‌යේෂක හා තරුණ වැඩසටහන් කනිෂ්ඨ කළමනාකාරිනී තිළිණි ගුණතිලක මෙනවිය සාක්ෂිකරුවන් ලෙස අත්සන් තැබූහ. මෙම සහයෝගීතාව ආරම්භ කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකළ රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික පද්ධති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චින්තක කරල්ලියද්ද මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් සාක්ෂි මත පදනම් වූ පර්‌යේෂණ, දැනුම හුවමාරුව සහ ධාරිතා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා SLYCAN Trust  ආයතනය අධ්‍යාපනික හා පර්‌යේෂණ ආයතන සමග පවත්වාගෙන යන පුළුල් සහයෝගීතා වැඩපිළිවෙළේ තවත් පියවරක් ලෙස මෙම හවුල්කාරිත්වය සැලකිය හැකිය.